2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

රැඩිකල් හා බෝතල්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

ලාංකික කාන්තාවට මත්පැන් සඳහා තියෙන අයිතිය ගැන සෑහෙන වාද විවාද පහුගිය කාලෙ පුරාම බුකියේ දකින්න ලැබුණා. ඒ අතරේ වැඩිපුරම නැගලා ගියේ එක් නිළියක් සම අයිතිය ඉල්ලා උසාවි යාමත් මන්ත්‍රීවරියකගෙ ප්‍රකාශයත් කියලයි මට හිතෙන්නෙ

දෙන්නම වැරදි නෑ. හැබැයි ලංකාවේ වැඩිපුර ඉන්නේ සම්ප්‍රදායික ගැහැනු. ලංකාවේ පවුල් සංස්ථාවේ ලස්සන රුඳිලා තියෙන්නෙත් ඒ ගැහැනු නිසාම තමා.

මම දකින්නෙ ගැහැනියට ඕනෙ සමතැන නෙවේ නිසි තැන. ගැහැනිය ගැහැනියක් වගේ වෙනකොටයි පිරිමියා පිරිමියෙක් වගේ වෙනකොටයි තමා ජීවිත ලස්සන.

ගැහැනියක් වුණාට මම කැමති ගෙදරක වුණත් පුරුෂාධිපත්‍යය කියන එක රැකෙනවටයි. ඒකෙ තේරුම ගෑනියෙකුට ඕනම විදිහකට සළකන්න පිරිමියෙකුට අයිතිය තියනවා කියන එක නෙවේ. පිරිමියා වටේ ගිහින් ඕනම අලුගුත්තේරු වැඩක් කරලා ගෙදර එද්දි ගැහැනිය පිරිමියාගේ දාසියක් විය යුතුයි කියන එකත් නෙවේ.

ඒත් ගැහැනියත් පිරිමියාත් එක හා සමාන වෙන තැනකට වඩා මම කැමති ගැහැනිය වඩා නම්‍යශීලී වෙන, ඒ ගැහැනියව පිරිමියා විසින් ගෞරවපූර්ව විදිහට ආරක්ෂා කරන සමාජයකටයි.

ඔය කොයි තර්ක විතර්ක කරන්නත් අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. මම හැදුණේ අම්මයි තාත්තායි දෙන්නම රස්සාවල් කරපු ගෙදරක. ඒත් අනිත් අය කන්න කලින් තාත්තාගෙ බත් එක බෙදලා තියපු, පවුලේ තීරණ ගනිද්දි තාත්තාට ප්‍රමුඛත්වය දීපු, තාත්තා මූලික වෙච්ච පවුලක. හැබැයි ප්‍රසිද්ධියේ තීරණ දුන්නෙ තාත්තා වුණාට ඒ හැම එකක්ම අම්මා එක්ක සාකච්ජා කරපු තීරණ බව අපි දැනන් හිටියා. අම්මා නම්‍යශීලී වුණත් තාත්තා තීරණ ගත්තෙ අම්මාගෙනුත් අහලයි. අම්මා තාත්තාගෙ තීරණවලට අකමැති වෙච්ච වෙලාවල් තිබ්බත් ප්‍රසිද්ධියේ තර්ක කළේවත් අපි ඉස්සරහා විරුද්ධ වුණේවත් නෑ. හැබැයි ඒ වගේ වෙලාවල්වලට තාත්තාගෙම තීරණ පස්සෙ වෙනස් වුණා. තාත්තාට වඩා අම්මා ඉගෙනගෙන තිබ්බා. ඒත් අම්මා තාත්තාට වඩා ඉහළින් යන්න හදනවා හෝ සමතැන බලාපොරොත්තු වෙනවා කවදාවත් දැකලා නෑ.

කාටවත් විශේෂකොට සැළකීමක් අවශ්‍ය නෑ තමයි. නිදහසත් අවශ්‍යයි තමයි. ඒත් ගැහැනු අපි විශේෂකොට සැළකීමක් බලාපොරොත්තු වෙන්නෙම නැද්ද? අපි බලාපොරොත්තු වෙන්නෙ සමතැනද? නැත්නම් නිසි තැනද? මම හරි රැඩිකල් කියලා පෙන්නන්න හදන අපේ ගෑනු හිත් පිරිමි එක්ක සමතැන්ද හොයන්නෙ නැත්නම් පිරිමියෙකුගෙ ආදරණීය ආධිපත්‍යය ද? තමන්ටම විතරක් අයිතිකරගන්න හිතෙන පෞරැෂය පිරිච්ච පිරිමියෙක්ගෙ ආරක්ෂාව, ගෞරවය නෙමෙයිද?

පෞද්ගලිකව මම නම් මගේ අම්මා වගේ නෙමෙයි. වයින් බොන්න ආසයි. නටන්න ආසයි. ඉතින් මම වයින් බොනවා. මට යාළුවෝ ඉස්සරහ එක මූණකුයි, නෑයෝ ඉස්සරහ තව මූණකුයි නෑ. මම නටනවා. හයියෙන් හිනාවෙනවා. මම බියර් විස්කි බොන්නැත්තේ ආස නැති නිසා. ඒත් මම මහ රෑ ගමන් බිමන් යනවා. තනියෙන් පිටරටවල යනවා. පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. මට සමතැනක් ඕනේ වෙලා නෑ. මට අවශ්‍ය මගේ පාඩුවේ ඉන්න දීම පමණයි. ඒක මේ සමාජය ඇතුළේ තියනවා. එකම දේ මම කව්ද කියලා මම දැන සිටිය යුතුයි. ගෞරවය ලැබෙන්න ගෞරවපූර්ව විදිහට ජීවත්විය යුතුයි. අපි හරි විදිහට හැසිරෙනවා නම් නීති තිබුණත් නැතත් නිසි තැන ලැබේවි.

බුකියේ නිරුවත් පින්තූරවලට රමණය ගැන අසම්මතය ගැන කවි ලියන, අඩ නිරුවතින් ඉන්න,  දුම් බොන, ගංජා ගහන,  විස්කි බොන,  හිතුවක්කාරකම් කරන ගැහැනුන්ට ෂා වාව් කියන පිරිමි කීදෙනෙක් තමන්ගේ කසාද ගෑනි එහෙම වෙනවාට කැමතිද? ඒ කියන්නේ අලුත් රැඩිකල් මතවාද ෆෝම් කරන ගොඩක් පිරිමි ඒක කරන්නේ ඇත්තටමද? නැත්නම් දේශපාලන වාසියකටද? පොඩි ආතල් එකක් ගන්ටද?

ඔය කියන රැඩිකල් මතයට ගරහන සහ උඩින් තියන පිරිමි හිත් සහ ගැහැනු හිත් තම තමන්ගේ හිත්වලට අවංක වීම ඔක්කොටම වඩා වටීවි. ගැහැනුන් සතුව ලාලිත්‍යය හා නම්‍යශීලීත්වයත්, පිරිමින් සතුව පෞරැෂය හා වීරත්වයත් තිබෙන තරමට ලෝකය ලස්සනයි කියා තමයි පොදුවේ මට නම් හිතෙන්නේ.

ඒ වගේම, සමතැන හෝ නිසිතැන ලැබිය යුත්තේ නීතියෙන් නොවේ හිත්වලින් කියලයි මට හිතෙන්නේ. 

►රජිතා අබේසිංහ