මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේරාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එවැනි ගයිඩ් මහතුන් කිහිපදෙනෙකු සමඟ කළ සංවාද සටහන් පෙළක නමවැන්නයි. මෙවර අපේ කථානායකයා වන්නේ මොහොමඩ් සහිබ් මහතා ය. ඔහු ප්‍රංශ සහ ස්පාඤ්ඥ භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන පළපුරුදු ගයිඩ් මහතෙකි.
අපි ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ...
ලෝක සිතියමේ ඇති රටවල් දෙසීයකට ආසන්න ප්‍රමාණය අතුරින් සිංහලෙන් නම ලිවීමට අමාරුම රට කුමක්දැයි ඇසුවොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර ස්පාඤ්ඤය බවට සැක නැත. ලිවීම තරමටම උච්චාරණයත් අමාරු වුව ද ඉංග්‍රීසියෙන් ඊට ඇත්තේ බොහොම පහසු නමකි. Spain (ස්පේන්) නම් ඉංග්‍රීසි වචනයේ සැහැල්ලුව තරමටම ස්පාඤ්ඤ ජාතිකයෝ ද සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන පිරිසකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනෝදකාමීන් ය.
“ඒගොල්ලෝ හරිම විනෝදයට බර ජාතියක්. කොයිම වෙලාවකවත් මූණ එල්ලගෙන ඉන්නෙ නෑ. සතුටින් හිනා වෙවීම තමයි ඉන්නෙ. ඕන දෙයක් විහිළුවට පෙරළගන්නත් එයාලට පුළුවන්”
ස්පාඤ්ඤ බසින් සංචාරකයින්ට මඟ පෙන්වූවද මොහොමඩ් කිසිදා ස්පාඤ්ඤයට පා තබා නැත. කිසිදිනෙක තමන්ගේ රටට නොපැමිණි මේ කුඩා මිනිසා හුරුවට තම බස හසුරුවනු දකින ස්පාඤ්ඤ ජාතිකයන්ට එය ද මහත් සතුටකි.
ස්පාඤ්ඤ ජාතිකයෝ ලංකාවට එන්නේ සංචාරක සමයේ උදාවත් සමඟිනි. අගෝස්තු මාසයේ පටන් ජනවාරි දක්වා එක දිගට මාස පහක පමණ කාලයක් ලංකාවට ඇදී එන ස්පාඤ්ඤ සංචාරකයෝ අවුරැද්දේ ඉතිරි දවස්වල ලංකාවට එනවානම් ඒ එන්නේ බොහොම කලාතුරකිනි.
අපට ඉතාම හුරුපුරුදු රටක් ස්පාඤ්ඤයේ යාබද රටකි. ඒ පෘතුගාලයයි. එකල ස්පාඤ්ඤය ද පෘතුගාලය මෙන්ම යටත් විජිත සොයා මුහුද පුරා සැරිසැරෑ ජාතියකි. ඉන්දියාව කියා වරද්දාගෙන අමෙරිකාවට ගොඩබට ක්‍රිස්ටෝපර් කොළොම්බස් සහ එවකට ස්පාඤ්ඤයේ රජු වූ ෆර්ඩිනන්ඩ් අධිරාජයා ගැන අපි ද පාසල් පෙළපොත්වල අකුරු උගත්තෙමු. එනිසා මධ්‍යතන යුගයේ සිට දිවෙන ප්‍රෞඪ ඉතිහාසයක් ස්පාඤ්ඤ ජාතිකයින් සතු ය.
ස්පාඤ්ඤය පිහිටා ඇත්තේ මධ්‍යධරණී මුහුදට උතුරට වන්නට ය. යුරෝපයේ දකුණට වන්නට වඩාත් සෞම්‍ය කලාපයක පිහිටි රටක් නිසා ස්පාඤ්ඤ වැසියෝ අනෙක් යුරෝපීය ජාතීන් බොහෝමයකට වඩා රෑපයෙන් ලස්සන ය. සම පැහැපත් ය. ඔවුන්ගේ ජීවිත හිරුඑළිය සමඟ බද්ධ ය.
ප්‍රංශය ඉතාලිය මෙන්ම ස්පාඤ්ඤය ද යුරෝපයේ සුපිරි වයින් නිෂ්පාදකයෙකි. Rioja සහ Ribera del Duero වැනි ලෝක ප්‍රකට වයින් වර්ග ස්පාඤ්ඤයේ නිපද වේ. එනිසාම අපිට ජලය කෙසේද, ස්පාඤ්ඤ වැසියන්ට වයින් එසේය.
“ප්‍රංශ කට්ටිය අරක්කු බිව්වට ස්පාඤ්ඤ අය නම් අරක්කුවලට කැමති නෑ. ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ එහෙම අලුත්, වෙනස් දේවල් ට්‍රයි කරන්න කැමැති කට්ටිය නෙමේ. ඉතින් ඒගොල්ලෝ මෙහෙදි බොන්නේ බියර් සහ වයිනුයි විතරයි. එකෙනුත් වැඩියෙන්ම ආසා වයින්වලට”
“හැබැයි ඉතින් අපි හිතන් හිටියට හැම සුද්දම හොඳට බොන අය කියලා, සමහරු එහෙම නෑ. බියර් එකක්වත් කටේ තියන්නෙ නැති සුද්දො ඕනතරම් මට හම්බවෙලා තියෙනවා”
මොහොමඩ්ගේ අත්දැකීම් අනුව ස්පාඤ්ඤ ජාතිකයෝ ප්‍රංශ ජාතියකයින් තරම් අතරමඟදී තමන්ට හමුවන මිනිසුන් ගැන සංවේදී නැත. සංචාරය අතරතුර තවත් අයෙකුට ආධාරයක් කරන්නට ස්පාඤ්ඤ ජාතිකයෙකුගේ හිත යොමුවෙනවා නම් ඒ ඉතාමත් කලාතුරකිනි.
“එහෙම කියන්නත් හොඳ නැහැ. ඒත් මම ප්‍රංශ ජාතිකයන්වත් ළඟින් ඇසුරු කරන හින්දා මට එහෙම වෙනසක් දැනෙනවා. හැබැයි ස්පැනිෂ් කට්ටිය විනෝද වෙන්න පුළුවන් තැන්වලදි හොඳට වියදම් කරනවා. ඒ ගොල්ලෝ ඔය පොඩි පොඩි හෝටල්වල නවතින්නෙත් නෑ. තරු පහේ හෝටල්ම තමයි ඉල්ලන්නෙ”
අපි කැටලෝනියන්
ලංකාවේ අපිට බෙදුම්වාදය හොඳට හුරු පුරුදු ය. ත්‍රස්තවාදී යුද්ධයක් පවා ඇතිවුණේ බෙදුම්වාදය හේතුකොටගෙන ය. යුරෝපයේ රටක් වුවත් ස්පාඤ්ඤය ද දරුණු බෙදුම්වාදයකට මුහුණ පා සිටින රටකි. ඒ බෙදුම්වාදය ලංකාවේ බෙදුම්වාදයට වඩා අතිශය තියුණුය. සංවිධානාත්මක ය.
“ස්පාඤ්ඤෙ තියෙනවා කැටලෝනියාව කියලා ප්‍රදේශයක්. එහේ ලොකු ජාතිවාදී ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයගේ භාෂාව සාමාන්‍ය ස්පාඤ්ඤ භාෂාවට වඩා වෙනස්. ටිකක් ප්‍රංශවලට හුරුයි. ඒ වගේම එයාලගෙ පොඩි පොඩි සංස්කෘතික වෙනස්කම් ටිකකුත් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලො ස්පාඤ්ඤ ආණ්ඩුවත් එක්ක හැමදාම වලි”
ස්පාඤ්ඤයෙන් වෙන වෙනම ගුවන් යානයට නඟින සංචාරකයින් එකම නඩයක් බවට පත්වන්නේ ලංකාවට පැමිණි පසුය. එතෙක් ඔවුන් එකිනෙකා නොහඳුනයි. මොහොමඩ් ඒ පැමිණෙන සියලුදෙනාම ස්පාඤ්ඤ ජාතිකයින් ලෙස හඳුනාගැනීමට සූදානමින් සිටියත් නඩයෙන් එකෙකු දෙන්නෙකු ඊට විරෝධය පායි.
“මම සැප්නිෂ් නෙමේ. මම කැටලෝනියන්”
ඔවුන්ගේ විරෝධය දැඩිය. ස්ථීරය. එනිසා සංචාරය අවසන් වනතුරැම පොදුවේ ස්පාඤ්ඤය ගැන කතාකරද්දි කැටලෝනියාවෙන් පැමිණි අය ගැන සැළකිලිමත්ව කතාකරන්නට මොහොමඩ්ට සිදුවේ.
“ඔය රටේ ඉස්සර හිටියා ෆ්‍රැන්කෝ කියලා ඒකාධිපතියෙක්. එයාගේ කාලෙත් ඔය ප්‍රශ්නෙ තිබ්බා. එයා ඒක පාගලා යටකරලා දැම්මා. හැබැයි මේ මෑතක ඉඳන් ආපහු කැටලෝනියාවේ ප්‍රශ්නෙ මතුවෙලා. කැටලෝනියන් කට්ටිය කියන්නෙ අපෙන් ටැක්ස් අරන් ස්පැනිෂ් කට්ටිය හොඳට ඉන්නවා කියලයි. ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනවා” ඔහු විස්තර කරන්නේ ඇස් පුංචි කරමින් හිනැහෙන ගමන් ය.
ෆුට්බෝල් පිස්සෝ
යුරෝපය යනු පාපන්දු උන්මාදයෙන් පෙළෙන ජනතාවක් වෙසෙන මහාද්වීපයකි. ලතින් අමෙරිකාවත් යුරෝපයත් හැර පාපන්දු ගැන වදවන වෙනත් කලාපයක් නැති තරම් ය. ස්පාඤ්ඤයේද බහුතරයක් පාපන්දු ලෝලීන්ය. රියල් මැඩ්රිඩ්, බාසිලෝනා වැනි ප්‍රකට පාපන්දු කණ්ඩායම් රැසක නිජබිම වන්නේත් ස්පාඤ්ඤයයි.
“ලංකාවෙ ෆුට්බෝල් එච්චර ජනප්‍රිය නෑ කිව්වම ඒගොල්ලන්ට පුදුමයි. එතකොට මම කරන්නෙ මාතෘකාව ක්‍රිකට්වලට හරවගන්නවා. ෆුට්බෝල් නැතිවුණාට අපේ අය ක්‍රිකට්වලට ගොඩක් ආසයි, අපි දෙපාරක් ක්‍රිකට් වර්ල්ඩ් කප් එකත් දිනලා තියෙනවා කියලා මම කියනවා”
ක්‍රිකට් ලෝක කුසලානයක් දිනුවා කිව්වත් ඔවුන්ට වගේ වගක් නැත. මන්ද ඔවුන්ගේ ලෝකයේ එකම ක්‍රීඩාව පාපන්දුම පමණි. අන්කිසි ක්‍රීඩාවක් ලොව නැතිවා මෙන්ම එසේ තිබුණත් ඒ සියල්ල පාපන්දුවට දෙවැනි ය.
“හැබැයි ඔය ඉඳලා හිටලා එයාලගේ ෆුට්බෝල් ක්‍රීඩකයන්ගේ නම් ගහපු ටී ෂර්ට් ඇඳන් ඉන්න කොල්ලෝ දැක්කම එයාලට ගොඩක් සතුටුයි”
නයිට් ලයිෆ් වෙනුවට ගොන් කරත්ත
ස්පාඤ්ඤ ජාතිකයෝ රෑ බෝවනතුරු අවදියෙන් සිටින්න රුසියෝ ය. තම රටේදි නම් මැදියම් රුයක් ඉක්මෙන තෙක් බාර්වල, පබ්වල, අවන්හල්වල බීර තොලගාමින් සංගීතයට සවන් දෙන ඔවුන්ට ලංකාවේ රාත්‍රී නිහඬ බව දරාගැනීමට අපහසු තරම් ය.
“ස්පාඤ්ඤය කියන්නේ යුරෝපෙ අනිත් රටවල් තරම් හීතල රටක් නෙමේ. ඒ හින්දම ඒ ගොල්ලෝ රෑ බෝ වෙනකල් එළියෙ ගැවසෙන්න කැමතියි. ඒත් ඉතින් අපේ රටේ නයිට් ලයිෆ් කියලා එකක් නෑනෙ”
ස්පාඤ්ඤ සංචාරකයින් ආසා කරන විශේෂ අංගයක් වන්නේ පැරැණි ගම්මාන ආශ්‍රිත සංචාරය කිරීමයි. සීගිරිය හබරණ ආසන්නයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන්ම වාගේ පවත්වාගෙන යන එවැනි ගම්මාන කිහිපයකට මෙසේ සංචාරකයින් ගෙනයෑම ගයිඩ් මහත්වරැ සිදුකරයි.
Village Tours යනුවෙන් හැඳින්වෙන මේ ගමනේදී හරකුත් බැඳි කරත්තයක යාම, වැවක ඔරු පැදීම, ගමේ තාලෙට කෑම වේලක් කෑම, හේනේ පැලකට ගොඩවැදීම වැනි ක්‍රියාකාරකම් කිහිපයක් පවතී. ඒවාට සහභාගීවීමත් තමන් සමඟ පැමිණි අනිත් අය ඒ ක්‍රියාකාරකම්වලට එක්වන හැටි බලාසිටීමත් ඔවුන්ට සතුට ගෙනදෙන කාරණාවන් ය.
“අපිට හම්බවෙන හැම සංචාරකයෙක්ම මුණගැහෙනකම් මොනවගේද කියන්න අමාරුයි. මිනිස්සු කියන ජාතිය කොහොමත් විවිධයිනෙ. එක එක ආසාවල්, එක එක වුවමනාවන්නෙ තියෙන්නෙ. ඉතින් ඔය කොයි විදිහෙ කෙනෙක් හම්බවුණත් අපි ගාණට බැලන්ස් කරලා වැඩේ කරන්න ඕනෙ. ඒකට ලෑස්ති පිට ඉන්නම වෙනවා. ඒක ලොකු චැලේන්ජ් එකක්. ඒ චැලේන්ජ් එකටම තමයි අපිත් ආසා”
(චීන සංචාරකයින්ගේ වතගොත රැගත් තවත් රසවත් සිදුවීම් පෙළක් සමඟ ලබන සතියේ නැවත හමුවෙමු)
► රජිත ජාගොඩ ආරච්චි