අවිස්සාවේල්ල තල්දුව හන්දියෙන් වමට ඇති මාවත ගුරුගල්ල අමිතිරිගල හරහා කැලණි මිටියාවත ඔස්සේ ඇදී යන මාර්ගයේ අමිතිරිගලට පැමිණ ගුරුගල්ල කැලණි පාලම පසු කළ විට වම්පස ඇති පුරාවිද්‍යා නාම පුවරැව මැදගොඩ ශ්‍රී සිද්ධ ගනේගොඩ දොළහ පත්තිනි දේවාලයට මඟ පෙන්වයි. අතුරු මාර්ගයේ කිලෝමීටරයක ගමනකින් පසු නිසංසල වටපිටාවක පිහිටි දේවාල බිමට අප පිවිසේ. එකිනෙක පරයා ඉහළ නගින නාගසින් සැදුම්ලත් දේවාල බිම සිහිලැල්ය.
තාවක රාජසිංහ රජ්ජුරුවෝ තඹ සන්නසකින් අක්කර 631 රූඩ් 1 පර්චස් 18ක බිම් ප්‍රමාණයක පිහිටි මැදගොඩ ගම දේවාලයට රාජකාරි කිරීමට නින්දගමක් වශයෙන් පූජා කරලා තිබෙනවා. දේව රාජකාරි 18කට තමයි එහෙම ඉඩම් ලබාදීලා තියෙන්නේ. පළමුවැන්න දේවාලයේ කපුකමයි. කපු රාජකාරියට මංගල්‍ය හතරේදී දෙවියන් වැඩමවීම, දේවාලයේ සියලුම භාණ්ඩ ආරක්ෂා කිරීම, ගම්මඩුවට වෙඩි බෙහෙත් සැපයීම අයත් වෙනවා.
අපට එලෙස පැවසුවේ දේවාල බිමේදී හමුවූ ප්‍රධාන කපු මහතා වන රණසිංහ මුදිලයන්සේලාගේ ගාමිණී රණසිංහයි. පාරම්පරික කපුකම හිමිව ඇත්තේ රණසිංහ මුදියන්සේලාගේ පරම්පරාවටය. ගාමිණි රණසිංහ කපු මහතා තම සොයුරන් දෙදෙනාත් සමඟ කපු රාජකාරිය කරමින් සිටී.
රජ කාලයේ සිට පෙරහර මංගල්‍යයේ වෙඩිමුරය පවත්වන්නේ රාජසිංහ රජ්ජුරුවෝ පූජා කරපු කාලතුවක්කුවකින්. එයට වෙඩි බෙහෙත් ලබාදීමත් අපේ වගකීමක්.
කපු රාජකාරියට අමතරව දේවලයේ නඩත්තුව සඳහා හේනමාමා වංගුව, ලෙවන්ගමගේ රාජකාරිය, දීගලගේ පංගුව, ගීතියනගේ පංගුව, පනාවලගේ පංගුව, කල්තොට පංගුව, පුවක්පිටියගේ පංගුව, ඇස්වත්තේ පංගුව, මංඩාවලයැගේ පංගුව, නැකතිගේ පංගුව, ආචාරිගේ පංගුව ආදී වශයෙන් දේවාල රාජකාරි බෙදාදී තිබේ. රජු විසින් ප්‍රදානය කළ නින්දගමේ ඉඩම් භුක්ති විඳීම වෙනුවෙන් ගැමියන් දේවාලයට රාජකාරි කළ යුතුවේ. රෙදිපිලි අපුල්ලා දීම, දේවාල බිම උදළු ගෑම, උඩුවියන් බැඳීම, තොරණ බැඳීම ආදී රාජකාරිවල යෙදිය යුතුවේ.
රාජකාරි නොකර ඉඩම් භුක්ති විඳින අය ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුවේ. දැනට අක්කර එකසිය ගණනක් රාජකාරි වෙනුවෙන් වෙන්ව පවතී. ඉන් අදහස් වන්නේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් රාජකාරිවලින් ඉවත්ව තිබෙන බවයි.
මැදගොඩ ග්‍රාමසේවා වසම සම්පූර්ණයෙන්ම දේවාලයට අයත් වන අතර එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ භාරකරුවකු විහාර දේවාලගම් පනත යටතේ අධීක්ෂණය කරයි. එම ග්‍රාම සේවා වසමේ මහදෙනිය, හේන්යාය, මහඅරඹ වත්ත, අම්බලම්පිටිය වත්ත ආදී රාජකාරී ගම් පිහිටා තිබේ. පදිංචිකරුවන්ට ගමේ ඉඩම් විකිණීමට නොහැක. ඉඩම්වල ගස් කැපීමටද නොහැක. ඉඩම් පැවරීමට අවශ්‍ය නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ භාරකරුවා හරහා පැවරුම් ඔප්පුවක් මගින් පැවරීම සිදුවේ.
බොහෝ පෞරාණික සිද්ධස්ථානවලට මෙන්ම මැදගොඩ පත්තිනි දේවාලයටද රාජකාරි ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ ගැටලු පවතී. කපු මහතා අපට පැවසුවේ රාජකාරිය වෙනුවෙන් ඉඩම් හතක් තම පරම්පරාවට ලබාදී තිබුණත් ගමේ වෙනත් අය ඉඩම් අල්ලා ගැනීම නිසා දැන් භුක්ති විඳින්නේ ඉඩම් දෙකක් බවයි. මේ දේවාලයේ පවතින හාස්කම් නිසා බදාදා, සෙනසුරාදා කෙම්මුර දවස්වලට පිහිට පතා බොහෝ දෙනා එනවා. මවුවරුන්ට දරුඵල ලබාදීම, ලෙඩදුක් සුවකිරීම වගේ දේවල්වලට වැඩිදෙනා පත්තිනි මෑණියන්ගේ පිහිට ඉල්ලනවා.
සිංහල රජ කාලේ රටපුරාම පැවති ඉඩම් හිමිවූයේ රජුටය. එම ඉඩම් භුක්ති විඳීම වෙනුවෙන් රජුට බදු ගෙවිය යුතු විය. සුද්දන්ගේ කාලේ රාජකාරි ක්‍රමය අහෝසි කෙරිණි. එහෙත් එලෙස පුරාණ රාජකාරි ක්‍රමය ක්‍රියාත්මක මැදගොඩ වැනි ගම්මාන අපට ඉඳහිට හමුවේ. එවැනි ගමක සිද්ධස්ථානයක ඇවිදීම මනසින් අතීතයට යාමක් වැනිය.
දේවාලයේ ආරම්භය සම්බන්ධ කතා දෙකක් පවතී. එක් කතාවක් මෙසේය,
දිනක් රාජසිංහ රජ්ජුරුවෝ කිසියම් කාර්යයක් සඳහා රාජකීය අඟුලේ නැගී රුවන්වැල්ල බලා ගංගා ඔස්සේ යමින් සිටියා. සීතාවක ඔයේ පහළට පැමිණි අඟුල කැලණි ගඟේ උඩහට පැදෙව්වා. මැදගොඩ මායිමට පැමිණි විට අඟුල ගඟ මැද නැවතුණා. අඟුල පදවන්නන් කොපමණ උත්සාහ කළත් සෙලවීමටවත් හැකි වුණේ නැහැ. හේවායන් ගඟෙන් ගොඩවී ඉවුර අවට පරීක්ෂා කිරීමේදී ජරාවාස වූ දේවාලයක් දැකගන්නට ලැබුණා. රජු වහාම එතැනට ගොස් බාරහාරවී පැමිණියා. ඊට පසු අගුලට යළිත් ගමන් කිරීමට හැකි වුණා.
රජු පසුව මැදගොඩ පත්තිනි දේවාලය නවකම් කර පිළිසකර කරවා සන්නසකින් ඉඩකඩම් පූජා කළා. අද දක්වා දේවාලය නඩත්තු වන්නේ ඒ ඉඩම්වලින් මැදගොඩ සන්නස අනුව මාගම්මනින් කුඹුරු දෙපෑලක්, ඇපලපිටියෙන් කුඹුරු පෑලක් ඇතුළුව ගොඩමඩ ඉඩම් සහිත මැදගොඩ ගම්මානය දේවාලගමක් සේ පවරා දී තිබේ. ඒ ශත වර්ෂ 1499 දුරුතු මාසයේ දීය. (ක්‍රි.ව 1577-78 දෙසැ-ජනවාරි) මැදගොඩ ගම්මානයට මායිම් වශයෙන් නැගෙනහිරින් කැලණි ගඟ හා බස්නාහිරෙන් ඇති ඇතිමලදෙණියෙ ඇළද උතුරින් ඉන් ඇළ, නක්කාවල ඇළ මෝදර හා දකුණෙන් දෙල්පිටිමෝදර සඳහන්ය.
දේවාල බිමේ පිහිටි අතිවිශාල ඉඹුල් වෘක්ෂය දේවාලය තරම්ම පැරුණි බව කපු මහතා කීවේය. ඒ අවට පිහිටි නා වනය නිසා දෙවොල් බිම මඳ අඳුරක ගිලී ඇත. අළු කෑදැත්තෙක් නා බෙනයකට කොටමින් කෘමි සතුන් සොයයි. ගිරා රංචුවක් කීස් හඬින් කෑ ගසමින් ඈතට පියඹා යති. පස්වාන් දහසක් බහාති කාලයක් මේ ලංකාවට වැඩ සිද්ධ වූ මැදගොඩ සිද්ධ පත්තිනි දෙවි හාමුදුරුවෝ.... කපු මහතාගේ යාතිකාව අපට ඇසේ.
දේවාලයේ උපත ගැන සඳහන් දෙවැනි ජනකතාව අනුව මෙය ඉදිකර තිබෙන්නේ රාජසිංහ රජුගේ සිත්ගත් මල්වතී බිසව සිහිවීමටය. මල්වතී කියන්නේ දොඩම්පේ ගණිතයාගේ දුව. ඈ රජුගේ පුත්‍ර රාජසූරිය කුමාරයා සමඟ පෙමින් බැඳී සිටියා. මහලු රජුටත් ඇයගේ පහස අවශ්‍ය වුණා. මේ නිසා රජු හැඩකාර මල්වතී රජවාසලට රැගෙන ගිහින් බිසෝ තනතුරේ තබාගත්තා. ඒත් බිසව වංසගත රෝගයක් වැළදිලා හදිසියේ මිය යනවා. එම වියෝවෙන් දුකට පත් රාජසිංහ රජු බිසව සිහිවීමට මැදගොඩ ගම්මානයේ පත්තිනි දේවාලයක් ඉදිකරනවා.
ප්‍රේමයේ සිහිවටනයක් වශයෙන් එසේ දේවාලයක් ඉදිකර පුද පූජා පවත්වමින් සිටි රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදි විෂ උණ කටුවක් ඇනීමෙන් මරණයට පත්විය. එහිදී රජුට විෂ බැන්දේ මල්වතී සිද්ධිය නිසා අමනාපයට පත් දොඩම්පේ ගණිතයා බව පැවසේ.
මරණයෙන් අනතුරුව යක්ෂයකු බවට පත්ව ගනේගොඩ දෙවියන් නමින් දේවත්වයට පත්වන රජු මැදගොඩ දේවාලයේද පුදසත්කාර වලට පාත්‍රවේ. මැදගොඩ දේවාලයේ මෙන්ම කබලමුල්ල දේවාලයේද ගනේගොඩ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වේ. එම දේවාලවල දේව යාතිකාව ආරම්භ කරනවිට මුලින්ම අමතන්නේ ගනේගොඩ දෙවි හාමුදුරුවන්ටය.
චතුරස්‍රාකාර ගොඩනැගිලි පන්තියක් මැද ශ්‍රී සිද්ධ ගනේගොඩ පත්තිනි දොළහ දේවාලය පිහිටා ඇත. රිට්ටාගේ, ගබඩාගේ, මුරුතැන්ගේ ආදී ගොඩනැගිලි වටා පිහිටි අතර මැද දික්ගෙයක් සහිත දේවාල ගොඩනැගිල්ලයි. එය 1947.7.6 දින අලුත්වැඩියා කර තිබේ. දේවාලය ටැම්පිට ගොඩනැගිල්ලකි. ටැම් 10ක් මත නා දැව යොදා එය තනා තිබේ. ඒ අතරින් කැටයම් සහිත කළුගල් කුලුනු ඉතිරිව පවතින්නේ 4කි. ඉතිරි කුලුනු එම ස්වරූපයට කොන්ක්‍රීට්වලින් තනා ඇත. මෙහි දික්ගෙයට අයත් වූ අලංකාර කැටයම් සහිත ගල් කුලුණක් කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. සීතාවක යුගයට අයත් කැටයම් කලාව විමසීමේදී මේ දේවාලයටද වැදගත් තැනක් හිමිවේ. සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ දින 15ක් පුරා මැදගොඩ වාර්ෂික ඇසල පෙරහර පැවැත්වේ. එකලට අවට බොහෝ ප්‍රදේශවලින් පිරිස් පැමිණ පෙරහර නරඹති. පත්තිනි දෙවියන්ගේ මෙන්ම ගනේගොඩ දෙවියන්ගේද හාස්කම් පතා බාරහාර වෙති.
♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - සුමුදු හේවාපතිරණ