ලොකු පොඩි කාගේත් රස නහර පිනා යන රසකැවිලි සහ පැණි බීම අද වෙළෙඳපොළෙහි වැහි වැහැලාය. දිව පමණක් නොව ගත සිතද අමන්දානන්දයට පත්කරවන අන්දමින් රසකැවිලි සෑදීමට අද බොහෝ ව්‍යාපාරිකයෝ පෙළැඹී සිටිති. එමෙන්ම පැණි රස මදි නම් කුමකින් හෝ පැණි රස දෙන්නට රූප පෙට්ටියෙන් වෙළෙඳ දැන්වීම් වලින් ශිල්ප දක්වමින් ඔවුන් දක්වන්නේ පුදුම උනන්දුවකි. අද බොහෝ මව්පියන් සැදී පැහැදී සිටින්නේ දරුවන්ට පැණි රස කැවීමට බව කීම නිවැරදිය. එය දරුවන්ගේ පැවසූවේ සෞඛ්‍යයට කොතරම් හිතකර දායකදැයි ඔවුන් සිතන්නේ නැත.
රතු, කහ, කොළ වර්ණ සංකේත යනුවෙන් කෙනෙක් කියූ වි අපට මතක් වන්නේ ට්‍රැෆික් ලයිට් ගැනය. අප ගමන් ගන්නා මහමඟ ඇති අවහිර, බාධක ඉවත් කිරීමට උදවු වන මෙම ට්‍රැෆික් සංඥා පුවරු දැකීමට ඇතැම් රියදුරන් මෙන්ම කාර්ය බහුල මගීන් ද අකැමැතිය. නමුත් එයින් සිදුවන්නේ පිටට නොපෙනෙන මහමෙහෙවරකි. ශ්‍රී ලංකාවේ රසකැවිලි නිෂ්පාදන සඳහාත් මෙවැනි වර්ණ සංඛේත ක්‍රමයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නේ ඒ අනුව යමිනි.
අප ගන්නා ආහාර පාන අනුව අපගේ අනාගතය රඳාපවතින්නේයැයි කියමනක් ද ඇත. ශරීරයට අහිතකර වස - විසත් අපගේ මුඛයෙන් ශරීරයට ඇතුළුවූවහොත් අපගේ මරණය පවා එහි ලියැවී තිබිය හැකි. පැණි රසත් එවැනි වසවිසක් බව බොහෝ දෙනා දන්නේ නැත. දැනගත්තත් ඒ ගැන වැඩිදුර සිතන්නේ නැත.
සීනි අඩු කිරිල්ලට බිස්කට් හදන සමාගම්වල විරෝධය
ඔවුන්ගේ රස කැවිලි විවිධය. ඒ රසකැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් සහ පැණියෙන් සාදාගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ තබා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති. සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට් නොක්ස් විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළදිව ග්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ එසේය. එයින් ගම්‍ය වන්නේ එදා සිටම ලාංකිකයන් පැණි රස වෑහෙන රස කැවිලි සෑදීමට රුසියන් බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශය රසකැවිලි නිෂ්පාදනවල සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේතයක් ඉදිරියේදී හදුන්වාදීමට නියමිතය. බිස්කට් වර්ග, ටොෆිවර්ග, කේක්, දොදොල්, බූන්දි යන සියලුම රසකැවිලි සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව මෙම නිෂ්පාදන ග්‍රෑම් 100ක් සඳහා ග්‍රෑම් 11කට වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගුනම් රතු වර්ණයද, ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගුවේ නම් කහ වර්ණයද ග්‍රෑම් 02ට වඩා අඩු සීනි මට්ටමක් සඳහා කොළ වර්ණයද සඳහන් වීමට නියමිතය.
රසකැවිලි නිෂ්පාදනවල සීනි මට්ටම අඩුකිරීමට රජය විසින් ගත් මෙම තීරණයට බිස්කට් නිෂ්පාදන සමාගම්වල විරෝධතාවයක් ද එල්ල වී ඇති බවට ද වාර්තා වේ. මෙම සීනි මට්ටම අඩුවීම තුළ ආහාරයේ රසයට බාධා සිදුවන බවට මතයක් ද ඔවුන් ගොඩ නගා ඇත. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම සඳහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක්ද හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ඉහත දී පියවරගෙන තිබිණි.
වෙළෙඳ ව්‍යාපාරයක් සිදුකිරීමේ මූලික අරමුණ ලාභ උපරිමව ලබාගැනීමය. රසකැවිලි වෙළෙඳුන්ද එසේමය. කොතරම් නීති වැටකඩොළු තිබුණත් එයින් මිදී ලාභ උපරිමයට ගැනීම සඳහා ගුණාත්මක භාවය ගැන හෝ මිනිසාගේ ජීවිතය ගැනද නොතකා විවිධ මාදිලියේ රස කැවිලි ලොව පුරා නිෂ්පාදනය කෙරේ. අතීත සමාජයේ ආහාර මෙන්ම රසකැවිලි නිෂ්පාදනය සඳහා ද කර්මාන්ත පැවතියේ නැත. එය මහා පරිමාණයෙන් ව්‍යාප්තව තිබුණේද නැත. බහුතරයක් රස කැවිලි තමන් විසින්ම සපයා ගන්නා ඒවා වී තිබිණි. නමුත් වෙළෙඳපොළ වාණිජකරණය වීමෙන් මෙම තත්ත්වය වෙනත් අතටක හැරුණේය.
දියවැඩියාවට වැටක් ගැසීම මූලිකම අරමුණක්
ආහාර පාලන පනතේ විධි විධාන යටතේ සෑම පැණිබීම වර්ගයක් සඳහාම ද මෙම ක්‍රමය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක විය. ඒ අනුව අලෙවිය අඩුවීම හේතුවෙන් මෙරට කොකා කෝලා සමාගම තම බීම තුළ අඩංගු සීනි සාන්ද්‍රණය අඩු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා විය. කොකා කෝලා මිලි ලීටර 100ක අඩංගු සීනි ප්‍රමාණය ඒකක 11ට වැඩි අගයක තිබූ බැවින් එයට හිමිව තිබුණේ රතු වර්ණයයි. ඒ අනුව එම සමාගම සීනි මට්ටම 10 දක්වා අඩුකර කහ වර්ණ සංකේතය ලබාගැනීමට සැලසුම් කර ඇති බවද පැවසේ. මෙයට අමතරව සීනි භාවිතය අඩු කිරීම පිණිස වර්ණ සටහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් නියමිත ප්‍රමාණයට වඩා මේදය, ලුණු සහ සීනි අඩංගු ආහාර වෙනුවෙන්ද විශේෂ බද්දක් පැනවීමට සිදුවන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි.
වර්තමානයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් සියයට 70ක් පමණ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳු අය බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි. බොහෝ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ පැණිබීම වර්ගවල සහ රසකැවිලිවල අඩංගු සරල සීනි හෙවත් සුක්‍රෝස් වර්ග හරහා දීර්ඝ කාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇතිවිය හැකි බවයි.
කෙසේ වෙතත් ස්ථූලභාවය, දියවැඩියාව සහ දත් දිරායාම අවම කිරීම සඳහා පළතුරු සහ කිරිවල අඩංගු ස්වභාවික සීනි හැරුණ විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි (Free sugar) පරිභෝජනය අවම කිරීමට පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකද දැක්වේ.
මෙරට නිෂ්පාදනය කරනු ලබන ආහාර වර්ග හා රසකැවිලි සඳහා වන රසකාරක ද්‍රව්‍යයන් 19ක් භාවිත කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ආහාර පාලන ඒකකය තහනම් කරනු ලැබූයේ පසුගිය 2014 වසරේදීය.
ඒ අනුව ඇලොයින්, බර්බරින්, බීටා - ඇයරෝන්, ඇන්ඩි ක්ලිනමයිල්, ඇන්ත්‍රසිලේට්, සිනමයිල් ඇන්ත්‍රක් සිලේට්, තේඩ් මයිල්, කැලමස් මයිල්, කොකේන්, කුමරන්, ඩයිඑතනීල් ග්ලයිකෝල්, මොනෝඊතයිල් ඊතර්, එස්ට්‍රගෝල් ඉයුපිනයිල් මීතයිල් ඊතර්, හයිපරසින්, නයිට්‍රොබෙන්සින්, පයිරොලජින්ස් ඇසිඩ්, සැගරෝල්, අයිසැෆරෝල් යන රසකාරක වර්ග මෙලෙස තහනම් විය.
උත්සව සමයේදී මෙම රසකැවිලිවලට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. එමෙන්ම උත්සව සමයන් තුළදී රසකැවිලි විවිධ අසුරණයන්හි දවටා වෙළෙඳපොළට පැමිණෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයට ඇත්තේ 2030 වසර වනවිට රටේ සමස්ත ජනගහණයෙන් තුනෙන් එකකට බෝ නොවන රෝග අවම කර ගැනීමේ අපේක්ෂාවය. පැණිබීම වර්ගවල වර්ණ සංකේත යෙදීම අනිවාර්ය කළ පරිදිම රසකැවිලි ආහාර නිෂ්පාදනවලටද වර්ණ සංකේත යොදා එහි ඇති ලුණු, සීනි, මේදය අඩංගු ප්‍රමාණයන් දැක්වීම අනිවාර්ය කරන බවද ඇමැතිවරයා පසුගියදා පැවසීය.
♦ හසිත් අංජන