2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ඒකනං ඇත්ත

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

 

වාසිබෝලන්තයේ භාෂාවෙන් පදවිය යනු උස් ආසනය යන අරුත දෙන්නකි. එරට ජන වහරට අනුව  උසස් ආසනයන්හි හිඳගන්නේ ජනාධිපති, අගමැති වැනි උසස් පුද්ගලයන්ය. එහෙයින්දෝ, එරට ජනපති, අගමැති වැනි අංක එකේ දෙකේ පුරවැසියන් බලයට පත්වීම පදවි ප්‍රාප්තිය යනුවෙන් හැඳින්වේ.

වාසිබෝලන්තයේ පදවි ප්‍රාප්ති උත්සවයන් ජනතාවට මංගල්‍ය කාරණයක් වෙයි. ඊට හේතු ගණනාවකි.

එරට පැවත එන සිරිත අනුව පදවි ප්‍රාප්ත මඟුලේදී, පොදු ජනතාව අතරින් තෝරාගන්නා පිරිසකට පදවිය නොහොත් උස් අසුනේ මොහොතක් හිඳ සිටීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම, තරුණ තරුණියන් කීපදෙනකුටද ඒ අවස්ථාව ලබාදෙන්නේ ඔවුන් අනාගතයේ ජන නායකයන් විය යුතු බවට ඉඟි කරමිනි. දේශපාලනඥයන්ගේ දූ දරුවන් හෝ පවුලේ ඥාතීන් ජනපති - අගමැති වීමේ දුෂ්චාරිත්‍රයක් එරට නැත. නීතියෙන්ම එය තහනම්ය. 

පදවි ප්‍රාප්ත මංගල්‍යයේ සියලුම වියපැහැදම් ජනාධිපතිගේ පෞද්ගලික ධනයෙනි. ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ඔහු සතුව නැතිනම්, බැංකු ණයකින් ලබාදෙනු ලැබේ.

පුවත්පත් දැන්වීම් පළ කිරීම, රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීම, තොරන් ගැසීම වැනි සියලු කටයුතු ජනාධිපතිගේ වියදමින් සිදුකෙරේ. මෙහිදී විශේෂයක් වන්නේ, ඒ සියල්ල ජනාධිපති අභිනන්දනයක් වශයෙන් නොව, ජනතා ප්‍රණාමයක් වශයෙන්, ජනතාව විෂයයෙහි සම්පාදනය වීමය. මෙම අමුතු සිරිත පිළිබඳව එරට මාධ්‍යවේදියෙක් මෙසේ පැහැදිලි කළේය.

ජනපති, අගමැති පත් කරන්නේ ජනතාව. ඒ නිසා අපේ රටේ පදවි ප්‍රාප්ති මඟුලේදී සිද්ධ වෙන්නේ ඒ දෙන්නා, ජනතාවට ස්තූතිය පළ කිරීමක්.

එරට පදවි ප්‍රාප්ති මඟුලේදී, පොදු ජනතාවට සහන රුසක් සැලසේ. ඔවුනට රටේ තිබෙන ඕනෑම හෝටලයකින් නොමිලේ ආහාර වේලක් ලබාගත හැකිය. අවන්හලකින් නොමිලේ මත්පැන් පානය කළ හැකිය. සුපිරි වෙළෙඳසල්වලින් නොමිලේ බඩු බාහිරාදිය ලබාගත හැකිය. ඒ සියලුම බිල්පත් ගෙවනු ලබන්නේ ජනාධිපති විසිනි.

පදවි ප්‍රාප්ත දිනයේ උපදින සෑම දරුවකුටම එරට ජාතික පාසලක් හිමිවීමද, ජනතාව ලබන තවත් වරමකි. මේ සඳහා බොහෝ දෙමව්පියන් කල්තියා සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

බන්ධනාගාර රෝහල්වල සිටින සියලු සිරකරුවන් නැවත, ඔවුන්ට නියමිත සිරකුටි වෙත යැවීමද පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිදුකෙරෙන තවත් මහජන සේවාවකි. ඊට අමතරව මූල්‍ය හා අපරාධ නඩු සියල්ල අවසන් කොට, වරදකරුවන්ට දඬුවම් පැනවීමද එදින සිදුකෙරේ.
පදවි ප්‍රාප්ති මංගල්‍ය දිනයේ උදෑසනම රූපවාහිනී මාධ්‍ය මගින් ජනතාව අමතන වාසිබෝ ජනාධිපතිවරයා විශේෂ ප්‍රතිඥාවක් ලබාදෙයි.
ඒ අසන ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කරති. 

සියලුම මැති ඇමතිවරැ, තමන්ගේ තුන් මසක වැටුප් මුදල්, දුගී දුප්පත් ජනයා අතර බෙදා දීමටද මෙදින සිදුවන තවත් උදාර විදාතා සේවාවකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම් තමන් සතු වාහන හා පර්මිට් වෙනත් අයට විකිණීමටද අවසරය ලැබේ.

මෙම උත්සව දිනවල, රට පුරාම දැක්වෙන පෝස්ටර්, බැනර් ආදියෙහි ඇත්තේ එකම ආකාරයේ වැකියකි. පදවි ප්‍රාප්ති මහා මංගල්‍යය, නොහොත් බලය ලබාදුන් ජනතාවට කෘතඥතාව දැක්වීමේ උළෙල.

වාසිබෝ පදවි ප්‍රාප්ති උළෙල පක්ෂ භේදයක්ද නැත්තේ එරට ආණ්ඩු පක්ෂය තුළ සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන් සිටිනා බැවිනි. බොහෝ මන්ත්‍රීනට තමන්ගේ පක්ෂය කුමක්දැයි අමතක බැව්, ඔවුන් කරන කියනා කතාවලින් පෙනී යයි. පක්ෂයක් නැති නිසා ඔවුනොවුන් අතර තරගයක්ද නැත. සියල්ලෝ එක් කුස උපන් සොහොයුරන් සේ සමගියෙන් විදේශ චාරිකා යමින්, වැටුප් වැඩිකර ගනිමින් සතුටින් කල් ගෙවති. පොදු ජනතාවට සේවය කිරීමෙහිදී පක්ෂයක් අවශ්‍ය නැති බව ඔවුන්ගේ විශ්වාසයයි. පක්ෂයකට නායකයකු පමණක් සිටීම ප්‍රමාණවත්ය. එහෙයින් ඒ වගකීම් ජනාධිපති හා අගමැති වෙත පවරා තිබේ.

වාසිබෝ පදවි ප්‍රාප්තිය සඳහා විදේශ රටවල නායකයනටද ආරාධනා කෙරුණි.
සැණකෙළි පවත්වමින් සිටි ජනතාව දුටු රාජ්‍ය නායකයෝ මහත් පුදුමයට පත්වූහ.
එක් රටක ජනාධිපතිවරයෙක් සෙනඟ අතරට ගොස් එක් අයකුගෙන් මෙසේ විමසුවේය.
ඇත්තටම ඔබට මේ තරම් සතුටු ඇයි?
අපිට එහෙම නියෝගයක් ලැබිල තියෙනවා.
මොනවා! එහෙමනං ඔබ හදවතින්ම සතුටු වෙනවා නොවෙයිද?
අපිට හදවතක් නෑ
මොනවා... එහෙම වෙන්නෙ කොහොමද?
අපිට එහෙම හිතන්න කියල නියෝගයක් ලැබිල තියෙනවා
ඉතින්, ඔය වගේ නියෝග පිළිපදින්න ඔබට මොළයක් නැද්ද?
අපිට මොළයක් තිබුණ නං, අපේම සල්ලිවලින් පවත්වන පදවි ප්‍රාප්තියක් ගැන මේ හැටි උත්සව පවත්තනවද?
එතකොට ජනතාවට කෘතඥතාව පුද කරනවාය කියන කතාව සම්පූර්ණ බොරුවක් කියලද ඔබ කියන්නෙ?
නෑ. ඒක විතරයි මෙතන තියන ඇත්ත. ඔය පදවි තානාන්තරවලට පත්වුණේ කොහොමද කියන එක ඒ ගොල්ලො දන්නවා. අපිත් හැමදාම එකම වැරැද්ද කරනවා. ඒ ගොල්ලොත් දිගටම පදවි ප්‍රාප්ත වෙනවා. අපි අභාවප්‍රාප්ත වෙනවා.

කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00