2017 ජනවාරි 14 වන සෙනසුරාදා

මොනවද මේ සංඝ ආඥා?

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 565

 

මහා සංඝරත්නය යනු මෙරට බුද්ධ ශාසනය රැකගනිමින් එහි චිරස්තථිය සඳහා දායකත්වය සපයන ආගමික නායකයෝ වෙති. රටේ පාලකයන් දසරාජ ධර්මයට පටහැනිව යමින් රට කරවනා විටදීද, රටට එල්ලවන විදේශීය ආක්‍රමණවලදීද, එදා සිටම පෙරමුණ ගත්තේ මහා සංඝරත්නයය. රට වැසියාගේ යහපත වෙනුවෙන්ද දුක සැප බෙදා ගැනීමට සිටියේද මහා සංඝරත්නයයි. ගමයි - පන්සලයි, වැවයි - දාගැබයි යන සංකල්පය අපිට හිමිවූයේද, රත්නදීප, ධර්මදීප යනුවෙන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වූයේද මහා සංඝරත්නය අපිට ලබාදුන් ඒ අවවාද අනුශාසනවල අනුභාවයෙනි.

ගමක මිනිසුන් පෙරමුණගෙන යම් කටයුත්තක් සඳහා මුල පුරද්දී හැමවිට පෙරමුණ ගත්තේද මහා සංඝරත්නයයි. පසුගිය සතියේද හම්බන්තොට පැවති විරෝධතා ව්‍යාපාරයටද විරෝධතාකරුවන් සමඟ භික්ෂූන් වහන්සේලාද පැමිණ සිටියහ. ගම්මුන්ගේ ඉඩම් චීන සමාගමකට පවරාදීමට එරෙහි වෙමින් උන්වහන්සේලා එහිදී සංඝ ආඥාවක් නිකුත් කරන බව ප්‍රකාශ කළහ. රටට එරෙහි කිසියම් උවදුරකට මුහුණපාන විටදී මහා සංඝරත්නය විසින් රටේ චිරස්තිථිය උදෙසා සංඝ ආඥා නිකුත් කරන අවස්ථා තිබෙන බව සඳහන් වේ.

භික්ෂූන් වහන්සේලා තම චර්යාව කෙසේ සකස් කරගත යුතුද යන්න විනය පිටකය තුළ සඳහන් වෙයි. ආඥා දේශනාවල සඳහන් වන්නේද එයයි. එලෙස බලන විට යම් සංස්ථාවක් ගොඩනගා ගැනීමට පනවන නීතිරීති ආදි කරැණු මහා සංඝරත්නය අණක් ලෙස පැනවීම සංඝ ආඥාවක් ලෙසට හැඳින්විය හැක. භික්ෂූන් වහන්සේලා අතර ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණහොත් එය සන්සිදුවීමටද, සමාජයේ කිසියම් ආරවුලක් ඇතිවුවහොත් එය විසඳාලීමටද සංඝ ආඥාවක් නිකුත් කිරීමේ බලය මහා සංඝරත්නය සතුව ඇත.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි වකවානුවේදී සංඝ ආඥා නිකුත් කළ අවස්ථා තිබූ බවත් සඳහන් වන්නේ නැත. නමුත් දාඨෝපතිස්ස රාජ පාලන කාලය තුළදී රජු එකල මහා විහාර සම්ප්‍රදාය නොසලකමින් භික්ෂූන් වහන්සේගේ සීමාව ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පත්ථ නික්කුච්ඡන කර්මය සිදු කළහ. දානය ප්‍රතික්ෂේප කිරීම භික්ෂූන් වහන්සේලා එම ක්‍රියාව අනුගමනය කරන ලද්දේ රජු විසින් අනුගමනය කරන ලද මහා විහාරයේ කැමැත්තට පටහැනිව කටයුතු කිරීම නිසාවෙනි. එයද මහා සංඝයා පැනවූ පත්ථ නික්කුච්ඡන කර්මය සංඝ ආඥාවේ මූලාරම්භය ලෙස සැලකේ.

සංඝ ආඥාවක් නිකුත් කිරීමට භික්ෂූන් වහන්සේලා මෙන්ම මහා සංඝරත්නය මෙපමණ සංඛ්‍යාවක් සිටිය යුතුයැයි නියමයක් නැත. කෙසේවෙතත් ත්‍රෛයිනායික මහා නාහිමිවරුන් මුල්වී නිකුත් කරන ලද සංඝ ආඥාවක් ඉතාමත් බලසම්පන්න වශයෙන් සැලකෙයි. කිසියම් රාජ්‍ය නායනයකු නිසි පරිදි රාජ්‍ය පාලනය සිදු නොකරන්නේනම් සහ රටට අවාසිදායක වැඩකටයුතු සිදුවේ නම් භික්ෂූන්ට සංඝ ආඥාවක් නිකුත් කිරීමේ බලයක් ඇත.
මෙලෙස සංඝ ආඥාවක් නිකුත් කරන්නේ කුමන අවස්ථාවකදීද? එවැනි සංඝ ආඥා මෙරට තුළ කොපමණ සංඛ්‍යාවක් සිදුකර තිබේද යන්න පිළිබඳව මහාචාර්ය පාතේගම ඥානිස්සර නාහිමියන්ගෙන් අපි විමසීමක් කළෙමු.

මෑත ඉතිහාසයේ කාල වකවානුව තුළ සංඝ ආඥාවන් නිකුත් කරන ලද අවස්ථා ඉතා  සුළු ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. මීට දශක තුනකට පමණ පෙර එක්තරා භික්ෂූන් වහන්සේ නමක් උත්සාහ කළා මහායාන බුදු දහම මෙරටට ගේන්න. එදා සිටි සංඝරත්නය රජයට සංඝ ආඥාවක් නිකුත් කළා එයට විරෝධය පළ කරමින්. ඉන් පස්සේ මහායාන බුදු දහම ගෙන ඒම එහෙමම නතර වුණා. ඒ වගේම තමයි යම්කිසි භික්ෂුවක් යම් යම් පුද්ගලයන්ගේ තනි තීරණවලට නතුවී සංඝ ආඥාවක් පැනවීම සිදු නොකළ යුතු වීම. එය එසේ සිදුකරනවානම් වන්නේ අපගේ චීවරයට කරන මහත් අගෞරවයක්.  නමුත් අවාසනාවකට අද එවැනි සිදුවීම් කිහිපයක් අප දැක තිබෙනවා. මගේ අදහස නම් එය එසේ සිදුවිය යුතු නැහැ කියන එකයි.

සමාජයට රටට යම්කිසි වැරදි සිදුවේනම් එය නිවැරදි මාර්ගයට යොමු කිරීම සඳහා තමයි සංඝ ආඥාවක් නිකුත් කළ යුත්තේ. එසේ නොමැතිව සමාජයේ සිදුවන සෑම කාරණයකටම සංඝ ආඥා නිකුත් කිරීමට පියවර ගැනීම තුළින් සංඝ ආඥාවකට තිබෙන වටිනාකම හෑල්ලුවට ලක්වන අවස්ථා තිබෙනවා. ඒ වගේම ධර්ම විනයානුකූල පදනමක පිහිටලා කටයුතු කිරීමෙන් සංඝ ආඥාවක් බලාත්මක කිරීමට පුළුවන්. එසේ නොවුණහොත් එය බල රහිත වීමටද ඉඩකඩ පවතිනවා.

වර්තමානයේදී ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික වුවමනාවන්ට සංඝ ආඥා නිකුත් කරන බවට වර්තමාන සමාජයේ කතාබහක් පැතිරෙමින් පවතී. ප්‍රමාණවත් හේතු රහිතව එවැන්නක් පැනවීමට ක්‍රියා කිරීමෙන් සිදුවන්නේ සංඝ ආඥාවක පවතින බලය හීනවීමය. පෙර සිටම කරගෙන ආ පරිදි සංඝ ආඥා රටවැසියාගේ යහපත උදෙසා අවශ්‍යම අවස්ථාවලදී පමණක් නිකුත් කිරීම තුළින් රටට මෙන්ම සමාජයටද එය යහපතක් සිදුකරනු ඇතැයි සඳහන් කළ හැකිය.

මෙම සංඝ ආඥාව නිකුත් කිරීමේ නෛතික බලය ඇත්තේ ත්‍රෛයිනායික හිමිවරුන්ටය. බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ට සහ භික්ෂූන්ට එරෙහිව කටයුතු කරන්නන්ට එරෙහිව අතීතයේදී එවැනි සංඝ ආඥා පැනැවූ අවස්ථා තිබේ.

පසුගියදා හම්බන්තොට ඉඩම් චීනයට පවරා දීමට යන බවට චෝදනා කරමින් ඊට විරෝධය පළ කරමින් හම්බන්තොට දිස්ත්‍රික් මාගම්පුර ඒකාබද්ධ භික්ෂු සංසදය සංඝ ආඥාවක් නිකුත් කිරීමට උත්සාහ කළද ඉන් පළක් වූයේ නැත. එම උද්ඝෝෂණයට පැමිණි පිරිස සහ තවත් පිරිසක් අතර සිදුවූ ගැටීම් හේතුවෙන් කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල විය. භික්ෂූන් වහන්සේලා කීප නමකටද එහිදී ප්‍රහාර එල්ල වූ බව කියැවේ.

මෙකී සිදුවීමට එරෙහිව පත්ථ නික්කුච්ඡන කර්මය ආණ්ඩුවේ නායකයන්ට පනවා බලය පෙන්වන ලෙස පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රට පුරා භික්ෂූන්ගෙන් ඉල්ලා සිටියහ. එය ඉදිරියේදී සිදුවේදැයි බලා සිටිය යුතුය. රටට, ජාතියට, ආගමට එරෙහිව අහිතකර බලපෑම් එල්ලවන විටදී සංඝ ආඥා නිකුත් කිරීම සිදුවිය හැකි නමුත් වර්තමානය වනවිට යම් යම් පුද්ගලයන්ට දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි සංඝ ආඥා නිකුත් කිරීමට සූදානම් වන බවක්ද පෙනී යයි.

හසිත් අංජන

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00