වැලන්ටයින් කිව්වම, ඉතින් ඕක එක දවසක් විතරක් මොකෝ? දැන් තියෙන්නෙ පශ්චාත් නූතනවාදයේ ලිබරල් මෙව්වා එකක් ය. වෙළඳපොළෙත් විකුණනවා, ඒකයි මේකයි කතා ගොඩයි. ඕවා හැමතැනම තියන හින්දා අපි වෙන දෙයක් ගැන කතා කරමු.
ලංකාවේ ආදරේ තියනවද?
ඔව් ලොකු ප්‍රශ්නයක්...
සරලව අපි මෙහෙම හිතමු.
ලංකාව ඇතුළෙ හැම මනුස්සයෙක්ටම ගරුත්වයක් ලැබෙනවද? තවත් ජාතියකට ආගමකට ගරැත්වයක් ලැබෙනවද? තව මනුස්සයෙක්ට මතයක් දරන්න අයිතියක් ලැබෙනවද? කොටින්ම නිදහස් පුරවැසියෙක් ලෙස ජිවත් වෙන්න ලංකාව ඇතුළෙ ඉඩ තියනවද? යුක්තිය සාධාරණය තියනවද?
ඔය ප්‍රශ්නවලට පිළිතුර කොහෙත්ම සතුටුදායක මට්ටමක නෑ.
මනුස්සයෙක් වීම නිසා උරුම වුණ මූලික මිනිස් අයිතිවාසිකම්වත් පිළිගන්න අකමැති සමාජයක් ඇතුළෙ ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඉතින් මෙහෙ මොන වැලන්ටයින්ද? ලංකාව කියන්නෙ ආදරේ කරන්න ඉඩදෙන සමාජයක්ද? ලංකාවෙ සමාජෙට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ආදරේ කරනවා කියන්නෙ මැජික් එකක්. මහා අපරාධයක්....!
කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් යන්න ඕනෙ බැන්දට පස්සෙයි. හාදුවක් දෙන්න ඕනෙ බැන්දට පස්සෙ කාමරේ ඇතුළෙදි විතරයි. ආදරේ කළානම් බඳින්නම ඕනෙ. නැත්තම් අම්මා හොයලා දෙන එකක් කරගෙන පාඩුවෙ ඉන්න ඕනෙ. ළමයිනුත් හදන්නම ඕනෙ. නැත්තම් අවාසනාවන්ත කාලකන්නි මුස්පේන්තුවො වෙනවා.
කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ යද්දි උන්ට අත් අල්ලගෙන යන්න බෑ. අඩු තරමෙ ඉස්කෝලෙ එකට ඉගෙනගත්ත කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරෙ හම්බවෙලා කතා කළත් උන් දෙන්නා දිහා වපර ඇහෙන් බලන්නෙ. බස් එකක පෙම්මුල්ලෙ කතා කරන්න බෑ... ඔව් ඒකට පෙම්මුල්ල කියලා නම දාලා තියෙන්නෙත් ඒක මැජික් වෙලා තියන හින්දා... බීච් එකක, පාක් එකක ඉන්න බෑ විසිල් ගහනවා. එලෝනවා. එක එකා ඇවිල්ලා කප්පම් ඉල්ලනවා.
මහ පාර අයිනෙ මුත්‍රා කරද්දි දැක්කෙ නෑ වගේ යන මිනිස්සු කොල්ලෙක් කෙල්ලෙක් සිපගන්නව දැක්කම ඒක දකින්නෙ ක්ලේමෝ එකක් බදාගත්ත ත්‍රස්තවාදියො දෙන්නෙක් දැක්කා වගේ. ඉස්කෝලෙක ගෑනු ළමයෙක්ගෙ බෑග් එක ඇතුළෙ රෝස මලක් තිබිලා අහුවුණාම ඒ ළමයව ගණිකාවක් කරලා මව්පියො ගෙන්නලා බැණලා ගහලා පන්ති තහනම් කරලා ජීවිතේම විනාස කරන්න තරම් කුහක වැඩවසම් ගෝත්‍රික සමාජයක් මේක.
ඇයි මෙහෙම කරන්නෙ කියන එකට සමාජෙන් දෙන උත්තරේ මොකක්ද...?
අපේ අහවල් අවුරුදු ගාණක සංස්කෘතික මෙව්වා එකට හානි වෙනවලු. ඒකෙ කන්‍යාභාවය විනාස වෙනවලු. අහන්න තියෙන්නෙ සරල ප්‍රශ්නයයි. අපේ ඔච්චර දියුණු සංස්කෘතිය කියන්නෙ කොල්ලෙක් කෙල්ලෙක් අත් පටලගෙන ගියාම, හාදුවක් දුන්නාම නැතිවෙන එකක් නම් තවත් ඒකෙන් ඇති වැඩක් තියනවද?
ඉතින් තරුණ වයසෙදි මනුස්සයෙක්ට එන හැඟීම්වලට වැටවල් කොටු ගහන සමාජෙම උන්ට පාර, වෙරළ බීච් එක බස් එක තහනම් කලාප කරලා, උන්ව අපරාධකාරයො කරලා, කොන් කරලා දැම්මට පස්සෙ උන් නිකන්ම බොක්ස්වලට රූම්වලට යනවා. පස්සෙ ඉතින් ඒකට ආයෙ කෑගහනවා.
පොඩි කාලෙ ඉඳන්ම විරුද්ධ ලිංගිකයා වනාහී භයානක හප්පෙකි, රකුසෙකි, ඩයිනෝසරයෙකි. ඌ සිටින්නේ ඔබව මරා උයාගෙන කෑමටය. ඒක නිසා උන්ව හෙවීමෙන් වැළකී ඉන්නය කියා භීෂණයක් දරැවන්ගෙ හිත් ඇතුළෙ පැළකරනවා. පස්සෙ උන් ලොකු වෙද්දි උන්ට ස්වභාවයෙන් උරැම වෙන හෝමෝනවලින් පිටකරන හැඟීම් කොහොම හරි එළියට දාන්න ක්‍රම හොයනවා. නිදහස සීමා කරපු නිසාම උන් ඒ වැටවල් කඩන්න පාරවල් හොයනවා. ඊට පස්සෙ ඉතින් අරක වුණා, මේක වුණා කියලා කෑගහලා වැඩක් නෑ.
ගොඩක් අය කියන කතාව තමා, දැන් ඉන්න උන් බස් එකක යන්න දන්නෑ. ඇඳේ ඉන්නව වගේ බස් එකේ පාරෙ බීච් එකේ හැසිරෙන්නෙ කියලා. ඔව් ඇත්ත.... එහෙම හැසිරෙනවා තමයි. නමුත් ඒක එහෙම වුණේ ඇයි?
සංස්කෘතියෙන් සමාජෙන් වැටකඩුලු දාලා, ආදරය අපරාධයක් විදිහට දකින සමාජයක් ඇතුළෙ සමහර පෙම්වතුන් මුණගැහෙන්නෙ හොරෙක් හිරෙන් පනිනවා වගේ ගේම් එකක් ගහලා. ඉතින් උන් උන්ගෙ හැඟීම් ඔක්කොම අර සුළු වෙලාවෙ පිටකර ගන්නවා.
අනිත් දේ තමයි ගොඩක් අය කියන ලිංගිකත්වය කියන කාරණය. ලංකාවෙ එතනත් දරුණු ප්‍රශ්නයක් තියනවා. සංස්කෘතිය ඇතුළෙ ලිංගිකත්වය නිර්වචනය වෙන්නෙ මහා අපරාධයක් විදිහට තමයි. ලිංගිකත්වය කියන්නෙ අමු කුණුහරුපයක් විදිහටයි අපේ සමාජෙ දකින්නෙ. ලිංගික අධ්‍යාපනය අතින් ලංකාව ඉන්නෙ බින්දුවෙ.
ස්ත්‍රියකට අනිවාර්යයෙන් කන්‍යා පටලයක් තිබිය යුතුමයි කියලා හිතන වැඩිහිටියො තාම ලංකාවෙ ඕන තරම් ඉන්නවා. ඉතින් ලංකාව ඉන්න ගෝත්‍රික වැඩවසම් තත්ත්වෙ ගැන තවදුරටත් කතා කරලා වැඩක් නෑ. ඉස්කෝලෙ ප්‍රජනනය පාඩම කරන්න පන්තියට එන ටීචර් ඇඹරි ඇඹරි ඉඳලා විනාඩි පහෙන් වෙන පිටුවක් පෙරළ ගනිල්ලා කියන අන්ත පහත් තැනකයි අපි ඉන්නෙ.
ඉතින් ලිංගිකත්වය මැජික් එකක් කුණුහරැපයක් වෙච්ච සමාජෙ ඇතුළෙ සමාජෙම වරදින් ළමයින්ට ලිංගික අධ්‍යාපනය නොදීම හින්දා තරුණ පරපුරම අගාධයකට ඇදලා දාලා තියනවා. ලිංගික අධ්‍යාපනය නොදීමේ විපාක විදිහට තමයි අහවල් අවුරුදු ගාණක මහා සංස්කෘතිය තියන රටේ තරැණ පරපුර මැජික් එකක් වෙච්ච ලිංගිකත්වය හොයාගෙන ඇවිදින්නෙ. Sex සර්ච් කරලා ගූගල් එකේ කප් ගැහුවේ. ගබ්සා සිය ගණනක් දිනකට සිද්ධ වෙන්නෙ, ළමුන් ගැබ් ගැනීම්, ලිංගික හිංසන, ස්ත්‍රී දූෂණ මේ තරම් සිද්ධ වෙන්නෙ. සමාජ රෝග ව්‍යාප්ත වෙන්නෙ. ඒවගෙන් බේරෙන්න දැනුමක් නැත්තෙ. ලිංගික කුහකයො, බාල අපරාධකාරයො, මානසික අසහනකාරයො බිහිවෙන්නෙ....
ඉතින් සමාජයක්, සංස්කෘතියක්, අධ්‍යාපන පද්ධතියක් ඇතුළු සමස්ත යාන්ත්‍රණයක් විසින් කරන ලද මහා වරදකට වන්දි ගෙවන්නෙ ලංකාවෙ තරුණ පරපුර. දැන් උන්ද වැරදිකාරයො?
වැලන්ටයින් පියතුමා, රජතුමා තහනම් කරපු ආදරය ඉල්ලලා තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙව්වා. වැලන්ටයින් පියතුමා ආදරේ කරන්න ඉගැන්නුවෙ නෑ. කොයි විදිහකට හරි ආදරේ කරන්න නිදහස ඉල්ලුවා. අන්න ඒ නිදහසයි වැලන්ටයින් පියතුමාගෙ සටනෙ පරමාර්ථය වුණේ.
ලංකාවටත් ඕනෙ අන්න ඒකයි.
මොකක්ද?
ආදරේ වෙනුවෙන් නිදහස...!!
චමල් අකලංක පොල්වත්තගේ