රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය,
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය;
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක් ම ය.
ප්‍රබුද්ධ
හිස්ය මේ ජීවිතය;
බොල්ය මේ ජීවිතය;
බලව!
රන් දුහුල් යට
සුවඳ විලෙවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම.
මහා රැවටිල්ලකට
හසුවුණ මෙන් හැඟිණ කුහකකම,
මේ උතුම් වැදගතුන්
බීමත්ව සුරාවෙන්
රැස්ව මේසය වටා සුද අතුළ
දිලෙන හැඳි ගෑරුප්පු ලා පසෙක
දෑතින්ම ගෙන තෙල් පෙරෙන මස් කටු
කෙළ හලා තලු මරා බුදින සැටි දකින විට.
මසට මුන් ඇති කරන
සතකු වැන්නෙමි මම ද
වැනි හැඟීමක් ඔහුට ඇතිවීය
පිටත්තරයෙක් ය නුඹ මුන් අතර
මෙය නොවේ නුඹට තැන,
නුඹ මෙයින් යා යුතුය.
♦ මහගමසේකර
(ප්‍රබුද්ධ අඛ්‍යාන කාව්‍යයෙනි)