2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ජීවිෙත් බොක්ස් වී අාදරේ පැකේජ් වීම...

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

යම් කෙනකු හෝ දෙයක් කෙරෙහි වූ අසීමිත බන්ධනය ආදරය යැයි කිවහැකිය. එහෙත් මෙම බන්ධනය මුදල කෙරෙහි ඇතිවුවහොත් සිදුවන විපර්යාසය සොබාදහමට පවා උහුලන්නේ නැත. මුදල් යනු ආදරයේ වැරදි ප‍්‍රතිස්ථාපනයක් මෙන්ම අතෘප්තිකර ආදේශකයකි. එහෙත් වත්මන් ලෝකයේ ආදරය හා මුදල අතර යම් සමානකම් දැකියහැකිය. මනුෂ්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය භූමිකාවක් මුදල විසින් හොබවනු ලබයි. මුදල් අසීමාන්තිකව වැඩිවීම මෙන්ම අඩුවීම ද දිනපතා මිනිසුන්ගේ එදිනෙදා සාකච්ඡාවේ තේමාවක් වී ඇත. එය උග‍්‍ර බලපෑමක් කරන්නේ සදාචාර වටිනාකම්වලටය. 

මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ගැන පාසලේ උගන්වද්දී මුල්ම ස්ථාන ගන්නේ ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්ය. මුදල් ගැන උගන්වන්නේම නැත. මුදල් ගැන ඉගෙනගන්නේ කල්ගතවීය. පෙර කී මූලික අවශ්‍යතා පවා තීරණය වන්නේ මුදල් මත බව ඉගෙනගන්නේ පසුවය. එහෙත් කඳු ගසා හරිහම්බ කළත් එයින් සතුට මිලට ගත නොහැකි බව වැටහෙන්නේ දීර්ඝ කාලයක් ගතවූවාට පසුවය. සමහරවිට ඒ ජීවිතයේ අවසාන භාගයේ වියහැකිය. මේ විනාශය වේගවත්වී ඇත්තේ පරමාදර්ශ බිඳවැටීමද වේගයෙන් සිදුවෙද්දීය.

සියලු විනාශවල මූලය මුදලය යනු කියමනකි. වර්තමාන පරම්පරාවේ හැසිරීම දෙස බලනවිට නම් එය කියමනකට වඩා දුක්ඛදායක යථාර්ථයකි. විය පැහැදම් කිරීමට මුදල් නොමැති කල්හි අපේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අසල්වැසියා ඝාතනය කිරීමේ සිට අම්මා තාත්තා දක්වා ආනන්තරිය පාපකර්මයකට පවා සම්මාදම් වන දූ පුතුන් නිර්මාණය වීමෙන් එය පැහැදිලිය.

පල්ලිය හෝ පන්සල අපේ හිතට එන්නේ මුදල් ගැන ලොකු වදවීමක් නැතිවුවහොත්ය. බොහෝ දෙනා අතිරික්ත මුදලක් යොදන්නේ ජීවිතයේ සුවපහසුව වෙනුවෙන් අල්ලසට ය. අවසානයේදී රාත‍්‍රී කෑමකට අප වැය කරන මුදල් තොගය අනුව ජීවන චර්යාව පවා වෙනස්කම්වලට භාජනය වේ. අකැමැත්තෙන් වුවද කරන රැකියාවෙන් වැඩිමනත් යමක් සොයාගැනීමට නම් අතිකාල සේවයේ යෙදිය යුතුය. එය සිතට දෙන්නේ අතිකාල මෙන්ම අතිරේක බරකි. 
අහස උසට නැගුණු තුඟු විසල් මන්දිර දකින බොහෝ මිනිස්සු ඒවායේ මහා ආදරයක් සැඟව ඇතැයි බාහිරින් බලා සිතති. ඒවා සමඟ සිය ජීවිත සසඳමින් තැවෙති. එහෙත් පිදුරු සෙවිලි කළ පැල්පතක ඇති සාමය මේ බොහෝ ගාම්භීර මන්දිර තුළ නැත. මුදල් ඒ තරම්ම බලපෑමක් මේ ජීවිතවලට කර තිබේ. බොහෝ දෙනකු පටලවාගෙන තිබෙන්නේ ජීවත්වීමට මුදල් හොයනවාද මුදල් හොයන්නට ජීවත් වෙනවාද යන ප‍්‍රශ්නයයි. ඒ ඒ රැකියාවලට හිමි වරප‍්‍රසාද කුට්ටිය හෙවත් පැකේජ් එකට අනුව ජීවත්වීම යුගයේ විලාසිතාවක් වී තිබේ. ඉහළ යැයි කියන වෘත්තිකයන් අතරේ පැවැති ජීවන විලාසිතාවක් වූ එය වර්තමානයේදී පහළ ස්ථරවල රැකියා කරන්නන්ගේ ජීවිතද ආක‍්‍රමණය කර ඇත. මේ නිසා තෝරාගත් පැකේජ් එකක ජීවත් වී ආදරේට ද පෙට්ටියක් තෝරාගැනීම කළ යුතුය. 

අත ඇති මුදලක් එදා පාවිච්චි කළ මිනිස්සු දැන් අන් යමක් සිතති. ඒ ආයෝජනය කිරීමක් ගැනය. මුදලට ඇති ආයෝජනීය වටිනාකමින් ජීවිතයේ හර පද්ධති මනින්නට පවා ඔවුහු පෙළඹී සිටිති. නිස්සරණාධ්‍යාශය යන වචනය අපේ භාෂාවේ පාවිච්චි වුණේ ප‍්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවී කරන උපකාර හඳුන්වන්නටය. එවැනි වචනයක් ඇත්තවශයෙන්ම දැන් අපට අවශ්‍ය නැත. ඒ වෙනුවට ආයෝජන යන වචනය පාවිච්චි කිරීම වඩා සුදුසුය. ක‍්‍රමය වෙනස් වී ඇත්තේ ඒ විදියටය. මිනිසුන් දෙදෙනකු අතර තිබෙන සම්බන්ධය පවා මුදල් අතර ගනුදෙනුවක් බවට ඉතාම පහළට වැටී තිබේ. ආගන්තුක සත්කාරයේ දිවයින හැටියට නොරටුන් හැඳින් වූ අප රටට ද වෙනසක් නැතිවම මේ ඉරණම අත් වී තිබේ. ඇත්තවශයෙන්ම මුදලට ඇති බන්ධනය ආදරයට කළ හදිය සුළු පටු නැත. 

♦ මයුර සඳකැළුම් වීරරත්න
ශ‍්‍රීපාලි මණ්ඩපය 
කොළඹ විශ්ව විද්‍යාලය

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00