2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ආදිවාසී ආණ්ඩුවක්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

පසුගිය සෙනසුරාදා උදෑසන මා ඉරිදා පත්තර බලමින් සිටියදී බිරිය අමුතු මුහුණක් මවාගෙන කාමරයේ දොරෙන් එබී බැලුවාය.

“අන්න ඔයා මුණගැහෙන්න ආදීවාසී කාන්තාවක් ඇවිත් ඉන්නවා.”

මගේ නම අගමැති ධූරයට යෝජනා වූ කලක මෙන් මම තිගැස්සුණෙමි.

ආදිවාසී කාන්තාවක්...? ඒක වෙන්ඩ බැරි දෙයක්නේ. ආදි ශිෂ්‍ය සංගමේ කවුරුහරි වෙන්ඩැති. හෙට අනිද්දා බිග් මැච් එකත් තියෙනවනේ.

පිස්සුද අනේ. ඔයාට වගේයැ, මට තාම හොඳට ඇස් පේනවා. කාන්තාවක් ඇවිත් ඉන්නේ. එයා ආදිවාසීලු.

බිරිය මා දෙස රවා බැලුවාය. පසුගිය දිනවල මහියංගනය පැත්තේ ද රවුමක් ගසා ආ හෙයින්, මා කිසියම් පටලැවිල්ලකට මැදි වී ඇතැයි ඈ සැක සිතනවා විය යුතුය. සෙනසුරාදා පවුල් අවුල් විය හැකි බව, ගිය ඉරිදා ලග්න පලාඵලවලටද කියා තිබුණ වග මට සිහි වුණි. අභියෝගයන්ට නොබියව මුහුණ දීම සැබෑ ජනමාධ්‍යවේදියකු සතු උදාර ගුණයකි. යන කියමන මතකයට නගා ගත් මම සරම තදින් ගැට ගසාගෙන, පපුව කෙළින් තියාගෙන ඉස්තෝප්පුවට පිය නැගුවෙමි. බිරිය සාලයේ ඇයට සුපුරුදු නිරීක්ෂණ ස්ථානයේ රැඳී සිටියාය.

මේ පැමිණ සිටින්නේ කවරෙකු විය හැකිද? ඇය මෑතකදී ප්‍රාදේශීය සභාවකට තේරී පත් වූ ආදිවාසී තරුණිය විය නොහැකිද?

ඉදිරිපස දොරටුව අසල රැඳී සිටියේ මා බලාපොරොත්තු වූ ආකාරයේ කාන්තාවක් නම් නොවේ. ඇය තුළ කිසිදු ආදිවාසී බවක් නම් නොවීය. නවීන පන්නයට හැඳ සිටි ඇගේ මුහුණ රෑපලාවන්‍යයටද ලක්ව තිබුණි. “වාඩිවෙන්න” යි නොකියාම “මාව හම්බවෙන්නද ආවේ” යැයි ඇසුවේ මෙය කිසියම් වැරදීමකැයි මා සිත ඉඟි කරනා නිසාය.

ඔව්. මහත්තයා මුණගැහෙන්න තමයි ආවේ. මම ආදිවාසී කාන්තාවක්. මට පත්තරේ ලිපියක් දාගන්න ඕන කරනවා.

ඇය මීපැණි බෝතලයක් සහිත ප්ලාස්ටික් මල්ලක්ද ටීපෝව මත තැබුවාය. මම ආදිවාසී ක්‍රමයට ආචාර කරනු පිණිස දෑතම දිගු කළෙමි. එහෙත් ඇය බටහිර ක්‍රමයට සුරත දිගු කළාය. 

වාඩිවෙන්න. මුලින්ම මගේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. ආදිවාසී තරුණියක් මෙදා ඡන්දෙදි ලබපු ජයග්‍රහණයක් ගැන.

තැන්කියු... එයත් අපේ දුර නෑයෙක් තමයි

කාන්තාව ඉවත බලා සිනාසුණාය.

ආදිවාසී කවුරුත් නෑදෑයොනෙ නේද?

නෑ. නෑ. අපි වෙනස්. අපි කෙළින්ම අවේණික ලේ. නෑයෝ සමහරු මික්ස්. තවත් සමහරු රී මික්ස්. අපි තමයි ඔරිජිනල් ආදිවාසියෝ.

ඇය, කකුලක් පිට කකුලක් දමාගෙන, ඒ මත පන් මල්ලක් තරම් විශාල හෑන්ඩ් බෑගය තබා ගත්තාය. එහි දුන්නක් සහ හීයක් දැක්වෙන වෙළෙඳ ලාංඡනයක් ද විය. 

මොන වගේ ලිපියක්ද පළ කර ගන්න ඕනේ?

මම ඇසුවෙමි.

ආදිවාසී කාන්තාවන් ගැන මේ සමාජයේ තියෙන දුර්මත වැරදි ආකල්ප වෙනස් වෙන්න ඕනේ. මහත්තයා ඒ ගැන ලියන්න මගේ නමින්. මම මුදල් ගෙවන්නම්.

මුදල් එපා යැයි එකවරම පැවසීමට සිතුණත්, නිරීක්ෂිකාව ද සාලයේ සිටින නිසා මම නිහඬ වීමි.

අපි මුලින්ම වෙනස් කරන්න ඕනේ ආදිවාසී කාන්තාව ලාංකික දේශපාලනයට ආවේ මේ වතාවේ කියන කාරණය. මේ රටේ මුල්ම දේශපාලන කාන්තාව තමයි අපේ කුවේණි.

මම හිස සලමින් එකඟතාව පළ කළෙමි. ඉන් දිරිමත් වූ ඇය දිගටම කතා කළාය.

ආදිවාසී කාන්තාවන් දේශපාලනයට ඒම අලුත් සිරිතක් නෙවෙයි. මේ මෑතකදී මෙක්සිකෝවේ ජනාධිපතිවරණයටත් ආදිවාසී කාන්තාවක් ඉදිරිපත් වුණා. ලබන ජනාධිපතිවරණයට, කැකුළියක් ඉදිරිපත් කරන්න අපිත් බලාපොරොත්තු වෙනවා.
මම වහාම එය සටහන් කර ගතිමි. ඇය එදෙසට එබී බැලුවාය.

ඒත් එයා ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත්ත කෙනෙක්. ඒ නිසා කැකුළිය කියන වචනේ පාවිච්චි කරන්න එපා.

එහෙනම් එයත් ඔයා වගේ මොඩ් කැකුළියක් වෙන්ඩැති?

මම සරල විහිළුවක් කළෙමි.

ඒකම නෙවෙයි. ඔයගොල්ලෝ කැකුළිය කියන වචනේ පාවිච්චි කරන්නේ අපිට සරදම් කරන්ඩ. මේ ළඟදි සැටලයිට් මැඩම්ටත් කැකුළිය කිව්වනේ. අපිනම් කවදාවත් අපිට ඉහළින් හිටපු නායකයන්ට එහෙම නින්දා අපහාස කරන්නේ නෑ.

මම ලජ්ජාශීලී ලෙස හිස සැලුවෙමි.

දියුණුය කියන රටවල මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒගොල්ලේ ශිෂ්ටයි අපි අශිෂ්ටයි, ගෝත්‍රිකයි, වනචාරියි කියලා. ඒත් දෙගොල්ලන්ගේ හැසිරීම දිහා බැලුවම පේනවා ඒක වැරදියි කියලා.

එවර ඇගේ හඬ තරමක් අවේගශීලීය.

අපි තමයි ලෝකේ මුල්ම අයිතිකාරයෝ. මිනිස්සු තුවක්කුවේ බලයෙන් අපිට උරුම රටවල් උදුර ගත්තා. අමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ. ඕස්ට්‍රේලියාව ඇබොර්ජීනියන්ලගේ. ලංකාව අපේ. තව උදාහරණ ඕන තරම්. ඉන්ටර්නෙට් ගිහින් බලන්න.
මම එයද සටහන් කර ගත්තෙමි.

අපි තාම පටන්ගත්තා විතරයි. තව අවුරුදු විසි පහකින් ලංකාවේ ආදිවාසී ජනරජයක් පිහිටුවනවා. ඒක ස්ථිරයි.

ඇය උදාරම් ලෙස පැවසුවාය. ඒ සමඟම සාලය දෙසින් “දඩාස්” යනුවෙන් හඬක් නැගුණි. මගේ බිරිය පුටුවක් මතට පතිත වූවා විය යුතුය. ශ්‍රී ලාංකිකයකු වශයෙන් මට ද ඇති වූයේ කිසියම් කම්පනයකි. එසේම, ශිෂ්ට සම්පන්න, වැදගත්, මානවවාදී කාන්තාවක වශයෙන් මගේ බිරිය කිනම් මොහොතක හෝ ඉස්තෝප්පුවට කඩා වැදී ඉතා කාරුණික ලෙස මෙම ආදිවාසී (නූතන) ගැහැනියට තම විරෝධය පළ කරනු ඇතැයි යන හැඟීමෙන්ද මා තුළ සියුම් බියක් හට ගැනුණි.
මූලික වශයෙන් ඔය මතය පළ කෙරෙන ලිපියක් මට සකස් කරලා දෙන්න. ඒක පළ කරන්න ඕන මගේ නමින්. මම හොඳට ගෙවනවා.

ඇය ආපසු යාමට සැරසුණෙන් මට මහත් අස්වැසිල්ලක් දැනුණි. එහෙත්, සුළු මොහොතකට පසු, ප්‍රේරා මහතා පැමිණ කියූ දෙයින් සියල්ල අවුල් විය.

ඔය ගෑනිට කිසිම ආදිවාසී සම්බන්ධයක් නෑ. තනිකර ප්‍රෝඩාවක් කරන්නේ. එන්.ජී.ඕ එකක් අටවගෙන හොඳට ගරනවා. පිටරට සම්මන්ත්‍රණවලට ගියාම, කොළ අතු ඇඳන් වැදි නැටුම් නටනවලු. අහුවෙන්න එපා ඕකුන්ට.

ප්‍රේරා ගියාට පසු, මීපැණි බෝතලයද බඹර පැණි බව අපට හෙළිදරව් විය.

මොනවා වුණත් ඒ ගෑනු මනුස්සයා කියපු කාරණා නම් ඇත්ත. ලිපියක් ලියන්න වටිනවා.

මම ලජ්ජාව වසා ගැනීමට උත්සාහ කරමින් බිරිය දෙස බැලුවෙමි. එතකොට ඔයත් කැමතියි ආදිවාසීන්ට මේ රට අයිති වෙනවට? බිරිඳ රවා බැලුවාය.

නෑ. නෑ. ආණ්ඩු හදන්ඩම මහන්සි වෙන්නෙ නැතිව, රට හදන්ඩ උත්සාහ කරනවා නම් අඟහරැවාසීන්ට වුණත් මම කැමතියි.

බොහෝ කලකට පසු බිරිඳ මා සමඟ එකඟ වූවාය.

►කපිල කුමාර කාලිංග 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00