2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

චීන්නුන්ට කැඩිච්ච පිඟන් පෙන්නන්න බෑ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනෙකු සමඟ කළ සංවාද සටහන් පෙළක එකොළොස්වැන්නයි. මෙවර ද අපේ කථානායකයා වන්නේ ගාමිණී ආරියරත්න හේවා මහතා ය. ඔහු චීන බසින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන පළපුරුදු ගයිඩ් මහතෙකි. 

ලංකාවට වැඩිපුරම චීන සංචාරකයන් එන්නේ ජනවාරි අග සහ පෙබරවාරි මාසයේදීය. ඊට හේතුව චීන අලුත් අවුරුද්ද උදාවෙන්නේ එම කාලපරිච්ඡේදයෙහි වීමත් එම කාලය චීනයේ නිවාඩු සමයක් වීමත් ය. චීනයේ ජාතික දිනය යෙදෙන ඔක්තෝබර් මාසය ද නිවාඩු කාලසීමාවකි. එනිසා ඔක්තෝබරයේදී ද චීන සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැක. 

සිලෝන් ටී සහ මැණික්

චීනය යනු ලෝකයේ ලොකුම තේ නිෂ්පාදකයායි. තේ පරිභෝජනය අතින් ද ලෝකෙට ලොක්කා චීනයයි. එහෙත් ලංකාවට එන හැම චීන ජාතිකයෙක්ම පාහේ ලංකාවේ තේ මිලදී ගන්නට දක්වන්නේ පුදුම උනන්දුවකි. 

“ඒ ගොල්ලෝ මෙහේදි අනිවාර්යෙන්ම ගන්න දෙයක් තමයි තේ. අපේ බ්ලැක් ටී ගැන නොදන්න කෙනෙක් නෑනෙ. ඉතින් චීන කට්ටියක් මෙහේ ආවට පස්සේ ඉස් ඉස්සෙල්ලාම හොයන්නේ සිලෝන් ටී කොහෙද කියල තමා. අනික එයාලගේ රටේ වැඩිපුර තියෙන්නේ ග්‍රීන් ටී නෙ”

සිලෝන් ටී රස බැලුවත්, ආපසු චීනයට ගෙනියන්නට පෙට්ටි පිටින් තේ මිලදී ගත්තත්, හැන්දෑ වරුවට නම් චීන්නු හොයන්නේ තේ නොව බියර් ය. හැමදාම හවසට බීර බෝතලයකින් සප්පායම් වීම බොහෝ චීන ජාතිකයන්ගේ පුරුද්දකි. 

“සමහරු නම් ලංකාවේ බියර් ජාති බොනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒ ගොල්ලෝ චීනෙන්ම බියර් වර්ගයක් ගේනවා. ඒක හරිම ගණන් බියර් එකක්. අපේ රටේත් තියෙනවා මං හිතන්නෙ” 

චීනය හා ලංකාව අතර වෙළෙඳ කටයුතුවලදී ඈත අතීතයේ සිටම මැණික්වලට ලැබුණේ ප්‍රධාන තැනකි. අදත් ලංකාවට එන අනෙක් කිසිදු සංචාරකයෙක්ට වඩා චීන ජාතිකයෝ මැණික් ගැන උනන්දු ය. බේරැවල සහ කොළඹ වැනි තැන්වලදී මැණික් සාප්පුවලට ගොඩවැදීම චීන්නුන්ගේ පුරුද්දක් බවට පත්වී හමාර ය. 

“චීන්නු මැණික් ගන්නවා තමා. ඒත් අපි පොළේ ගිහින් එළවළු ගන්නවා වාගේ කේවල් කර කර සොච්චම් ගාණට තමා මැණික් අරගන්නෙ. අනික එයාලාට බොරු කරන්න බෑ. ඔය සමහරු යුරෝපෙ ඉඳන් එන සුද්දන්ට මැණික් කියලා බොරු ගල් වික්කට චීන්නුන්ට එහෙම කරන්න බෑ. එයාලා මැණික් ගැන හොඳටම දන්නවා” 

චීනෙකු මැණිකක් ගත්විට ගයිඩ් මහතුන්ට ද වාසියක් නැතුවා නෙමේ. සංචාරක කර්මාන්තයෙන් ගයිඩ් මහතුන්ට මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ද මෙසේ භාණ්ඩ අලෙවියෙන් ලැබෙන කොමිස් මුදල් ය. 

“කොමිස් ලැබෙනවා තමා. ඒත් ඒක කී දෙනෙක් අතර බෙදෙනවද? එහෙම බෙදුනට පස්සෙ අපිට ලැබෙන්නෙ බොහොම පොඩි ගාණයි” ආරියරත්න මහතා ඒ ගැන කීවේ එවැන්නකි.  

චීන ගුප්ත විද්‍යා

ලාංකිකයෝ ජ්‍යෙතීර් විද්‍යාව ඇතුළු විවිධ ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ අධික විශ්වාසයක් තබා සිටින ජාතියකි. සුබ කටයුත්තක් කරන්නට යද්දී නැකත් බලති. හූනෙක් චික් චික් ගෑවොත් යන ගමන අත්හැර දමති. රාහු කාලයේ එළියට බසින්නේ නැත. එහෙත් ගුප්ත ශාස්ත්‍රය අතින් චීන්නු ඉන්නේ අපිට වඩා සෑහෙන ඉදිරියෙනි. කොටින්ම ඉලක්කම්වල පවා සුබ අසුබ බව ගැබ්වී ඇතැයි සිතන චීන්නු අපේ ගයිඩ් මහත්වරුන්ට නිතරම මුණගැසේ. 

“එක වතාවක් අපි කොහේ හරි ගිහිල්ලා ගෙස්ට්ලාට කාමර බෙදලා දුන්නා. වැඩ ටික සේරම ඉවර හින්දා මමත් මගේ කාමරේට යන්න ලෑස්තිවුණා. එකපාරටම ගෙස්ට් කෙනෙක් ඇවිත් මට කිව්වා එයාගේ කාමරේ අංකේ සුබ නැති හින්දා ඒකට යන්න බැහැ කියලා. එක රැයයිනේ. ඔන්න ඔහේ ඉවසගෙන ඉන්න කියලා මම කිව්වට පිළිගත්තෙම නෑ. අපි දෙයක් පිළිපදිනව නම් ඒක හරියටම පිළිපදින්න ඕනෙ කියලා එයා මට කිව්වා. අන්තිමට හෝටලේට කතා කරලා වෙන කාමරයක් අරන් දෙන්නම සිද්ධ වුණා. එයා අවුරුදු තිහක විතර පිරිමි කෙනෙක්. තරුණ අය වුණත් ඔය දේවල් ගැන හරියට වද වෙනවා” 

චීන ජාතිකයන් හැමදෙනෙක්ම පාහේ නිතර පිළිපදින චාරිත්‍රයක් වන්නේ කැඩුණු පිඟන් භාවිත නොකිරීමයි. යම් හෙයකින් ඔවුන්ට ආහාර ලබාදෙන පිඟානේ පුංචි හෝ පළුද්දක් තිබුණහොත් කොතරම් කුසගින්නේ සිටිය ද ආහාර නොගෙන සිටීමේ පුරුද්දක් ඔවුන් සතු ය. 

චීනයේ ගුප්ත විද්‍යා ගැන කතාකරද්දී අමතක නොකරම බැරි දෙයක් තිබේ. ඒ අනිකක් නොව ෆෙංෂුයි ය. චීනයේ සිට ලංකාවටත් බෝ වී ඇති ෆෙංෂුයි ශාස්ත්‍රය චීන වැසියන්ට ආඩම්බරයට කරුණකි. 

“සමහර තැන්වලදි ඔය ෆෙංෂුයි ප්‍රතිමා දැක්කම සමහරැ මගෙන් ඒ ගැන අහනවා. ලංකාවෙත් සමහරු ෆෙංෂුයි අදහනවා කියලා කිව්වම එයාලාට සෑහෙන සතුටුයි. හැබැයි ෆෙංෂුයි කලාව චීනෙට යැව්වේ අපේ රාවණා රජ්ජුරුවො බව මම ළඟදි කියවපු ලිපියක තිබුණා. හැබැයි ඉතින් ඕව නම් මම එයාලට කියන්නෙ යන්නෙ නෑ” 

බස් එකට තල්ලු

සංචාර අතරතුර සුන්දර අත්දැකීම් මෙන්ම කරදරවලටම මුහුණ දෙන්නට සිදුවූ අවස්ථාව නැතුවා නොවේ. වරක් දඹුල්ලේ සිට එන අතරමඟදී බස් රථය කැඩී ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්නට ආරියරත්න හේවාගේ සංචාරක නඩයට සිදුවිය. දෙපසම තිබුණේ ලඳු කැළෑ ය. කරන්නට කිසිම දෙයක් නැත. කෙසේ හෝ බස් රථය සාදාගෙන ඉදිරියට යා යුතුය. 

“බස් එක කැඩිලා හින්දා ගෙස්ට්ලාට හරිම අප්සට්. ඒත් වෙන කරන්න දෙයක් නෑ කියලත් එයාලට තේරෙනවා” 

“කවුරුත් මුකුත් කිව්වෙ නැද්ද?”

“ඒකෙනේ කියන්නෙ. බස් එක කැඩිලා කිව්වම එහෙනම් අපි පුළුවන් ඉක්මණින් හදාගෙන යමු කියලා කිසිම ගාණක් නැතිව කිව්වා” 

“ඉතින් හදාගන්න ගොඩක් වෙලා ගියාද?”

“ඔව්. පැයකට කිට්ටු වෙලාවක් ගියා. අන්තිමට බස් එක ස්ටාට් කරන්න තල්ලු දැම්මෙත් ගෙස්ට්ලාම තමයි”

බස් රථයේ දෝෂ නිසා අතරමඟ නතරවන්නට සිදුවූ අවස්ථා තව තිබේ. එවන් දිනක භාවිතා කළ උපක්‍රමයක් ද ආරියරත්න හේවා අපට පැවසීය. 

“තව දවසක් ඔය වගේම බස් එක මඟදි කැඩුණා. හැබැයි හොඳ වෙලාවට එදා එතනම පළතුරු කඩයක් තිබුණා. ඉතින් ගෙස්ට්ලා ටික පළතුරු කඩේට යවලා අපි බස් එක හදාගත්තා” 

“චීන්නු වැඩිපුරම ආස මොනවගේ පළතුරුද?” 

“එයාල ආසම පළතුර තමා දූරියන්. දූරියන් තියෙනව නම් ආයෙ වෙන මුකුත් ඕනෙ නෑ. චීනෙත් දූරියන් තියෙනවා. හැබැයි ගිනි ගණන්. ඉතින් අපේ රටේ දූරියන් හරිම ලාබයි කියලා රස කර කර කනවා. තව මැංගුස්, අන්නාසි, අඹ, රඹුටන් වගේ පළතුරුවලටත් ආසයි” 

ආහාරයක් ගනිද්දී චීන ජාතිකයන් සතු හොඳ පුරුද්දක් ගැන ද ඔහු විස්තර කීය. එනම් බස් රථයේදී මොන යම් හෝ ආහාරයක් රස බලනවා නම් තම ගයිඩ් මහතා මෙන්ම රියැදුරු තැන හා රියැදුරු සහායක සමඟ ද එය බෙදා හදා ගැනීම චීන්නුන්ගේ හොඳ ගතියකි. 

තානාපති කාර්යාලෙට බෝම්බ ගැසූ හැටි 

බහුතරයක් චීන ජාතිකයන්ට කතා කළ හැක්කේ චීන මැන්ඩරින් භාෂාව පමණි. ඇතැමුන් ඉංග්‍රීසි වචනයක්වත් දන්නේ නැත. ඉගෙන ගන්නට වුවමනාවක් ද නැත. ඔවුන් ඉංග්‍රීසි බසට අකමැති මෙන්ම ඉංග්‍රීසිකාරයන්ට, ඇමරිකන්කාරයන්ට ද අකමැති පාට ය. 

දිනක් ආරියරත්න හේවා මහතා චීන සංචාරක පිරිසක් සමඟ ගාලු පාරේ අෙමරිකානු තානාපති කාර්යාලය ළඟින් ගමන් කරමින් උන්නේය. 

“මේ තමයි ලංකාවේ අෙමරිකානු තානාපති කාර්යාලය” ඔහු සංචාරකයන් පිරිසට පෙන්වූයේ විසල් තාප්පයෙන් එපිට ලෙළදෙන අෙමරිකානු ධජය පෙන්වමිනි.  

එහෙත් කිසිවකු එය ගණනකට ගත් පාටක් නැත. ආරියරත්න මහතාට හිතුණේ තමන් කරගත් මෝඩකමක් කියා ය. 

“මොකෝ කියන්නෙ, ගහමුද ඕකට බෝම්බයක්” තරුණ චීන හාදයෙක් කීවේ ආරියරත්න මහතාගේ මෙන්ම අනෙක් චීන සංචාරකයන්ගේද මුවට සිනහවක් නංවමිනි.  

(තවත් ගයිඩ් මහතෙකුගේ අත්දැකීම් සමඟ ලබන සතියේ නැවත හමුවෙමු)

► රජිත ජාගොඩ ආරච්චි