2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මඩෙන් උපන් සෙනෙහෙ විල

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248
උත්‍රා කුමාරි රණසිංහ කලක පටන්ම විවිධ පුවත්පත් කවි පිටු සඳහා රචනා සැපයූ කිවිඳියකි. සමකාලීන කවි කිවිඳියන් අතරේ ඇය ද කිවිඳියක පමණක් වුවද කාන්තාවක ලෙස ඇය ලද විශේෂිත අත්දැකීම් සමඟ කාන්තාවකට ආවේණික සංජානන - ප්‍රකාශන රීතියක් ඇසුරේ කටයුතු කළ අවස්ථා දැකගත හැකිය. රත්න ශ්‍රී විජේසිංහ එලෙස පවසන්නේ උත්‍රා කුමාරි රණසිංහගේ සෙනෙහෙ විල (ගොඩගේ ප්‍රකාශන) කාව්‍ය සංග්‍රහයට හැඳින්වීමක් සපයමිනි.
 
දේශය පුවත්පතට ද නිතර කවි සපයන උත්‍රා කුමාරි සිය අලුත්ම කාව්‍ය සංග්‍රහයෙන් කවි 49 ක් පාඨකයා අභිමුවේ තබන්නීය. එදිනෙදා සමාජයේ දැකගත හැකි අත්දැකීම් දෙස ඇය හෙළූ දයාර්ද්‍ර බැල්ම මේ බොහෝ කවිවලින් අපට පසක් වේ.
 
මෙහි නික්ම යාම කවියෙන් මවකගේ නික්ම යාම සටහන් කරයි. මවගේ වියෝව සෑම දරුවකුටම ශෝකජනකය. එහෙත් උත්‍රා එය පොදු අත්දැකීමක් බවට පත්කර ගනී. අම්මා මියගියද ඇගෙන් ලද සෙනෙහස තවමත් ඈ සමඟ පවතින බව උත්‍රා පවසන්නීය.
 
සුදු පිරැවටයෙන් මුව සරසා
අන්තිම හුස්ම හිම පිඬක් කොට
මඟ අවුරා සිටි සෙනඟ අතරින්
ඔබ ගියමුත් සදහටම මා දමා
 
ලොවේ අන්කිසි තැනෙක නොලැබුණු
මෙතෙක් අන් හදවතක නුදුටුව
සෙනේ ගඟුලක නහවමින් සිත
ඇදෙයි මා හා සසර මඟ නුඹ
 
සේයා දැරියගේ ඝාතනයෙන් කිවිඳිය කම්පා වන්නීය. ඇය සේයා සහ සේයාගේ සිතුවිලි නමින් කවි දෙකක් මේ කෘතියට ඇතුළත් කර තිබේ.
 
කළුවරක දිදුලන දෑස් මිණිකැට
විමතියෙන් බැලුවාද ගිනිපුළිඟු නෙත් දෙස
විවරකොට මොළකැටි මුව පොඩිය
නැඟුවාද අම්මා යන හඬ
 
උමා ඔය ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල අවට ජන ජීවිතය විනාශ වී ගියේය. ගොවිතැන් වැනසී නිවාස පුපුරා ගියේය. එහෙත් උමා ඔය වෙනුවෙන් සාධාරණය ඉල්ලූ මිනිස් කණ්ඩායම් වෙනුවට මෙවර පළාත් පාලන ඡන්දයෙන් බලයට පත්වුණේ වෙනත් කණ්ඩායමකි. ඒ බව කිවිඳිය දකින්නේ බොහෝ කලකට පෙරමය.
 
ඉරා තිමිරයේ සෙලුව
සැබෑ යුතුකම් සොයන
බඹුන් වැනි මිනිසුන්ට
වැරදුණේ කොතැනකද
 
මැණික් කැට යටවෙවී
ගොම වැරටි මතුවෙවී
උමා ඔය දියවරම
ගොළු නිහඬ බව රකී
 
උත්‍රා කුමාරිගේ සමහර සිව්පද කවි අපට සිහිපත් කරන්නේ පී.බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම වැනි කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණය. මා නදිය කවිපෙළ එබන්දකි.
 
රෑ කිඳුරියන් දියඹට විත් ගී ගයන
වවුලන් පියාඹා ගොස් මී අඹ සොයන
ඇසෙනා සෙයකි කඳු මත උල්පත් හඬන
මා ඔය ගලයි නොසොයා ඇරඹුම කොතැන
 
උත්‍රා කුමාරි සමාජයේ අපරාධ, ස්වභාවික විපත්, පරිසර විනාශය වැනි වෙනස්කම් දැඩි සේ තම කවිවලට පාදක කරගනී. ඇය සමාජය දෙස බලනා නිරීක්ෂණාක්ෂිය ඉන් පැහැදිලි වේ. සිරගත අලි සුරතලා, නාය, විපත (මීතොටමුල්ල) වැනි පද්‍යවලින් ඒ බව පෙනේ. සඳැස් කවියට මෙන්ම නිසඳැස් කවියටද උත්‍රා කුමාරිට කදිම හැකියාවක් පවතී. ඇය තම කාව්‍යොක්ති ගොඩනගා ගැනීමේදී වඩාත් දුලබ අත්දැකීම් කෙරෙහි මෙන්ම ඒවා ඉදිරිපත් කරන රටාවෙහි ද අපූර්වත්වයක් මතුකිරීම සඳහා උනන්දු විය යුතුය.
 
 පාඨක