රුහුණු ජාතික වනෝද්‍යානය, එහෙමත් නැත්නම් යාල අභය භූමිය කියන්නේ අපේ රටේ ප්‍රධානම සංචාරක ආකර්ශනයක්. විශේෂයෙන්ම ආසියාවේ විශාලම දිවියන්ගේ අභය භූමිය විදිහටත් එය හඳුන්වන්න පුළුවන්.
යාල අභය භූමියට මිනිත්තු විස්සක දුරින් යෝධ වැව ආසන්නයේ පිහිටලා තියෙන ‘The Yala Adventure’ හෝටලය ස්වභාව ධර්මයේ සුන්දරත්වයත් නවීන සුඛෝපභෝගීත්වයත් මනාව මුසු කරගත් නවාතැනක්.
පරිසර හිතකාමී විදිහට නිර්මාණය කර තිබෙන මේ හෝටලය වන සතුන් ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනකුට ඉතාම හොඳින් ගැලපෙනවා. මොකද මේ හෝටලය නිර්මාණය කර තිබෙන්නේම වන සතුන් නැරඹීමට එන සංචාරකයන්ට වඩාත් ගැලපෙන ආකාරයටයි. විශේෂයෙන්ම කුරැල්ලන් නැරඹීමටත් සමනළයන් නැරඹීමටත් මේ හෝටලය කියාපු තැනක්.
මෙතැන සුඛෝපභෝගී කාමර වගේම කූඩාරම් ආකාරයේ නවාතැන් පහසුකම් පවා තිබෙනවා. ස්ථීරව නිර්මාණය කරන ලද කූඩාරම් තුනක් වායු සමනය කරන ලද ඒවා වීමත් විශේෂත්වයක්. මේ සියලු කූඩාරම් යෝධ වැව දෙසට මුහණලා නිර්මාණය කර තිබෙන නිසා වැවේ අසිරියත් හිතේ හැටියට විඳගන්න පුළුවන්. මීට අමතරව සුපීරියර් කාමර හතරක් සහ බැලුම් කුලුන මත පවුලේ කාමර දෙකක් තිබෙනවා.
මේ කුලුන බොහෝ ක්‍රියාකාරකම් සඳහාත් යොදාගනු ලැබෙනවා. විශේෂයෙන්ම Rappelling (ලණු ආධාරයෙන් ඉහළ සිට පහළට බැසීමේ ක්‍රීඩාව) සඳහා මේ කුලුන භාවිතා වෙනවා.
මේ හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ කාබනික, එනම් වස විසෙන් තොර එළවළු සහ පළතුරු එහි නවාතැන් ගන්නා සංචාරකයන්ට ලබාදීමයි. ලීයෙන් තනා ඉලුක් හෙවිල්ලූ වහලකින් යුතු හෝටලයේ අවන්හලත් අතිශය සුන්දර ස්ථානයක්. ඒ තුළට යන විට දැනෙන්නේ සම්ප්‍රදායික අප්‍රිකානු අවන්හලකට ඇතුළු වූවාක් වැනි හැඟීමකුයි. නැවුම් එළවළු සහ පලතුරුවලින් සාදන රසවත් දේශීය ආහාර වගේම කිරින්ද මුහුදෙන් අල්ලා ගන්නා විවිධ මාළු වර්ගත් මෙහිදී රස බලන්න පුළුවන්.
යාලට අමතරව බූන්දල, පලටුපාන, කතරගම කිරිවෙහෙර, කලමැටිය, උඩවලව වගේ බොහෝ තැන්වලට මෙතැන සිට පහසුවෙන් ළඟාවිය හැකියි.
♦ සනත් වීරසූරිය