2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

අපේ නිලධාරින් කියන දේ කරන එහෙයියන් පිරිසක්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

ජිනසිරි දඩල්ලගේ

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වශයෙන් අත්දැකීම් සපිරි ජිනසිරි දඩල්ලගේ ලියූ අලුත්ම කෘතිය “ඒවා මෙහෙ බෑ මචං” පසුගියදා ජනගත කෙරිණි. තම විදේශීය අත්දැකීම් දේශීය සැලසුම් සමඟ මුසුකිරීමේදී අත්විඳීමට සිදුවන බාධක විපත් විත්ති කතාවක් සේ මෙහි සංගෘහිතය. කතුවර දඩල්ලගේ තම කෘතිය පිළිබඳව දේශය සමඟ සංවාදයකට එළඹුණේ මේ අයුරිනි.

ඔබගේ අලුත්ම කෘතිය වන ඒවා මෙහෙ බෑ මචං ගැන කිව්වොත්?

පොතේ නමින්ම හෙළිවන “ඒවා මෙහෙ බෑ මචං* කියන මතවාදය අපේ රටේ රාජ්‍ය අංශයේ නිතර අහන්න ලැබන වචන තුනක්. රාජ්‍ය නිලධාරීන්, වෘත්තීයවේදීන් සහ දේශපාලන නායකයොත් විශාල වශයෙන් විදේශවල වැඩමුළු, අධ්‍යයන කටයුතු ආදියට සහභාගි වෙනවා. ඒ රටවල හොඳ ප්‍රතිපත්ති ගැන අවබෝධයක් ලබාගන්නවා. එම ප්‍රතිපත්ති වැඩසටහන් අපේ රටේ ක්‍රියාත්මක කිරීමට යාමේදී බොහෝ දෙනාගේ හිතේ තිබෙන මතය තමයි ඒවා මෙහේ ක්‍රියාත්මක කිරීමට බෑ කියන එක.

පරිපාලන නිලධාරීන් වශයෙන් එවැනි අත්දැකීම් දේශපාලනඥයන්ට ඉදිරිත් කළ විට ලැබෙන්නෙත් ඒ ප්‍රතිඵලයමද?

බොහෝ දේශපාලනඥයන් ඒවා මෙහෙ කරන්න බෑ කියන මතයේ ඉන්නේ. විදේශ අධ්‍යයන කටයුතුවලින්, සංචාරවලින් ලබාගන්නා හොඳ අත්දැකීම්වලින් මේ රටට ප්‍රයෝජන ගැනීමට නොහැකි ඇයි කියන ගැටලුවයි මම මේ පොතෙන් විග්‍රහ කරන්නේ.

ඒකට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ප්‍රධාන හේතුව තමයි රට දේශපාලනීකරණය වීම. සෑම දෙයක්ම තීරණය කරන්නේ සැලසුම් කරන්නේ දේශපාලනඥයන්. සමහර දේශපාලඥයන් රූ නින්දේදී දකින සිහින උදේ රටේ ප්‍රතිපත්තිය වෙනවා. කාලයක් තිස්සේ රටේ සමාජය අනවශ්‍ය දේවල්වල පැටලිලා ඉන්නේ. යහපත් දේවල් ක්‍රියාත්මක කිරීමට යාමේදී වැටකඩුලු බැඳලා. ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේ වෙනත් රටවල්වල සාර්ථක වැඩසටහන් තම රටවල්වලද ක්‍රියාත්මක කිරීමෙන්. අපේ රටේ ඒකේ අනික් පැත්ත. සමාජය එන්න එන්න පස්සට යනවා. මම කියන්නේ මේ පසුගාමී චින්තනය වෙනස් කළ යුතු බවයි.

ඔබ මෙයට පෙර රටේ උසස් පරිපාලන තනතුරු, රාශියක්ම දැරුවානේ. ඒ අවස්ථාවලදී බෑ චින්තනය වෙනස් කිරීමට සටනක් කළාද?

ඔව්. පැහැදිලිවම. මම හිටපු ආයතනවල බාධාවන් මඟහරවාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. මේ පොතේ පරිච්ඡේද 20ක් තිබෙනවා. එහි විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය කියන පරිච්ඡේදයේ තිබෙන්නේ කොරියාවේදී ලබපු අත්දැකීමක්. ඒ රටේ හිටියේ ඇමැතිවරු 20යි. අමාත්‍ය මණ්ඩල රැස්වීම්ශාලාවේ තිබුණේ ආසන 25යි. කිසිම කඩදාසි පාව්ච්චියක් නෑ. ඩිජිටල් තාක්ෂණය අනුවයි රැස්වීම පැවැත්වෙන්නේ.

බටහිර රටවල සංවර්ධන සැලසුම් ක්‍රම ගැන දැනගත් දැනුමත් ඔබ මෙහිදී විමර්ශනය කරනවා?

අපේ රටේ සංවර්ධන සැලසුම්වලදී මන්ත්‍රීවරු උත්සාහ කරන්නේ තමන්ගේ නම දාගන්න, හිතවත් අය ඉන්න පැත්තට වැඩ කිරීම වගේ දේවල්. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල ඉලක්ක සහ ප්‍රතිඵලදායක සංවර්ධන සැලසුම් තිබෙන්නේ. අපේ රටේ විද්‍යාත්මක සැලසුම් ක්‍රමයක් නෑ.

කර්තෘ ප්‍රකාශනයක් වශයෙන් එළි දුටු මේ පොත පාඨකයන්ට ගෙනයාමට ඔබ මොනවගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නේ?

මට මේ පොතේ ඇතුළත් කරුණු ගැන රටේ යම්කිසි මතවාදයක් ඇතිකිරීමට උත්සාහ කරනවා. ප්‍රකාශන ආයතන හරහා පොත පාඨකයන් වෙත ලබාදීමටත් උත්සාහ කරනවා. ඊට අමතරව වෘත්තිකයන්ට මේ පොත ලබාගැනීමට අවස්ථාව සලසා දී ඔවුන් හරහා මේ පොතේ කරුණු සංවාදයට ලක්කිරීම තවත් අරමුණක්.

ඔබ මෙයට පෙරත් කෘති කිහිපයක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්. ඒවාට ලැබුණු ප්‍රතිචාර කෙසේද?

හොඳ ප්‍රතිචාර ලැබුණා. මම මහඔය ප්‍රාදේශීය ලේකම් වශයෙන් සිටි කාලයේ (1985 - 1991) අත්දැකීම් මුල්කරගෙන ලියූ අරන්තලාව හරහා වසර 6ක් පොතේ දෙවැනි මුද්‍රණයත් අවසන් වෙලා තිබෙන්නේ. ඒ කාලයේ කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා ජනතාව බියට පත්ව සිටියේ. මහඔය අවට මිනිසුන් 300ක් පමණ ඝාතනය වුණා. ඔවුන්ට සහන සැලසීමට මම මුල් වුණා.

ඔබ නවකතාවකුත් ලිව්වා නේද?

ඔව්. ආදරණීය රාළහාමි කියලා ලියූ එය වෘතාන්ත නවකතාවක් නොවේ. කළමනාකරණ නවකතාවක්. විපර්යකාරක දුහුණු ක්‍රමවේදයක් කියලා ක්‍රමවේදයක් තිබෙනවා. එය පදනම් කරගෙන තමයි මේකේ කතාව දිවයන්නේ. මේ ක්‍රමවේදයෙන් පැවසෙන්නේ ජනතාව සමඟ කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට තිබිය යුත්තේ කුමන ආකාරයේ ප්‍රශ්න විසඳීමේ කලාවක්ද යන්නය. එය රජයේ නිලධාරීන් අතර ආකල්පමය වෙනසක් ඇති කිරීමට හේතුවූ බව ලැබුණු ප්‍රතිචාරවලින් පේනවා.

අද බොහෝ රජයේ නිලධාරීන් පොත් කියවන්නේම නෑ. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

මේකට කරුණු ගණනාවක් බලපානවා. මගේ පොතේ දැනුම සීමාකරන නොමිලේ පොත් කියලා පරිච්ඡේදයක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය මුල්වෙලා තිබෙන්නේ පොත් කීපයක් කටපාඩම් කරලා උත්තර ලියන ක්‍රමයකටයි. මම ලැබූ අත්දැකීම් අනුව එංගලන්තයේ සහ කැනඩාවේ පාසල්වල ළමයින්ට නොමිලේ පොත් දෙන්නේ නෑ. විෂය මාලාවෙන් පාඩමක් ඉගැන් වූ විට ශිෂ්‍යයාගේ වගකීමක් වෙනවා දැනුම සොයාගැනීම. නමුත් අපේ රටේ නොමිලේ දෙන නිර්දේශිත පොත් කියවා පිටවන දරැවන් අතිරේක පොත් කියවීමට පෙළඹීමක් නෑ. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් කියවන සමාජයක් හදලා නෑ. එවැනි අධ්‍යාපන පරිසරයකින් බිහිවන රාජ්‍ය නිලධාරියාත් කියවන කෙනෙක් නොවේ. අනික් එක අපේ රාජ්‍ය නිලධාරීන් පුරුදුවෙලා තියෙන්නේ කියන දෙයක් කරන්න. ඔහුට දැනුම අවශ්‍ය නෑ.

ඔබ ලැබූ අත්දැකීම් අනුව බටහිර රටවල රාජ්‍ය නිලධාරින්ගේ කියවීම කෙසේද?

ඒ රටවල දැනුම අතින් දියුණු නොවුණහොත් රාජ්‍ය නිලධාරියාට පැවැත්මක් නෑ. ඔහුට රැකියාවේ රුඳීසිටීමටත් බැහැ. ඒ නිසා ඔහු පොතපත කියවා දැනුම උකහා ගන්නවා. අපේ රාජ්‍ය නිලධාරියාට අපේ රටේ වැඩ කළත් නොකළත් පවතින්න පුළුවන්. ඉතින් සමහරු වැඩනොකරම ඉන්නවා බොහෝ වේලාවට. රජය විසින්ම සමහර සීමාවන් ඇති කරගෙන තිබෙනවා.

කලකට පෙර ලීල් ගුණසේකර, විමලරත්න කුමාරගම, සරත් අමුණුගම, අමරහේවා මද්දුම වගේ පරිපාලන නිලධාරීන් ලේඛනයෙන්ද ප්‍රසිද්ධියට පත් වුණා. අද පරිපාලන නිලධාරීන් අතර එහෙම අය ඉන්නේ කලාතුරකින් නේද?

ඔව්. පැහැදිලිම. ඒකට හෙතුව  ලෙස මම දකින්නේ අද පරිපාලන නිලධාරීන් බිහිවන අධ්‍යාපන ක්‍රමයේ වරදයි. අද විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙත් පොත් කියවන පෙළඹීමක් නෑ. අපි ඒ කාලේ ඉගෙන ගත්තේ පොත්පත් කියවන සමාජයක. අද ඒ තත්ත්වය වෙනස් වෙලා.

 කුසුම්සිරි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00