පළාත් පාලන මැතිවරණය නිම වී සති දෙකක් ඉක්මවා ගොස් ඇත. මේ කාලය තුළ ආණ්ඩු පෙරළන්නට ගියේය. එපමණක් නොව පෙරළෙන්නටද ගියේය. ඇතැම් අය ඔළු ගෙඩි මාරු කරන්නට උත්සාහ ගත්තෝය. සමහර අය තනි ආණ්ඩු මෙහෙයවන්නට හීන දැක්කෝය. තවත් අය අගමැති වෙන්නට හීන බැන්දෝය. අවසානයේ නැවතත් පුරුදු තැටියම කැරකී වාදනය වුණේ ආණ්ඩු පෙරලි ගැන හීන දැකි බොහෝ දෙනාට කොකා පෙන්වමිනි. කෙසේ වෙතත් මේ ගැන වෙනම කතා කළ යුතුය. එහෙත් අප කතා කරන්නට යන්නේ මෙවැනි තත්වයකට මුහුණු පෑමට හේතු වූ ඡන්දය සහ ඡන්ද ප්‍රතිඵලය ගැනය.
මේ වෙනකොට රටම දන්නා සත්‍ය නම් මෙම මැතිවරණයේ ජයග්‍රහණය ලබා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවය. එම පෙරමුණ ලබා ගත් ජයග්‍රහණය කෙතරම්ද යත් ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී.ල.නි.ප.යටත් එ.ජා.ප.ය.ටත් එය ජනතාව විසින් එල්ල කළ කනේ පහරක් විය. එම පහර කෙතරම්ද කියතොත් එම ප්‍රහාරයේ කම්පනය සති දෙකක් යනතෙක්ම ආණ්ඩුවෙන් මැකුණේ නැත.මේ නිසා ආණ්ඩුව අස්ථාවර වන්නට විය.
කෙසේ වෙතත් මේ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවත් ඒ ජයග්‍රහණය ජයග්‍රහණයක් ලෙස බුක්ති විඳීමට නොහැකි වී ඇත. එයට හේතුව නම් මේ මැතිවරණයේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධ ගැටලුවකි.
මේ ජයග්‍රහණය ගැන පාක්ෂිකයන් උන්මාදයෙන් සිටියත් බොහොමය සභා පිහිටුවා ගැනීම අද වනවිට ගැටලුවක් වී ඇත. ඒ එම සභාවල සිදුව ඇති මන්ත්‍රීධූර සංයුතියේ ගැටලු නිසාය. එනම් බොහොමයක් ආසනවල බහුතරයක් ගැනීමට ජයග්‍රාහී පක්ෂයට හැකි වී නැත. බහුතරයක් ලබා ගත්තත් දෙවැනියට ජයග්‍රහණය කළ පක්ෂයට ලැබෙන ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව නිසා සම තැනකට පැමිණ ඇත. මේ එවැනි සභා දෙකකි.
දෙහිවල මහනගර සභාව
එක්සත් ජාතික පෙරමුණ 19
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 19
එක්සත් ජනතා නිදහස් සන්ධානය 6
ජනතා විමුක්ති පෙරමුණ 4
කුරුණෑගල මහ නගර සභාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 08
එක්සත් ජතික පක්ෂය 08
එක්සත් ජනතා නිදහස් සන්ධානය 03
ජනතා විමුක්ති පෙරමුණ 1
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය 1
කෙසේ වෙතත් මෙවැනි සභා රැසක් රට පුරා විහිදී ඇත. එම සභාවල ජයග්‍රාහී පක්ෂය පොදුජන පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස සඳහන් වී තිබුණත් මන්ත්‍රී ගණනින් දෙපිරිස සමාන වී ඇත. බොහෝ වේලාවට දෙවැනි තැන ගත් කණ්ඩායමට එලෙස මන්ත්‍රීධූර ලැබී ඇත්තේ ලැයිස්තුව හරහාය. මේ නිසා ජයග්‍රාහී කණ්ඩායමට සභාව පිහිටුවීමේදී විශාල ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවී තිබේ. කෙසේ වෙතත් එවැනි සභාවල තීරක බලවේගයක් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයය. නැත්තම් ස්වාධීන කණ්ඩාමකි. ඔවුන් ඉදිරියේදී ලබාදෙන තීන්දුව හරහා එවැනි සභාවල බලය කුමන පක්ෂය පිහිටුවනවාද යන්න තීරණය වනු ඇත. කෙසේ වෙතත් පැරැණි ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් ඇති තරම් මුදල් වියදම්කොට සල්ලිවලට මිලදී ගැනීමේ අවස්ථා උදා වී තිබුණි. එහෙත් වර්තමාන ක්‍රමය යටතේ එසේ විකිණිය නොහැක. යම් ආකාරයකට පක්ෂයකට සහය දක්වනවා නම් අදාළ පක්ෂයේ ලේකම්වරයා ඊට අනුමැතිය දිය යුතුය. එසේ නොමැතිව සහය දැක්වූවෝතින් අදාළ මන්ත්‍රීවරයාට පක්ෂයෙන් විනය ක්‍රියාමර්ග ගෙන ඉවත් කළ හැක.
මේ කරුණු හේතුවෙන් බොහොමයක් සභාවල් හිරවී ඇත. කෙසේ වෙතත් මෙවර ඒ මුදල් වරම හිමි වී ඇත්තේ ස්වාධීන පක්ෂවලටය. එම පක්ෂ විසින් ලබාගෙන ඇති එක් මන්ත්‍රීධූරය පවා මිලියන ගණනක් වටින තැනට පැමිණ ඇත. මේ දිනවල වැඩිම ඉල්ලුම ස්වාධින පක්ෂවලටය.
එසේම ඇතැම් සභාවන් පිහිටුවා ගැනීමට හැකි වුවත් විශාල අවදානමකට පත්ව ඇත. ඒ ජයගත් පක්ෂයේ බහුතරයට වඩා විරුද්ධ පක්ෂයේ එකතුව විශාල වීම නිසාය. මේ නිසා පාලක පක්ෂයට විශාල අභියෝගයක් වී ඇත. මේ එවැනි උදාහරණ කිහිපයකි.
කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව
පොදුජන පක්ෂය 16
එ.ජා.ප.ය 12
එ.ජ.නි.ස 4
ජේ.වී.පී 3
ප්‍ර.sක්සත් පෙරමුණ 1
කුලියාපිටිය ප්‍රදේශීය සභාව
පොදුජන පක්ෂය 20
එ.ජා.ප 16
එ.ජ.නි.ස 3
අගිල් ඉලංගෙයි මහජන කොංග්‍රසය 2
ජේ.වී.පී 2
මේ එවැනි පළාත් පාලන ආයතන දෙකකි. පාලක පක්ෂයට වඩා විපක්ෂයේ බහුතරය වැඩිය. මේ නිසා අයවැය යෝජනාවලදී පාලක පක්ෂය නැවත නැවත පරාජය වීම තුළින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත්විය හැක. එසේම යෝජනා පවා සම්මත නොවී තිබීමට අවකාශය උදාවනු ඇත. ඒ අකාරයෙන් වූ සභාවන් රැසක් රට පුරා බිහිවී ඇත. මීට අමතවරව බලය ලබාගත් ඇතැම් පක්ෂ සභාවන් පිහිටුවීමේදී බලය අහිමිවීමේ ප්‍රවනතාවක් ද මතුවී ඇත. ඒ සම්මුතිවාදී ආණ්ඩුව නිසාය. එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යත් සහ ස්වාධීන කණ්ඩායමුත් එක්ව සභාව කරගෙන යාමට එකඟ වුවහොත් පොහොට්ටුවට බලය අහිමිවීමේ අවදානමක් ද දැකිය හැක. මේ එවැනි තැන් කිහිපයක උදාහරණය.
මාවතගම ප්‍රාදේශීය සභාව
පොදුජන පෙරමුණ 11
එ.ජා.ප.ය 9
එ.ජ.නි.ස 3
ජේ.වී.පී 2
ස්වාධීන 1
පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව
පොදුජන පෙරමුණ 18
එ.ජා.ප 11
එ.ජ.නි.ස 7
ජේ.වී.පී 1
ශ්‍රී.මු.කො 1
මෙවැනි සභාවන් කීහිපයක්ම රටේ ස්ථාන කිහිපයක බිහිවී ඇති අතර ඒ තුළ බලය ලබාගත් පක්ෂයට බලය අහිමීවී යාමක් සිදුවී ඇත.
කෙසේ වෙතත් අඩු ඡන්ද ලබාගත් පක්ෂවලට සහ පරාජය වූ පක්ෂවලට විශාල මන්ත්‍රීධූර සංඛ්‍යවක් හිමිවීම මේ ගැටලුවට හේතුවී ඇත. එසේම මීට පෙර පැවති මැතිවරණවලදී ජයග්‍රාහී පක්ෂයට බෝනස් ආසන දෙකක් ලැබීමේ ක්‍රමය මෙවර මැතිවරණයේදී අහිවීම මේ අවදානමට තවත් හේතුවක් වී ඇත.
මෙම මැතිවරණයේදී විශාල ලෙස කතාබහට ලක් වූ සියයට 25ක කාන්තා නියෝජනයද මෙවර ලබාදීමට නොහැකි වී ඇත. එය ගැටලුවක් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවා සඳහන් කර ඇත. මේ නිසා ප්‍රතිඵල ගැසට් කිරීම පවා දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත. එය සකස් කිරීමට නම් පාර්ලිමේන්තුව හරහා නැවත පනත සංශෝධනය කළ යුතු බව සඳහන් වේ.
මේ මැතිවරණයේදී හොඳම කාරණය නම් තවත් මන්ත්‍රිධූර 200ක් වැඩි වීමය. එම මන්ත්‍රීධූර සකසා ඇත්තේ අවුල් තැන් විසදීමට බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ අවුල් නිසා තවත් මන්ත්‍රීවරු 200කගේ බරද ජනතාවට දරන්නට වී ඇත. පෙර සංඛ්‍යාවට වඩා දෙගුණයකින් වැඩිවී තවත් ඊට දෙසීයක සඛ්‍යාවක් එකතු වේ නම් මේ මැතිවරණයෙන් ජනතාව ලැබූ ජයග්‍රහණයක් නැත.
කෙසේ වෙතත් මේ නව මැතිවරණ ක්‍රමය නිසා දිනූ අයට පරාජයත් පරාජය වූ අයට දිනුමත් ජනතාවට තවත් බරකුත් රටට ප්‍රශ්න වැලකුත් මතු වුණා මිස සිදු වූ යහපතක් නැත. ස්ථාවරය වෙනුවට අස්ථාවරය රජකරණ මෙම මැතිවරණය තවත් රටට අවශ්‍යද? නැද්ද යන්න ජනතාවත් නියෝජිතයන් තීරණය කළ යුතුය. ගමට වගකියන නියෝජිතයකු තේරී පත්වීම යහපතක් වුවත් මෙවැනි අස්ථාවර ක්‍රම රටට කෙතරම් බලපානවද නැද්ද යන්න වග අනාගතයේ දැකබලා ගත හැක.
♦ ගයාන් ගාල්ලගේ
මේ ක්‍රමය මහ අවුලක්
නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා
ඇත්තටම මේ ක්‍රමය මහා අවුලක්. ගොඩක් ආයතනවලට බහුතර බලය ලැබිලා සභාව පිහිටවා ගන්න බැරුව ඉන්නවා. ඒකට හේතුව විරුද්ධ පක්ෂයේ පිරිස වැඩියි. එතකොට කරන්න තියෙන්නේ නීතිය අනුව ඡන්දයකින් බහුතරයකගේ කැමැත්ත මත සභාපති කෙනෙක් පත් කර ගන්න එක. ඒ වගේම උප සභාපතිත් පත් කරන්නෙත් ඒ විදිහට. කොහොම වුණත් සමහර අවස්ථාවල අය වැය යෝජනා සම්මත වෙන්නේ නැති වෙයි. ගැටුම් ඇති වෙයි. සමහර අවස්ථාවල පළාත් සභවෙන් කොමසාරිස් කෙනෙක් යටතට පත් කරයි. මේ නිසා ගමට සේවයක් වෙන්නේ නැති වෙයි. ඔය ප්‍රශ්නය එන්නේ නෑ 50ක ප්‍රතිශතය පන්න ගත්ත තැන්වලට. දැන් මේ කාන්තා නියෝජනයත් ප්‍රශ්නයක්. තවම ගැසට් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්න නිරාකරණය නොවුනොත් ගම විනාශ වෙන්න පුළුවන්. මම දකින්නේ මේක මහා අවුලක්. මේ අවුල ලිහා ගන්න ඕනේ.
සීයට 50 නැත්නම් නගරාධිපති තෝරන්නේ ඡන්දෙන්
පළාත් පාලන මැතිවරණයෙන් පසුව අදාළ සභාවන් පිහිටුවන ආකාරය පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා විසින් නිකුත් කළ නිවේදනයෙහි මෙසේ දැක්වේ.
2013 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65 ආ වගන්ති සහ 66 වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අපේක්ෂකයන්ගේ නම් නිශචිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පල කළ යුතු අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම්, වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.
පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ ධූර කාලය ආරම්භ වීම
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයක් මඟින් පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධූර කාලය 2018.03.06 වන දින සිට ආරම්භ විය යුතු බවට නියම කර ඇත.
සභාපතිවරයා/ නගරාධිපතිවරයා පත් කිරීම
මෙහිදී යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් යම් පළාත් පාලන ආයතන ආසන සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාගෙන් එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ තේරී පත් වූ සභිකයන් අතරින් සභාපති/ උප සභාපති, නගරාධිපති/ නියෝජ්‍ය නගාරාධිපති නිශ්චය කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.
යම්කිසි පළාත් පාලන ආයතනයක සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ගැනීමට අසමත්ව ඇති අවස්ථාවකදී එම පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය. මෙම රැස්වීමෙහි මුලසුන පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතුය.
පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ නොමැති වීම
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනතේ 10වන (අ) වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයකු විසින් තම පක්ෂයෙන් තේරී පත් වී ඇති සභිකයකු පක්ෂයේ සාමාජිකයකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ඡන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ඡන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධූරය අවසන් කර ඇති බවට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත.
කාන්තා නියෝජනය
පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පිළිබඳව මේ වනවිට විවිධ තොරතුරු සාකච්ඡා වන අතර, ඒ පිළිබඳව අමාත්‍යංශයේ ස්ථාවරය පහත දැක්වේ.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පවත්වන ලද ඡන්ද විමසීමක් වන බැවින් එකී නීතිය යටතේ ඒ ඒ පළාතේ පාලන ආයතන වෙත තේරී පත් වීමේ නෛතිකමය අපේක්ෂාවක් සහිතව අපෙක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වන සේ එකී පනතෙහි සංශෝධන අතීතයට බලපාන පරිදි සිදු කිරීමට නෛතිකමය බාධාවක් පැන නගින බැවින් සභිකයන් තෝරා පත් කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටළු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවරදි කර ගැනීමේ හැකියාවක් මිස පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එකී සංශෝධන සිදු කළ නොහැකි බව අමාත්‍යංශය නිරීක්ෂණය කර ඇත.
මෙකී කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව දැනට පවත්නා නීතිය අදාළ කර ගැනීම සුදුසු බව වැඩි දුරටත් නිරීක්ෂණය වී ඇත.