2018 මාර්තු 03 වන සෙනසුරාදා

දෙනවා කිව්වා දුන්නේ නෑ

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

“සබ්බේ පෘථග්ජනා උම්මන්තකා” යන ධර්ම පාඨයෙන් කියැවෙන අන්දමට පුහුදුන් අප සියල්ලෝම උන්මත්තකයෝය. මනෝවෛද්‍යවරුන්ද පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ සමාජය තුළ ද උමතු රෝග - මානසික රෝග ලක්ෂණ දක්වන අය සුලබය.

උමතුවූවන්ට ජන වහරේ භාවිත වන යෙදුම “පිස්සා”ය. අපි බොහෝ විට වෙනත් අයට “පිස්සු වැඩ කරන්න එපා” යැයි අවවාද දෙන්නෙමු. පිස්සන් සිටින තැන “පිස්සන් කොටුව”ය. “පිස්සු කෙළින්නේ” නම් පිස්සන් විතරමක් නොවේ.

මා නම් ඒ වචනය භාවිත නොකරන්නේ උමතුව ද මිනිසාට වැළදෙන රෝගයක් ලෙස සානුකම්පිතව දකිනා නිසාය. අනෙක් අතට, මනෝවෛද්‍ය පර්යේෂණවලින් හෙළිවී ඇති අන්දමට බොහෝ අය තමන් තුළ ඇති උමතු ලක්ෂණ නොහඳුනති. සාමාන්‍ය මිනිසුන් මෙන් ජීවත් වෙති. ප්‍රතිකාර ගැනීමට යන්නේ “පිස්සුව” තද වූ විටය. බොහෝ විට එය දකින්නේ රෝගියා නොව ඔහු සමඟ වෙසෙන අනික් උදවියය. ඇතැම් විට සමාජයේ වෙසෙන පුද්ගලයින්ගේ කටයුතු නිසා අපි ඔවුන් ද මානසික රෝගීන් යැයි වරදවා වටහා ගනිමු.

පසුගිය දිනෙක සවස් යාමයේ මා ගෙඋයනට වී සිටියේ දැඩි උෂ්ණත්වයෙන් මිදෙනු පිණිසය. වෙල්යාය දෙසින් ඉඳහිට සිසිල් සුළඟක් හමයි. ඒ සමඟ මුසුව පාර දෙසින් කාගේදෝ ගී හඬක් ඇසෙන්නට විය. (එය ක්‍රිස්ටි ලෙනාඩ්ගේ පැරුණි, ජනප්‍රිය ගීතයකි)

දෙනවයි කියලා දුන්නේ නෑ

මාමා මාව රැවට්ටුවා

මාගේ කාලේ හොඳම නෑ

දෙනවයි කියලා දුන්නෙම නෑ

පාරේ ගමන් කරමින් සිටියේ ජාතික ඇඳුමින් සැරසුණු තරබාරු ශරීරයක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුණි. කල්පනාකාරීව බිම බලාගෙන ගමන් කරන ඔහු වරින් වර එකම ගීතය නැවත නැවත ගයයි.

දෙනවයි කියලා දුන්නේ නෑ

මාගේ කාලේ හොඳම නෑ

ඔහු ගේට්ටුව දෙසට හැරුණි. මා ඔහු හැඳිනගත්තේ එවිටය. බිසියස්ට් පෙරේරා මහතා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ හිටපු ලේකම්වරයෙකි.

මොකද මිස්ට බිසියස්ට්, පාර දිගේ සින්දු කියා කියා?

දැන් දුකින් අපිට ඉතිරිවෙලා තියෙන්නේ දුක් ගී ගායනා කරන්න විතරයි.

ඇයි මොකද වුණේ?

වෙන්ඩ දෙයක් නෑ. සේරම වෙලා ඉවරයි.

කියන දෙයක් පැහැදිලිව කියන්ඩකො මිස්ටර්?

බිසියස්ට් පෙරේරා වටපිට බලා අඹ ගස යට බංකුවේ හිඳගත්තේය. ඔහු මා දෙස බැලුවේ උමතු වූවෙකු මෙනි.

ඇමැතිකම් දීලා ඉවරයි. අපේ එක්කෙනාට මේ පාරත් නෑ.

මට එවර කාරණය පැහැදිලි වුණි. බිසියස්ට් මහතා වැඩිදුර විස්තරද පැවසුවේය.

ඔහුගේ ඇමැතිතුමාද එහාට මෙහාට පනිමින් සිටි ගෙම්බෙකි. අවසන් වරට ආණ්ඩුව පැත්තට පිම්මක් ගැසූ එතුමා මොකක් හෝ පින් ඇමැතිකමක් බලාපොරොත්තුවෙන් සිටියේය. දිවුරුම් දීම සඳහා යාමට මුළු පවුලම සූදානම් වුණි. අලුත් ඇඳුම් පවා මිලදී ගත්හ. එහෙත් අවසානයේදී ඔවුන්ගේ පමණක් නොව මුළු රටේම බලාපොරොත්තු බිඳ හෙළමින් ඇමැති මාරැව පුස්ස බින්දාක් බඳුවිය.

බිසියස්ට් පෙරේරා ද සූදානම්ව සිටියේ යළි ලේකම් තනතුර ලබමින් යහමින් හරි හම්බ කරගැනීමටය. මේ රටේ “මහජන සේවය” යනු ලාබදායක බිස්නස් එකක් බව රහසක් නොවේ. ඉතින් ඒ බලාපොරොත්තුව එක වරැවෙන් බිඳවැටුණු පසු බිසියස්ට්ගේ ද කල්පනාව අවුල් විය. මෙම ඛේදවාචකය ඔහුට පමණක් සීමා වූවක් නොවන බැවින්. “දෙනවයි කියලා දුන්නේ නෑ” යැයි ගයමින් පාර තොටේ ඇවිදින තව තවත් අය ඔබට හමුවීමට ඉඩ ඇත.

“ඇමැති මාරුව” නිසා දේශපාලනික වශයෙන් නිද්‍රෝපගතව සිටි සමහරුද අයිස් බකට්ටුවකින් ගැසුවාක් මෙන් අවදි වූහ. ඇමැතිකම් ගැන පමණක් නොව අගමැතිකම ගැනද සිහින මවන්නට වූහ. හඳහන රුගෙන දෛවඥයන් වෙත දිවූහ. එහෙත් වාසනාවකට හෝ අවසානාවකට ශ්‍රී ලංකාවේ තිබෙන්නේ එකම අගමැති ධුරයකි. එය නියෝජ්‍ය අගමැති, රාජ්‍ය අගමැති, දිස්ත්‍රික් අගමැති යනාදි වශයෙන් කොටස් කළ නොහැකිය. එහෙයින් අගමැතිකම යනු එකම පුද්ගලයෙකුට හිමිවන “ඇලෙව්වොත් ඇලෙව්වාමයි” වර්ගයේ තානාන්තරයකි.

සිහින බිඳවැටීමෙන් පසු නින්දෙන් අවදිවූවෝ යළි නිදන්නට වූහ. තවත් සමහරු දෝෂභියෝග, රාජ්‍ය පෙරළීමේ කුමන්ත්‍රණ, නව සභාග පිහිටුවීම් වැනි කටයුතු සැලසුම් කරන්නට ගත්හ. ආණ්ඩුවට පාණ්ඩුව යැයි චෝදනා ද නඟති. එහෙත් කිසිවක් සිදු නොවෙයි. රට මහා අගාධයකට ගමන් කරතැයි ජනතාව බියෙන් බිරාන්තව වෙලා සිටිති. ඔවුන්ගේ ජීවන ප්‍රශ්න විසඳීමට කිසිවෙකුත් නැත. මැතිසබය කයිවාරැකාරයින්ගේ රජ සබයක් බවට පත්වී ඇත්තා සේය.

මාද මේ සිතිවිලි අතරේ පැටලී දොම්නස්සහගතව සිටිනා අතරේ වාසිබෝලන්තයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශකවරයෙකු වන මා මිත්‍ර ආචාර්ය මැල්කම් ඔබුටුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. 

මිත්‍රයා... ලංකාවෙ දේශපාලන අර්බුදයක්ලු නේද?

පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබෙනවා. මම ඇද පැද කීවෙමි.

හංගන්න දෙයක් නෑ මිත්‍රයා. අපිට සේරම ආරංචියි. ඔය අර්බුදය විසඳන්න නම් ප්‍රයිමිනිස්ටර් කෙනෙක් ඉම්පෝර්ට් කරන්න ඕනෙ.

ඒක නම් නියම අදහස. නිර්පාක්ෂික නම් වැඩත් හොඳයි. ඒත් කොහෙන්ද ඉම්පෝර්ට් කරන්නේ?

කැනඩාවෙන්.

කවුද මෑන්?

වෙන කවුරුත් නෙවෙයි. එහෙ අගමැති ජස්ටින් ටෘෘඩෝ. මිනිහා මොන රටකට ගියත්, එහෙ ඇඳුම් ඇඳගෙන එහෙ කෑම බීම කාගෙන ජනප්‍රිය වෙනවා. මට පුළුවන් ජස්ටින් ගෙන්නලා දෙන්න.

ලොකු දෙයක් යාළුවා. බැරිද ජනාධිපති කෙනෙක්වත් ගෙන්නලා දෙන්න.

හොඳයි මම උත්සාහ කරලා බලන්නම්.

දුරකතනය විසන්ධි විය. ඒ සමඟම පාර දෙසින් යළිත් කවුදෝ ගීතයක් ගයනු ඇසුණි.

ලංකාවේ රජකම මට දෙන්න හදනවා... මම එපා කියනවා... මගේ ඇඟේ ගහනවා... මම එපා කියනවා.

ඒ කවුද? ජස්ටින් ටෘෘඩෝ ලංකාවට ඇවිත්ද? මම පිටතට එබී බැලුවෙමි. නැත. ඒ අපේම කෙනෙකි. ඔහු කවුදැයි මම නොකියමි.

මුළු සිරි ලංකාවම උමතුවෙන්ද?

 කපිල කුමාර කාලිංග