2018 මාර්තු 03 වන සෙනසුරාදා

ආණ්ඩුව ණය දංගෙඩියට

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

2016 වසරේ ණය කළමනාකරණ වාර්තාව ඉදිරිපත් කරමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ ප්‍රකාශ කර සිටියේ 2015 වසර සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය 2016 වසරේ දී රැපියල් 44451 කින් ඉහළ ගොස් ඇති බවය. 2015 දෙසැම්බර් මස 31 වැනිදා වන විට ඒකපුද්ගල ණය රුපියල් 373462 ක් වූ අතර 2016 වසර අවසානය වන විට රැපියල් 417913 ක් දක්වා ණය මට්ටම ඉහළ ගිය බව ඔහු අවධාරණය කර ඇත. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 12% කි. 2005 වසරේ ඒකපුද්ගල ණය රුපියල් 108,908 ක්ව තිබී ඇති අතර එය වසර 10 ක් ඉකුත්ව යාමේ දී රුපියල් 417913 ක් දක්වා වැඩිවීම සුළු ‍වෙන් තැකිය හැක්කක් නොවේ. එය ආසන්න වශයෙන් හතර ගුණයකින් ඉහළ යාමකි.

එසේම විගණකාධිපතිවරයා පෙන්වාදෙන සුවිශේෂ කරුණක් වනුයේ මුදල් අමාත්‍යාංශ ලේඛනවලට අඩංගු නොවූ හඳුනාගත් ණය ශේෂය රුපියල් බිලියන 826 ක් (826,091,000,000) බවය. එසේම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා වන විට රුපියල් ට්‍රිලියන 10.3 ක් (10,338,767,000,000) ණය වශයෙන් ගෙවීමට තිබූ බව ඔහු කියයි.

විගණකාධිපතිවරයා අවධාරණය කර සිටි පරිදි ජනරජයේ මූල්‍ය ප්‍රකාශන අනුව 2016 වසර අවසන් වන විට රුපියල් ට්‍රිලියන 8.8 ක් (8,860,770,462,316) ණය ලෙස ආණ්ඩුව ලබාගෙන තිබේ. මෙයින් රුපියල් ට්‍රිලියන 5.1 ක් (5,101,651,635,036) දේශීය ණය වන අතර ට්‍රිලියන 3.6 ක් (3,675,812,055,880) ක් විදේශීය ණය වේ. මහ බැංකු අත්තිකාරම් ලෙස රුපියල් 83,306,771,400 ක්ද දක්වා තිබේ.

ව්‍යාපාරවලට ණය ගැනීම් අනුව ගෙවීගිය දශකයක පමණ කාලය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 136 ක් ණය ලබාගෙන ඇති අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බිලියන 37 ක් ණය ලෙස ලබාගෙන ඇත. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලට මහා භාණ්ඩාගාරය හරහා මුදල් ලැබීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුවද මෙහිදී පෙනී යන්නේ මෙම අංශ එම මුදල්වලට අතිරේක වශයෙන් ආයතනික ණය ද ලබාගෙන ඇති බවය. මෙයින් අදහස් වන්නේ මෙම මුදල් මහා භාණ්ඩාගාරය හරහා නොව එයට බාහිරව වෙනත් ක්‍රමවලට ලබාගෙන තිබීමය. මෙවැනි ණය ගැනීම් තවත් ආයතනවල සිදුවෙන්නට ඉඩ ඇති නමුත් ඒ බව විගණකාධිපතිගේ වාර්තාවල සඳහන් නොවේ.

සමස්තයක් වශයෙන් සලකා බැලූ විට රට ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය අවිනිශ්චිත අතර එය වයිමාට හෝ වයිමාගේ පුතාට වුවද නිවැරදිව කිව නොහැකි බව විගණකාධිපති උපහාසාත්මක ස්වරෑපයෙන් මාධ්‍යවලට පවසා ඇත. ඔහු මෙයට එක් හේතුවක් ලෙස පවසන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් හෙවත් ගණන් ගන්නා නිලධාරීන් ලෙස දේශපාලන පත්වීම් පිරිනැමීමය. ගෙවීගිය දශක 1 ½ තුළ රටේ මූල්‍ය විනය විශාල ලෙස පිරිහී ඇති අතර එම තත්ත්වය අවම කිරීමට පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දී තිබේ. පසුගිය දශකය තුළ රට විශාල ලෙස ණය ගෙන ඇති නමුත් එම ණය ගෙවීමට මුදල් උත්පාදනය කරන වැඩපිළිවෙළක් නොමැති වීම විශාල ගැටලුවක් බවද විගණකාධිපති පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය මත ලබාගත් ණය ගෙවීම සඳහා වැඩි පොලියට තවත් ණය ලබාගැනීමට සිදුවීම නිසා රට ණය උගුලක අසු වී ඇති බවද පැහැදිලිය.

ණය කළමනාකරණ වාර්තාව තුළින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව ආණ්ඩුවේ මුළු වගකීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 නොඉක්මවිය යුතු බවය. එසේ වුවද 2016.12.31 දිනට රජයේ මුළු වගකීම් රුපියල් බිලියන 9865 ක් වීමෙන් පැහැදිලි වන්නේ පනතේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති බවය. ඉදිරියේ දී තව තවත් ණය ඉහළ යා හැකි බවට විගණකාධිපතිවරයා අනතුරු හඟවා සිටී.

විගණකාධිපති රටේ ණය අනතුරේ යථා තත්ත්වය ඍජුව පෙන්වා දීම පිළිබඳ උරණ වූ අපේ ඇතැම් දේශපාලනඥයන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනා පවා ඉදිරිපත් කිරීමට කැස කවන වාතාවරණයක අපේ රටේ දේශපාලනය කොතෙක් දුරට රාජ්‍ය පරිපාලනයට බලපා ඇතිද යන්න මනාව සනාථ වේ. මෙහිදී දේශපාලනඥයන් විසින් කළ යුතුව තිබුණේ නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම නොව රට වැටී ඇති අන්ත අසරණ තත්ත්වයෙන් ගොඩ ඒමට ප්‍රතිකර්ම යෙදීමය.

ගෝලීය තරගකාරී දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2015/16 න් පසුව මේ වන විට ස්ථාන 3කින් පහළ වැටී 71 වැනි ස්ථානය දක්වා පසුබැස තිබීමෙන් රට ආර්ථික වශයෙන් ඉතා අනතුරැදායක සහ අභාග්‍යසම්පන්න තැනකට පැමිණෙමින් තිබෙන බවට අනතුරැ හැඟවේ.

ආර්ථික විශ්ලේෂකයකු වන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පවසා තිබුණේ 2019 සිට 22 වසර දක්වා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3 ½ - 4ක ප්‍රමාණයක් ණය ලෙස ඉදිරියේ දී ගෙවන්නට සිදුව ඇති බවයි. ඔහු එම ගණනය කිරීම කර ඇත්තේ දැනට ඇති ණය ශේෂය පදනම් කරගෙනය. එසේ වුවද 2022 දක්වා අප දිගටම ණය ගැනීමට පෙළඹීමෙන් මිදීමට නොහැක. ඒ නිසා ගෙවීමට ඇති ණය ඩොලර් බිලියන 4 ඉක්මවා ඉහළ යාමට ඉඩ ඇති බව පෙනෙන්නට තිබේ.

රුපියලේ විදේශ අගය 157 ඉක්මවා යාම නිසා ගෙවීමට ඇති ණය ප්‍රමාණය සියයට 25කින් පමණ ඉහළ යනු ඇත.

කෙසේ වුවද ණයෙන් ණය නොගෙවා ණය පාලන ක්‍රියාමාර්ගයකට රට වහාම අවතීර්ණ නොවුණහොත් මෙම අර්බුදයෙන් සදාකාලිකවම ගොඩ යා නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. එහෙත් අපේ රටේ බලධරයන් ණය පාලනය වෙනුවට අදද අනුගමනය කරන්නේ ණය වර්ධනය වන ක්‍රියාමාර්ගයකි. අනවශ්‍ය බොහෝ දේ ආනයනය කිරීමට ඉඩ හැරීම මෙන්ම අපනයන වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගයකට නොඑළඹීම නිසා තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ. ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වෙළෙඳ ගිණුමේ ශේෂය අඩුකරගත හැකි නම් ණය යම් පමණකට පාලනය කරගත හැකි බවයි. (වෙළෙඳ ගිණුම් ශේෂය යනු ආනයන අපනයනවල වෙනසය.)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසන්නේ මේ වන විට අපේ විදේශ ඉපැයීම් රටට ලැබීම මන්දගාමී වී ඇති බවය. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් ලේඛනයේ මුල්ම තැන හිමිව ඇත්තේ විදෙස් ශ්‍රමිකයන්ටය. මේ වන විට රුපියලේ අගය දිගටම අවම වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන නිසා විදේශවල රුකියා කරන ශ්‍රමිකයන් තම මුදල් ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද කරමින් සිටී. එයට හේතුව රුපියලේ අගය තවදුරටත් පහළ ගියහොත් තම ඩොලර්වලට වැඩි රුපියල් ප්‍රමාණයක් ලබාගත හැකි වීමය. එනිසා විදේශ ශ්‍රමිකයන් රටට එවන මුදල් අඩුවෙමින් පවතී. මෙම තත්ත්වය ඔවුන්ගේ ආර්ථිකයට හොඳ වුවද රටේ ආර්ථිකයට යහපත් නැත.

ගෙවුම් ශේෂය පාලනය කිරීමට නම් ආනයන ඉල්ලුම අවම කර රටේ විදේශ ආයෝජන වැඩි කර අයවැය හිඟය පහළ දැමීමට කටයුතු කළ යුතුය. අයවැය හිඟය තුලනය කිරීම සඳහා විදේශ ණය ලබානොගෙන ජාතික ආදායම ඉහළ නැංවිය යුතුය. එසේම මුලින් පැවසුවා සේ අත්‍යවශ්‍ය දේ පමණක් ආනයනය කරමින් දේශීය නිෂ්පාදන සඳහා යොමුවීම අවශ්‍යය. එසේ වුවද ආණ්ඩුව සැමවිටම කටයුතු කරනුයේ රටේ භාණ්ඩ හිඟයක් ඇතිවූ වහාම එයට ප්‍රතිකර්ම යොදනු වෙනුවට අවිචාරශීලීව ආනයනයට පෙළඹීමය. ඒවා දේශපාලන තීන්දු වන අතර ආනයන නිසා ඇතැම් දේශපාලනඥයන්ගේ හොද්ද බොරවෙන බවද පැවසේ. දේශපාලන හා පෞද්ගලික අවශ්‍යතා මත ආනයනය කරන නිසා රටේ ආර්ථිකයට සිදුවන හානිය ගැන නොසලකන බවක් දක්නට ඇත.

විදේශ ආයෝජන නොමැතිව රටට ඉදිරියට ගිය නොහැකි නමුත් ආයෝජන දිරිමත් කිරීමේ සැලැස්මක් ආණ්ඩුවට නොමැත. රටට පැමිණෙන ආයෝජකයන් අධෛර්යමත් කිරීම නිසා ඔවුන් වෙනත් රටවල් කරා ඇදීයාමේ ප්‍රවණතාව අධික වී තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළේ පාවෙන විදේශ ආයෝජනවල වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක තරම් විශාල ප්‍රමාණයකි. එයින් අප ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන දශම 4 ක් පමණ වීමෙන් විදේශ ආයෝජන පිළිබඳ අප දක්වන උදාසීනභාවය කැපී පෙනේ. මෙම විදේශ ආයෝජනවලින් වියට්නාමය බිලියන 6 ක් ද, පාකිස්තානය බිලියන 2.8 ක් ද ආකර්ශනය කරගෙන ඇත. මහ බැංකු අධිපතිගේ 2018 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ විදේශ ආයෝජන ලබාගැනීමේ අවශ්‍යතාවයි. දේශපාලන අවශ්‍යතා මත ආර්ථික තීරණ ගැනීම නිසා අප මෙම අවදානම් තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වන විට ආනයන අපනයන අතර වෙනස වූ ජංගම ගිණුමේ ශේෂය යම් අපේක්ෂා තැබිය හැකි තැනකට පැමිණ ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2014 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක්ව තිබූ ශේෂය 2016 දී 2.4 දක්වා පහළ බැස ඇත. ඒ නිසා මේ තත්ත්වය ඉදිරියට වර්ධනය කරගත හැකි ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව වහ වහා එළඹිය යුතුය.

එසේ වුවද ආණ්ඩුව නිතරම පෙළඹෙමින් සිටින්නේ මෙයට එරෙහි වන තීරණවලටය. ලක්ෂ 18 ක් වන රාජ්‍ය සේවකයන්ට වැටුප් සඳහා 2016 දී රැපියල් බිලියන 576.5 ක් වැය කර ඇති අතර 2016 දී සිදු වූ රුපියල් 10,000 වැටුප් වැඩි කිරීමේ ප්‍රථම පියවර නිසා රාජ්‍ය වැටුප් සියයට 2.6කින් ඉහළ ගොස් තිබේ. 2017 දී තවත් ඉහළ ගොස් තිබෙනු ඇත. එසේම ආණ්ඩුව තව තවත් රාජ්‍ය සේවකයන් බඳවාගැනීමට සහ වැටුප් වැඩි කිරීමේ තීරණවලට එළැඹෙමින් සිටී. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණ වීම නිසා ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවීමටද, අනිකුත් කාර්යාල ආදී යටිතල පහසුකම් සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම විනිසුරුවරුන්ගේ වැටුප් විශාල ලෙස වැඩිකිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත. විනිසුරු වැටුප් හා මැති ඇමැතිවරුන්ගේ වැටුප සම තත්ත්වයේ තිබීම් සම්ප්‍රදාය නිසා මෙය පාදක කරගෙන නුදුරේදී දේශපාලනඥයන්ගේ වැටුප ද වැඩිකර ගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු හඟවති. තවදුරටත් රජයේ රැකියා දිය නොහැකි බවද වැටුප් වැඩි කළ නොහැකි බවද මහ බැංකු අධිපති ස්වකීය ආර්ථික ප්‍රකාශනයෙන් අවධාරණය කර සිටියදී ආණ්ඩුව මෙලෙස හිතුවක්කාරීව කටයුතු කිරීම නිසා රට තවදුරටත් අගාධයට වැටෙනු ඇත.

එසේම ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සක්‍රීය බැරකම් පනතින් ණය ගැනීම තවත් වැඩිවන බව පෙනෙන්නට තිබේ. මෙහි විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුව වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා ගොස් විධායකයට වෙනම රුපියල් ට්‍රිලියනයක හෙවත් බිලියන 1000ක දේශීය හා විදේශීය ණය ගැනීමට අවස්ථාව ලැබීමය.

2015 ට පෙර වසරේ දී මෙරට ලැබූ සාමාන්‍ය ණය අමෙරිකානු ඩොලර් මිලියන 350 මට්ටමේ පැවැති නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්ව ගෙවීගිය වසර 3 තුළ බැඳුම්කර මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7.7ක ණය ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. එසේම සවරින් බොන්ඩ්ස්, කරන්සි ස්ටොප් ආදී ණය උපකරණ මගින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ඇතුළුව අමෙරිකානු ඩොලර් බිලියන 9ක ණය ගෙන ඇති අතර පසුගිය වසර 3 තුළ ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 16.7 කි. තත්ත්වය මෙසේ තිබියදී සක්‍රිය බැරකම් පනත මගින් බිලියන 1000ක ණය ලබාගැනීමට අවස්ථාව සලසා ගැනීම නිසා තත්ත්වය තවත් බරපතළ වන බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය.

මේ අනුව ආණ්ඩුව වුවමනාවෙන්ම තවදුරටත් ණය උගුලක සිරවීමට සූදානම් බව පෙනෙන්නට තිබේ.

 යසවර්ධන රුද්රිගු