2018 මාර්තු 10 වන සෙනසුරාදා

අපේ අම්මා දැන් ඔත්පලයි. ඈට තවත් දුක් දෙන්න එපා!

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

බැලූ බැල්මට මෙය සම්මුඛ පරීක්ෂණයකි. පරීක්ෂක මණ්ඩලය යැයි සිතිය හැකි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ඉදිරියේ උන්නේ වයස අවුරුදු තිස් පහක් පමණ වියැති තරුණයෙකි. 

“මම ඉංග්‍රීසි ජාතිකයෙක් වීම ගැන ආඩම්බරයි. මගේ පවුලේ හැමෝම ඉංග්‍රීසි ජාතිකයෝ.” 

“ඔයා කොහොමද කියන්නේ ඔයා ඉංග්‍රීසි ජාතිකයෙක්මයි කියලා” පරීක්ෂක මණ්ඩලයෙන් ප්‍රශ්නයකි.

“මම ඉපදුණේ එංගලන්තෙ. මගේ අම්මා තාත්තා ඉපදුණේ එංගලන්තෙ. මගේ ආච්චි සීයා ඉපදුණෙත් එංගලන්තෙ. ඒ හැමෝම රට වෙනුවෙන් යුද්ධෙට පවා ගිය අය. ඉතින් මම ඉංග්‍රීසි ජාතිකයෙක් නෙමේ නම් වෙන කවුද?”

“ඔබව අයිති වෙන ලෝකෙ වෙන කිසිම රටක් හෝ ඔබ අකමැතිම වෙන රටක් හෝ තියෙනවද?”

“අනිවාර්යෙන්ම. ජර්මනියට මම චුට්ටක්වත් කැමති නෑ”. 

“ඇයි ඒ?”

“මගේ අම්මා තාත්තගෙන්, ආච්චි සීයාගෙන් ඇහුවත් එයාලා දෙන්නෙත් ඒ උත්තරේමයි.  යුද්ධෙ කාලෙ ඉඳන් අපිට ජර්මන්කරයොන්ව පේන්න බෑ”. 

සති දෙකකට පසු දර්ශනයකි. 

“ජේ. ඔයාට පොඩ්ඩක් ඉස්සරහට එන්න පුළුවන් ද?”

තිහක හතළිහක පමණ පිරිසක් හුන් තැනින් සති දෙකකට පෙර හමුවූ පරීක්ෂක මණ්ඩලය වෙත පැමිණ අසුන් ගත්තේ එම තරුණයාම ය. 

“ඔයා සූදානම්ද? ”

“ටිකක් බයයි. ඒත් අවුලක් නෑ”. 

පරීක්ෂක මණ්ඩලයේ හුන් කාන්තාව ජේ වෙත ලියුම් කවරයක් දිගු කළාය. 

ලියුම් කවරය තුළ තිබුණේ ජේගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයේ ප්‍රතිඵලය. ඔහුගේ ජානවල අතීතය සුදු පැහැ කඩදාසිය මත මුද්‍රණය වී තිබුණි. 

ජේ මොහොතක් ඒ දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණ රතු විය. සිහින් දහඩියක් නළලේ මතුවිය. 

“අපිටත් ඇහෙන්න ඕකෙ තියෙන දේවල් කියවන්න ජේ.”

“හොඳයි. මෙන්න මගේ ප්‍රතිඵලය. මම සියයට 55ක් අයිරිෂ් (අයර්ලන්ත). බ්‍රිතාන්‍ය සියයට 30යි. ජර්මනි සියයට 5යි. ස්පාඤ්ඤය සියයට 3යි. ඉතාලිය සියයට 3යි. ස්කැන්ඩිනේවියාව සියයට 3යි. තුර්කිය සියයට 1යි”. 

ඔහු වේගයෙන් කියවාගෙන ගියේය. මඳ නිහැඬියාවකට පසු ඔහු නැවතත් හඬ අවදි කළේය. 

“ඔහ්! මේක ඇත්තටම ලොකු කම්පනයක්. මට ලෝකෙ කොයිතරම් රටවල් එක්ක ප්‍රදේශ එක්ක සම්බන්ධකම් තියෙනවද?” 

“ඔයා නිකම් නිකම් එංගලන්තේ ජේ විතරක් නෙමේ. එහෙම නේද?” 

“ඔව් ඇත්තටම. මම මේ ලෝකයේ හැමතැනකටම මුල් ඇදිච්ච කෙනෙක්”. 

“ඉතින් මේ තැන්වලටත් ඔයා යන්න බලාපොරොත්තු වෙනවද?” 

“ඔව් අනිවාර්යෙන්ම මම ජර්මනියටත් තුර්කියටත් යනවා”. 

“සුබ ගමන් මිත්‍රයා!”

ඉහත දර්ශන පෙළ ෆේස්බුක් හරහා මට හමුවුණේ මීට අවුරුදු දෙකකට පමණ පෙරාතුව ය. ෆේස්බුක් අපහරණයට ප්‍රසිද්ධ අපේ සමාජය තුළ ෆේස්බුක් හරහා මෙවැනි විශිෂ්ට වීඩියෝවක් ප්‍රචාරය කළවුන්ට පළමුකොට ප්‍රණාමය හිමිවිය යුතුය. 

මේ අකුරු අමුණන මොහොතේත් යම් සිද්ධියක් මුල් කරගනිමින් ජාතිවාදී කලකෝලාහලයකට එකම රටේ පුරවැසියන් දෙකොටසක් කා කොටා ගැනීමට අර අදිති. නමුත් මේ දෙපිරිසම අයත් වන්නේ රකම රටකට මනුෂ්‍ය ජාතියට බව අමතක කරදැමීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ අසුරු සැණකි. තම ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් තමන්ගේ සහෝදරයින් සමඟ ඇණ කොටාගන්නේ තිරිසන් ලෝකයේ පවා නැති දුර්ගුණ ලාංකික සමාජය තුළ පැතිර ඇති බව පසක් කරමිනි.

ලංකාව යනු දූපතකි. විජයගෙන් පසු පමණක් නොව විජයට පෙර සිටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල මිනිසුන් ලංකාවට ආව ගිය බව ජනප්‍රවාදයෙන් පමණක් නොව සාහිත්‍යයෙන්ද පුරාවිද්‍යාවෙන් ද හෙළිවී තිබේ. එනම් ලංකාවේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනා අඩුවැඩි වශයෙන් එකිනෙකා හා කලවම් වී තිබේ. ලෝකයේ ඇති මනුෂ්‍ය මුහුණුවර සියල්ල මේ කුඩා දූපතේදී දැකගත හැකි යැයි කියවෙන්නේද එනිසා ය. 

එහෙත් තමන්ගේම කිරෙන් පෝෂණය වී හැදී වැඩුණු දරුවන් එකිනෙකා සමඟ ගහමරා ගන්නා අයුරු දකින්නට තරම් ලංකා මාතාව අවාසනාවන්ත වී තිබේ. ස්වභාවයෙන් වාසනාවන්ත තැනැත්තියක වුවද තමන්ගේ දරුවන්ගෙන් අවාසනාව උරුම කරගත් ඈ දැන් හොඳටම ඔත්පල ය. 

මොහොතක් සිතන්න. අප ඇයට දිගින් දිගටම රිදවා තිබේ. ඇයව සතුටු කරනවා වෙනුවෙට ගෙවුණු දරු පරම්පරා දෙක තුනකින්ට ඇයට උරුම වූයේ දුකම පමණි. තමන්ගේම දරුවන් අතින් තමන්ගේම දරුවන් මියයන අයුරු ඈ සොවින් බරව බලා සිටියාය. ඉඳින් ඇයට තවත් දුක් දීමේ අයිතියක් අපට නැත. එසේ නොවුණහොත් ලංකා මාතාව නොව අපේම අනාගත පරපුර අපට ශාප කරනු නිසැක ය.  

► ජා