2018 මාර්තු 10 වන සෙනසුරාදා

නිර්ව්‍යාජ නිරහංකාර සම්මානනීය ගැමියා...

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 646

මහාචාර්ය විමල් දිසානායක වරක් පැවසුවේ තමාට හමුවූ ලේඛකයන් අතරින් නිර්ව්‍යාජම හා නිරහංකාරම නිර්මාණකරුවා ඇරුව්වල නන්දිමිත්‍ර බවයි. ඔහුගේ සම්මානලාභී කෘති රැසකටම අත්දැකීම් සැපයුවේ අද සීඝ්‍ර‍යෙන් නාගරීකරණයට ලක්වන මහරගම, ඇරැව්වල ගම්මානයයි. 1970 ගණන් වන විටත් එය රබර්, පොල්, කුරුඳු ආදී වගාවන්ගෙන් ද විශාල කුඹුරැ යායකින් ද සමන්විත ගමක් විය. ගැමියකු ලෙස සාහිත්‍යකරණයේ යෙදුන ඇරුව්වල නන්දිමිත්‍ර මේ ගමේ උපත ලැබුවේ 1939 ජූනි 5 දා ය. ඔහු ඒ ගමෙන් සමුගත්තේ පසුගිය මාර්තු 4දා 78 වන විය සපුරමින් සිටියදීය.

නන්දිමිත්‍ර එකල පැවති සිය ගම ගැන දක්වන්නේ මෙබඳු අදහසකි. එවකට අපේ ගම හොඳ යැයි සම්මත දේට වඩා නරක යැයි සම්මත දේට ප්‍රසිද්ධියක් ලබා තිබිණ. ඒ නිසාදෝ බැහැර පෙදෙසකට ගොස් ගම ගැන විමසූ විට එක්වරම උපන් ගමේ නම පවසන්නට සමහරු පසුබෑහ. සමහරැ අසල පිහිටි වෙනත් ගමක නම කීහ. උපන් ගමේ නම පවසන්නට පැකිලිය යුතුද? නැත. මම මගේ නමට මුලින් උපන් ගමේ නම යොදන්නට ඉටා ගතිමි. (කතන්දරකරැවකුගේ සටහන් - ඇරැව්වල නන්දිමිත්‍ර)
ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලයෙන් (දැන් මහා විද්‍යාලයකි) අධ්‍යාපනය ලැබූ ඔහු ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වුව ද, වැඩිදුර අධ්‍යාපනයක් ලබා දීමට තරම් පවුලේ අයගේ ආර්ථිකය යහපත් නොවීය. තරගකාරී විභාගයකට මුහුණ දී රජයේ ලිපිකරු සේවයට බැඳෙන්නේ ඒ නිසාය. ලිපිකරුවෙකු වශයෙන් දිවයිනේ ස්ථාන කිහිපයක සේවය කළ ද ඔහුගේ අවශ්‍යතාව වූයේ සාහිත්‍යකරුවකු වීමය.

මම මුලින්ම පටන්ගත්තේ කවි ලියන්නයි. කවුරුත් නිර්මාණ ජීවිතය පටන්ගන්නේ කවියෙන්නේ. මටම තේරුණා මම ලියපු කවි හොඳ නැති බව. ඊට පසු මම කෙටි කතා සහ නවකතා නිර්මාණයට උත්සාහ කරා. දිනක් මේ ලේඛකයා ලියුම්කරු සමඟ පැවසුවේය.

ඔහු පසුගිය කාලයේ අප රටේ බිහි වූ ශූර කෙටිකතාකරැවකු විය. සම්මානනීය නවකතා රචකයකු විය. විචාරකයන් වඩාත් ඇගැයීමට ලක්කරන්නේ මානුෂීය කතා තේමා ඔස්සේ ඔහු රචනා කළ කෙටිකතාය. ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහය කය මිස සිත නැති දන පළවූයේ 1965 දීය. එවකට නන්දිමිත්‍රගේ වයස අවුරුදු 26කි.

මුල් කෙටිකතා සංග්‍රහයේ සිට ඔහු කෙටිකතා සංග්‍රහ දොළසක් පළ කර ඇති අතර, ඒවායේ වඩා සිත් ගත් කෙටිකතා එක්කොට ඇරැව්වල නන්දිමිත්‍ර තෝරාගත් කෙටිකතා සංග්‍රහයක් ද පළ කෙරිණි. (මෙහි සංස්කරණ කටයුතු කළේ සුගත් වටගෙදර විසිනි.) ඔහු පියවති සහ ඇගේ පුත්තු (1973) සිට නවකතා දහ අටක් පළ කළේය. එයින් කෘති දෙකක් හඳුන්වා ඇත්තේ විස්මය ප්‍රබන්ධ ලෙසිනි. යොවුන් සාහිත්‍ය කෘති තුනක් හා ළමා පොත් දෙකක් ද රචනා කර තිබෙන අතර පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනිය සඳහා රචනා කරන ලද නිර්මාණ ඒ සංඛ්‍යාවට අයත් නොවේ.

සුදු කොඩි (1983) කෙටිකතා සංග්‍රහයේ සිට සුද්දො සහ කොයින් මැණිකේ (1988), රත්තරන් නෙළුම් මල් (1993) මා සොයා එනු මැනවි (1996) කෙටිකතා සංග්‍රහ රාජ්‍ය සම්මානයෙන් පුද ලද අතර නංගි (2000) ගොඩගේ සම්මානයෙන්ද, මම සමු නොගනිමි (2001) විද්‍යෝදය සම්මානයෙන් ද පුද ලැබීය.

ඔහුගේ නවකතා අතර මිහිසරණ (1984) රාජ්‍ය සාහිත්‍ය සම්මානයද ගිනි ස්වාධීන සාහිත්‍ය සම්මානයද දුෂ්කර දුර්ගය (2004) ස්වර්ණ පද්ම සම්මානය ද හිමිකර ගත්තේය. පුංචි තරුවක් පායලා යොවුන් සාහිත්‍ය සඳහා වන රාජ්‍ය සම්මානය දිනාගත්තේය. ගංතෙර තෙරණියට ස්වර්ණ පුස්තක ප්‍රශස්ත සම සම්මානය ලැබුණි. මේ සියලු ජයග්‍රහණ මැද ඔහු තමා හඳුන්වා ගන්නේ හුදු කතන්දරකරැවකු ලෙසිනි. එමෙන් ම ඔහු තම මුල්ම කෙටිකතා සංග්‍රහයේ සිට අවසානයට ලියූ ගිනි සාය (2011) නවකතාව දක්වා සියලු කෘතිවලින් කියන්නේ ඔහු තවමත් ලේඛන කලාව ගැන ඉගෙන ගන්නා බවකි. 

නන්ද්‍රිමිත්‍රයන් තම මුල් කෙටිකතා සංග්‍රහය කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළකළේ මාස තුනක වැටුප ණයක් ලෙස ලබා ගනිමිනි. එහෙත් පොතට වැය කළ මුදලෙන් හතරෙන් පංගුවක්වත් පොත් අලෙවි කොට ලබාගත නොහැකි විය. එහෙත් ඊට පසු නිකුත් කළ නවකතා හා කෙටිකතා පොත් කිහිපයක් ද පළ කළේ කර්තෘ ප්‍රකාශන ලෙසිනි. එමෙන්ම පුවත්පත්වලට මුල් කාලයේ ඔහු ලියූ නිර්මාණ පළවුණේ නැත. ඔහු උත්සාහය අත නොහැරී ය. පසු කලෙක පුවත්පත්වල ආරාධනය මත තම නිර්මාණ ඉදිරිපත් කරන්නට ඔහු වාසනාවන්ත විය. පසුව ප්‍රකාශකයෝ ඔහු ලියන පොත් නොපැකිලිව ප්‍රකාශනය කළහ. ඔහුගේ අත්දැකීම් ගැන දැනගැනීමට ද බොහෝ අය කැමති වෙති. ඔහු තම නිර්මාණයට වස්තු කරගත් අත්දැකීම් අමු-අමුවේ එලෙසම ඉදිරිපත් නොකළා පමණක් නොව, එම අත්දැකීම් ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණයක්ම කළේ ය. එය මුල් අත්දැකීම නොවේ. එය නොවන්නේත් නොවේ. මේ සඳහා හොඳම නිදසුනක් වන්නේ, පසුව සිනමාවට ද නැඟුණු මල්දෙණියේ සිමියොන් (1975) නවකතාවයි. මෙහි දැක්වෙන සිමියොන්ට සමාන චරිත ඇරුව්වල ගමේ වූ බැවින් සමහරු ඒ අසවලා දැයි නම්කර විමසූහ. එහෙත් ඔහුගේ සිමියොන් චරිත ගණනාවක් ඇසුරු කරගත් අලුත් චරිතයකි. දිළිඳු බවත්, අසාධාරණත්වයත් යන යක්ෂයන් දෙදෙනා විසින් පහුරුගෑම නිසා හදවතින් ලේ ගලන මිනිසුන් සමඟ ජීවත්වන අප ඔවුන්ගේ වේදනා විඳිමින් ඔවුන් සමඟම ඉදිරියට යා යුතු යයි සිතමි. එහි දෙවන මුද්‍රණයේ පිළිසඳරේලා නන්දිමිත්‍ර (1987) කියයි. ඔහු සැබවින්ම අත්දුටු මිනිස් හැසිරීම් ගැන එයින් ඉඟි කරනා අතරම, ඔවුන් සමඟ පෙරට යාමක් ගැන ද විශ්වාසය තැබූ බව පෙනෙයි.

ජීවිතයේ කොටස්කාරයෝ (1974) නවකතාවේ ද ඔහු සැබවින්ම අත්දුටු පාලම් කම්කරැවන්ගේ ජීවිත විවරණයක් දක්වයි. රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ පාලම් අංශයේ ලිපිකරැවකු ලෙස රත්නපුරයේ ගතකළ කාලය තුළ ලද අත්දැකීම් ඒ නවකතාවට විෂය වුවත්, එහි ප්‍රකාශිත කතා පුවත නන්දිමිත්‍රයන්ගේ නිර්මාණයකි. ඒ චරිත හා අවස්ථා රටේ ලෝකයේ කෙතරම් වෙනස්කම් සිදුවූවත්. මේ ලේඛකයා ගතකළේ ගැමි සුවඳට ආස කළ ගැමි දිවියකි. ඔහු ගමන් බිමන් ගියේ පා පැදියේය. බස්වලය. ඒත් ඔහු ජීවත් වූ ඇරැව්වල ගම වේගයෙන් වෙනස් වෙමින් පැවතුණි. මහවෙල්යාය ගොඩවෙමින් පුරන්වෙමින් නිවාස ඉදිකෙරිණි. ඒ මැදින් ගලාගිය මහ ඇලේ ජලය අඩුවිය. වරක් ලියුම්කරු ලේඛකයා සමඟ මේ වෙල්යායේ ඇවිදින්නට ගියේය. පරිසරයේ විපරිණාමය ගැන එදා ඔහු කනගාටුවෙන් කතා කළේය. මගේ පොත්වල මේ වෙල්යාය ගැන ගොඩාක් කියැවෙනවා. අපි පුංචි කාලෙ මේ ඇළේ තමයි නෑවේත්. ඔහු කීවේ ඈතට අත දිගුකරමිනි.

නන්දිමිත්‍ර මියගිය බව ඇසූ බොහෝ සාහිත්‍යවේදීන් හා ඔහුගේ පාඨකයන් මුණුපොතේ මේ අව්‍යාජ මිනිසාට ගෞරව මතක සටහන් තබා තිබෙනු දැකගත හැකිය. එහෙත් ඔහු කිසිදිනෙක මුණුපොත පාවිච්චි කළ අයෙක් හෝ එය දෙස බැලූ අයෙක් නොවේ. මහාචාර්ය අමරකීර්ති  ලියනගේ මුණුපොතේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

විවිධ මිනිසුන්ගේ ජීවිතය හා නන්දිමිත්‍ර සම්බන්ධ වන්නේ ඒ මිනිසුන්ගේම ජීවිතයේ කොටස්කාරයෙකු සේය. ජීවිතයේ කොටස්කාරයෝ යනු ඔහුගේම පොතක නම වීම ඒ නිසා අරැමයක් නොවේ. පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිය, ජයතිලක කම්මැල්ලවීරගේ කෙටිකතාව, සයිමන් නවගත්තේගමගේ ඇතැම් කෘති විශිෂ්ටත්වයට පත්වන අවස්ථාවල ඊට එක් හේතුවක් වන්නේ ඒ කෘතිවල එන ජීවිතයට සහභාගීවීමට ඒ රචකයන්ට ඇති නිහතමානී හැකියාවය. ව්‍යාජ මහත්වරුන්ගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකිරීමට නවගත්තේගමට වූ බොහිමියානු ශක්තිය නන්දිමිත්‍රට නැතත් තමන්ගේ බාප්පා කෙනෙකු ප්‍රසිද්ධ හරක් හොරෙකු වූ බව නන්දිමිත්‍ර කියන්නේ අව්‍යාජ ගැමියෙකුගේ නිහතමානීකමිනි. ඒ නිසා මල්දෙනියේ සිමියොන් චරිතය උපත ලබන්නේ කෙසේදැයි අපට දැනගන්නට ලැබෙන්නේ මතු නොව එවන් චරිත වෙත නන්දිමිත්‍ර හෙලන උපේක්ෂා සහගත දෘෂ්ටියේ මූලයද හෙළිදරව් වෙයි.

කොතරම් සම්මාන ලැබුණා ද ඔහු තුළ තිබුණේ ඉතා නිරහංකාර සද්ගුණයකි. ඔහු කිසිවිටක තම නිර්මාණ උළුප්පා කතා කළේ නැත. දැන් අයගේ නිර්මාණ අගය කළේය. සම්මානනීය ලේඛක අනුරසිරි හෙට්ටිගේ මුණු පොතේ තබා ඇති සටහනෙන් ඒ බව වඩාත් ඉස්මතු වෙයි.

පාරිසරික සහායක් නොමැති සාහිත්‍ය සේවනයක ඉතා අසීරුවෙන් අඩි තබමින් අප ආ ගමනේ අපගේ කියවීමේ උග්‍ර පිපාසාව සංසිඳවූ සිංහල ලේඛකයින් අතර මුල්කාලීන යුගයේ සිටියෝ කරැණාසේන ජයලත්හු වන අතර පසුකාලීන එහි පෙරමුණ ගත්තෝ ඇරැව්වල නන්දිමිත්‍රයෝය. ඔහු විසින් විරචිත නවකතා අප අත්විඳි ආන්තික ජීවන ප්‍රවාහයටම හසුව තැලෙන පීඩිත මිනිසුන් පිළිබඳව වූවක් හෙයින් වඩාත් ඔහු අපගේ හෘදය ආමන්ත්‍රණය කළ බවත් එකල අපට දැනිණ. එහි සිටින අම්මලා අපගේ අම්මලාමය. සොහොයුරු සොහොයුරියන් අපගේමය. ඥාතී සමූහයා අසල්වාසීහු අපගේම අය වූහ. ජීවන අත්දැකීම් වපසරිය නාගරික පොළොවෙන් උදුරා නාගරිකයේ උණුසුම දැනෙන එහෙත් ගැමි ජීවනයම තුරැලු කරගත් මිනිසුන් වෙසෙන පන්නිපිටිය, පෝරේ, ඇරුව්වල වැනි තැන්හී ස්ථානගතකර තිබුණත් එය අපට උසාවි සාවිය තරමටම සම්පව දැනිණ. මාගේ පළමු නවකතාව දොරට වැඩි 1992 වසරේ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයට පැමිණි සීමිත සාහිත්‍යකරැවන් අතර සුදු ජාතික ඇඳුමින් සැරසුණු නන්දිමිත්‍රයන් ද සිටියේ මගේ සාහිත්‍ය ජීවිතයට සුබ පැතීම වෙනුවෙනි.

ඇරැව්වල නන්දිමිත්‍ර කවි ලිවීම අතහැරීයත් ඔහුගේ කවි ශක්තිය විටින් විට ඉස්මතුවිය. නවකතා පොත්වල පිදුම සඳහා ඔහු ඇතැම්විට සංවේදී කවි ලිව්වේය. ඔහු ලියූ ගීතයක් සුනිල් එදිරිසිංහ ගායනය කළ බව මට මතක් කළේ ජනක ඉනිමංකඩයි. මේ එහි කොටසකි.

ගඟට කපන ඉනි ගඟ දිය රුගෙන යතී
සැපට වැඩුණු කය පොළොවට දිරා යතී
අපට නොවේ බඹුටත් මරැ ළඟාවෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරැ වෙතී...

ලේඛකයා තමන් ජීවිතයෙන් ලත් අත්දැකීමෙන් ලියූ ඒ ගීතය ඔහුගේ ජීවන දෘෂ්ටිය හෙළි කරන්නත් විය. ලේඛකයාණෙනි, ඔබට නිවන් සුව!

(පසුබිම් පුවත් සුගත් වටගෙදර)
කුසුම්සිරි
සේයාරුව: සමන්ත විල්තෙර  

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00