2018 මාර්තු 10 වන සෙනසුරාදා

ලී කොටන් කැබින්: පිහිනුම් තටාක සහ ළිං රූමස්සල Jungle Village

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

ගාලු වරාය අසල පිහිටා තිබෙන රූමස්සල කන්ද යටත් විජිත යුගයේ දී හැඳින්වුණේ බොනො විස්ටා (විශිෂ්ට දර්ශනය) යන නමින්. රූමස්සල කඳු මුදුන දකුණු වෙරළ තීරයේ සුන්දරම දර්ශනය දක්නට ලැබෙන ස්ථානය බවට සැකයක් නැහැ. රූමස්සල පිහිටි වනාන්තරය, මුහුදු පරිසරය වගේම ලෝක ප්‍රකට උණවටුන ප්‍රදේශයත් ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් කලාපයක්. එහි වටිනාකම කොතෙක් ද යත් එය අභය භූමියක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මේ සුන්දර පරිසරයේ සිට, එසේත් නැත්නම් ජන්ගල් බීච් සිට මිනිත්තු පහක දුරින් රූමස්සල වනාන්තර පසුබිමේ පිහිටා තිබෙන සොඳුරු නවාතැනක් ලෙස Jungle Village හඳුන්වන්න පුළුවන්.

ලී කොටන් ආධාරයෙන් සෑදූ කැබින් පන්නයේ කාමර 14 ක් මේ හෝටලයේ අඩංගුයි. ඒවා සියල්ල පෞද්ගලිකත්වය හොඳින් ආරක්ෂා වන අයුරින් සකසා තිබෙනවා. මේසයක්, පුටුවක් සහ කවිච්චියක් ද, සැටලයිට් රූපවාහිනියක් ද කාමරයේ දැකිය හැකියි. ඒ වගේම එළිමහනේ පිහිනුම් තටාකයක්, ඇදගෙන ස්නානය කළ හැකි සාම්ප්‍රදායික ළිඳක් වගේම විවේකීව කාලය ගත කළ හැකි විශාල ගෙවත්තක් මෙහි දකින්න පුළුවන්.

අනික් හැමදෙයක්ම වගේ මෙතැන ආහාරපාන කියන්නේත් සුවිශේෂ අත්දැකීමක්. කොහොම වුණත් ඔවුන්ගේ හොඳම පිළිගැන්වීම තමයි දේශීය බත් සහ මාළු ව්‍යංජන. ඊට අමතරව ආප්ප, රොටි, කිරිබත් සහ සීනි සම්බෝල වගේ දේශීය ආහාර වර්ග රැසක් මෙතැන දී ලබාගන්න පුළුවන්. 

ආහාරපාන සකස් කරන්න යොදාගන්නේ වස විසෙන් තොර කාබනික එළවළු සහ පලතුරුයි. ඒ විතරක් නෙමේ, කැමැති නම් මාළු වෙළෙඳපොළට ගිහින් හෝටලයේ සූපවේදීන් සමඟ තමන්ට කන්න කැමැති මාළු වර්ග තෝරාගෙන එන්නත් හැකියි.

ස්නෝක්ලින් සඳහා වඩාත් සුදුසු උණවටුන මුහුදු තීරය වගේම දලවැල්ල, තල්පේ සහ මිරිස්ස වාගේ තැන්වලටත් බොහොම පහසුවෙන් ළඟාවිය හැකියි. විශේෂයෙන්ම මිරිස්සේ තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නරඹන්න යන්නත් පුළුවන්. මුහුදු තීරයට අමතරව ගාලු කොටුව, කොට්ටව රක්ෂිතය, කුරුඳු සහ කුළුබඩු වගාවන්, හිඳුනාගත තේ වතුයාය, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, මඩොල්දූව, අහංගම රිටිපන්නන්, හුම්මානය, යටගල හා කලමැටිය විහාර වගේ බොහෝ තැන් කරා පහසුවෙන් යා හැකියි.

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00