මාර්තු මාසය කියන්නේ හැමෝම කාන්තාවෝ ගැන කතාකරන මාසෙ. කාන්තාව වෙනුවෙන් හදන එක එක නිෂ්පාදන, ටීවී චැනල් පුරා, පත්තර පිටු පුරා කාන්තාව ගැන කතාකරනවා. බැංකු ගිණුම් තමයි එතැන ඉස්සරහින්ම ඉන්නෙ. මේ අතර එක එක රාජ්‍ය නොවන සංවිධානවල කට්ටියත් කාන්තාවෝ ගැන හරි සද්දෙට කතාකරනවා. අවුරුද්දේ එක මාසෙක විතරක් අපේ රටේ ගෑනු උදවිය ගැන කතාකරන මේ කට්ටිය කියන්නේ අපේ රටේ කාන්තාවන්ට විමුක්තිය අරන් දෙන්න ඕනෙ කියලයි.
එහෙම කෑ ගහද්දි හිතට එන දේ තමයි, අපේ රටේ ගෑනු අය කාගෙවත් හිරකාරියෝ වෙලා ඉන්නවද කියන එක. ගෙදර දොරේදී කාර්යාලයේදී කාන්තාවන්ට ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒත් කාන්තාවට කාන්තාවක් වීම නිසා මුහුණ දෙන්න සිදුවන බරපතළ ප්‍රශ්න අපේ සමාජයේ ඇත්තටම අඩුයි.
කාන්තා විමුක්තිය ගැන කියද්දි ‘අපේ රටේ ස්ත්‍රී දූෂණ හරි වැඩියි. ගෑනියෙක්ට පාරෙ බැහැලා යන්න බෑ සූස් සූස් ගානවා’ වගේ එක එක කතන්දර මේ අය කියනවා. ඒත් ඒක අපේ රටේ කාන්තා විමුක්තිය ගැන ප්‍රශ්නෙකට වඩා එහා ගිය බරපතළ සමාජ ප්‍රශ්නයක්. ලිංගික නිදහස පිළිබඳ තියෙන සමාජ ආකල්පය පිළිබඳ ප්‍රශ්නයක්.
හැබැයි ලංකාවේ කාන්තාවන්ට ඉස්සරහට එන්න, ජයග්‍රහණ ලබන්න අවස්ථාවන් නැහැ කියලා කියන එක නම් බොහොම වැරුදි කතාවක්. ඇතැම් අවස්ථාවල ඔය රැකියා සම්මුඛ පරීක්ෂණවලදී වගේ තැන්වල පිරිමි අය කැපිලා ගෑනු අය තේරෙන්නෙත් සමහර විට වෙන දේකට වඩා එයාලා කාන්තාවන් වීම හින්දමයි.
ඒත් අපි චුට්ටක් මතක් කරලා බැලුවොත් අපේ රටට සර්ව ජන ඡන්ද බලය කියන එක ලැබුණු දා ඉඳන් කාන්තා මන්ත්‍රිනියෝ පත් වෙලා තියෙනවා. ලෝකයේම පළවැනි අගමැතිනිය පත්කළේත් අපේ රටේ මිනිස්සුයි. ඊට පස්සේ දෙපාරක්ම විධායක ජනාධිපති ධූරයත් ගෑනු කෙනෙක්ට දෙන්න තරම් අපේ රටේ මිනිස්සු හරිම ඉස්සරහින් හිටපු පිරිසක්. ඒ දෙන්නම මව්වරු. ඒ විතරක් නෙමේ බලයට එද්දි දෙන්නම වැන්දඹුවෝ. අනික 94දි චන්ද්‍රිකා එක පැත්තකින් ඡන්දෙ ඉල්ලද්දි අනිත් පැත්තෙන් ඡන්දෙ ඉල්ලුවේ ශ්‍රීමා දිසානායක. එහෙම බැලුවම 94දි කවුරු දිනුවත් ජනාධිපති වෙන්න හිටියේ කාන්තාවක්.
අද වෙනකොට කාන්තා විමුක්තිය කියන්නේ ලෝකෙ වගේම අපේ රටේත් හරිම යල් පැනපු නීරස මාතෘකාවක්. කාන්තා විමුක්තිය නැති රටකදි ඒ ගැන කතාකළා නම් ඒක හිට් වෙන්න සෑහෙන ලොකු ඉඩක් තියෙනවා. හැබැයි ලංකාව ඇතුළෙ විමුක්තිය කියලා එන්ජීඕ ඇන්ටිලා අදහස් කරන දේ මොකක් වුණත්, අපි දන්න විදිහට නම් කාන්තාවට ලොකු නිදහසක් හිමිවෙලා තියෙනවා.
හොඳම උදාහරණෙ කැම්පස්. ලංකාවෙ කැම්පස් අති බහුතරය පිරිලා තියෙන්නේ ගෑනු ළමයින්ගෙන්. සාමාන්‍යයෙන් ශාස්ත්‍ර පීඨයක එක කොල්ලට කෙල්ලෝ තුන බැගින් ඉන්න තරමට කැම්පස් එන කෙල්ලෝ ප්‍රමාණය වැඩියි.
ඇත්තටම අපේ සමාජෙ කාන්තාවට පොඩි හරි බාධාවක් තියෙනවා නම් ඒ බාධාව ඇති වෙන්නේ පිරිමින්ගෙන් නෙමෙයි, ගෑනු අයගෙන්මයි. අපේ රටේ පිරිමි අතරට වඩා ගෑනු අතර ඉරිසියාව කියන ලක්ෂණය බොහොම බරපතළ විදිහට තියෙනවා. කොටින්ම එක ගෑනියක් අනිත් ගෑනියගේ ඇඳුම දිහා බලන්නේ පවා වපර ඇහින්. අනිත් කාන්තාවන්ගේ වැරදි දකින්න ගොඩක් කාන්තාවො පෙළඹෙන්නෙ ඉබේටමයි. ඒක නිකම් ජාන ගතියක් වගේ. අරකි මෙහෙමයි, මේකි මෙහෙමයි කියලා කියන්නේ ඒ අයමයි.
අනිත් දේ, අපේ කාන්තාවෝ කොච්චර වුණත් පිරිමියෙක්ගේ බලයට යටි හිතින් ආසයි. කසාද බඳිද්දි මූලික සාධකය හැටියට පිරිමියෙකුගේ රැකවරණය කියන දේ ඉස්සරහට දාන්නෙත් ඒ නිසායි. ආසියානු, ශ්‍රී ලාංකික ගැහැනියගේ මේ මුල් පද්ධතියට හානි කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ අපේ සමාජ පද්ධතියම උඩු යටිකුරු වෙලා තිබ්බ දෙයක් හොයාගන්න බැරි තරමට විකෘති වෙන එකයි.
ගෑනු හැමදාම කුස්සියට වෙලා බත් තම්බ තම්බ ඉන්න ඕනෙ කියලා ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නෙ නෑ. කාන්තා විමුක්තිය වගේ මෙලෝ තේරුමක් නැති වචන අතෑරලා කාන්තාවට තව තවත් ඉස්සරහට එන්න එයාලව සවිබල ගන්වන එක තමයි සමාජයේ හැබෑ යුතුකම!
- ජා