මීට දශක කීපයකට ඉහත අපේ ගමේ පන්සලේ ඉංග්‍රීසි පන්තියක් පැවත්වුණි. දහම් පාසලට එන ළමයින් මෙන්ම ගමේ වැඩිහිටි සමහරු ද ඊට සහභාගි වූහ. පන්තියේ “ඉංග්‍රීසි සර්” වූයේ පිටගම්කාරයෙකු වූ බෙන්ට්ලි බෘෘස් නමැති මහතෙකි. රූපයෙන් ඔහු කළුවර පිළිමයක් මෙන් වූවා ඉංග්‍රීසි කතාවේදී නම් තනිකර සුදුය. එදා බෘෘස්ගේ ඉංග්‍රීසි පන්තියට ගිය සමහරු දැන් හොඳ ඉංග්‍රීසිකාරයෝය. තවත් සමහරු තාමත් පන්තියේමය.
බෘෘස්ගේ ඉංග්‍රීසි පන්තිය ගැන රසකතා බොහෝය. ඉන් ඇතැම් කතා “මයින්ඩ් යුවර් ලැංග්වේජ්” නම් සුප්‍රකට රූපවාහිනි වැඩසටහන සිහිගන්වයි. එකල ගැමියන් කියූ අන්දමට බෘෘස්ගෙන් ඉංග්‍රීසි උගත් අයට “බුරුස් බුරුස්” ගා ඉංග්‍රීසි කතා කළ හැකිය.
ගමේ සිටි වඩුබාස් කෙනෙකුට රට රස්සාවකට යෑමට අවස්ථාවක් ලැබුණෙන් ඔහුට හැකි ඉක්මනින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නට අවශ්‍ය විය. මාස තුනක් වැනි කෙටි කලකින් ඉංග්‍රීසි ටිකක් කටගාගත් බාස්උන්නැහේ රට ගියේය. දෑඅවුරුද්දකින් ආපසු ආ ඔහු සවස් වරුවේ පන්සල පැත්තේ යනවිට බෘෘස් සර් පන්තිකාමරය අසල පෙට්රල් මැක්ස් ලාම්පුව දල්වමින් සිටියේය. බෘෘස් උන්නැහේට ඔහු මෙසේ කතා කළේය.
“හලෝ මිස්ට බෘෘස් සර්, අයෑම් රන්බණ්ඩා බාස් කේම් ෆ්‍රොම් ඩුබායි. යූ ආර් ලෑම්ප් ලයිටින් වර්කින් නෝ...?” (බෘෘස් සර් මම ඩුබායි ඉඳං ආපු රන්බණ්ඩා බාසුන්නැහේ. ඔහේ ලාම්පුව පත්තු කරනව නේද?)
බෘෘස් සහ ගෝලයින් පිළිබඳ මෙබඳු කතා බොහෝය. බෘෘස් මිය ගිය පසු ඔහුගේ පුතා ජූනියර් බෘෘස් ද ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තේය. ඒ පන්සලේ නොව නගරයේය. ඔහු අපූරු පෝස්ටරයක් ගැසුවේය.
“ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි උගන්වන බෘෘස් සර්” ඒ පිළිබඳව ජූනියර් බෘෘස් මෙසේ පැහැදිලි කළේය.
“දැන් කාලේ හුඟාක් ඉංග්‍රීසි පන්තිවල ඉංග්‍රීසි උගන්නන්නේ සිංහලෙන්. ඒකට හේතුව සමහර ඉංග්‍රීසි සර්ලටත් ඉංග්‍රීසි කතා කරන්ඩ බැරි වීම. මම නං උගන්නන්නේ ඉංග්‍රීසියෙන්මයි.”
ඇත්තෙන්ම ජූනියර් බෘෘස් සාර්ථක ගුරුවරයෙක් විය. ලංකාවේ සමාජ දේශපාලන කාරණා සම්බන්ධයෙන් ද ඔහුට හොඳ දැනුමක් තිබුණි. ඒ නිසා විවේකී අවස්ථාවල මම ඔහු හා කතාවට වැටෙමි. බෘෘස් පවසන අන්දමට මේ රටේ මිනිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම වෘත්තියක්ම නොව මහජන සේවාවකි. ඉංග්‍රීසි නොදන්නා මිනිස්සු දූපත්වාසියෝය. දන්නා අය ලෝක වාසියෝය.
බෘෘස්ට අනුව 1956 දී ඉංග්‍රීසියයට ගොස් සිංහල උඩ ඒම නිසා මේ රටේ පැහැදිලි පංති දෙකක් ගොඩ නැඟුණි.
ඒ කාලේ නම් කලිසම් ඇන්දේ ඉංග්‍රීසි කතාව දන්නා අය පමණි. සිංහල පමණක් දත් අය හැඳින්වුණේ “රෙද්දෝ” නමිනි. ඔවුන් ඇන්දේ අලුතින් පුරුදු කළ ජාතික ඇඳුමය. දැන් නම් රෙද්දන් සිටින්නේ පාර්ලිමේන්තුවේය. අනික් හැමෝම කලිසම් අඳිති. එහෙත් වැඩි දෙනාට ඉංග්‍රීසි බැරිය.
සිංහල, රජයේ භාෂාව වුවද, සමාජයේ වැඩි තැනක් ලැබෙන්නේ ඉංග්‍රීසි දත් එකාටය. නොදත් එකා කලිසම් කෝට් ඇන්දද තම රටේදීම සෙකන්ඩ් ක්ලාස්ය.
බෘෘස් පවසන අන්දමට එදා බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලයේදී පාර්ලිමේන්තුව ළඟටම ගොස් සිංහල පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව නොකළොත් ගිනි තබා ගන්නවා යැයි තර්ජනය කළ කණ්ඩායම තවමත් ඒ ලණුවම ගිල්ලවමින් සිටිති. දේශපාලන වාසි තකා ඒ ලණුව ඇද ඇද කෑවුන් නිසා වරින් වර රට ගිනි ගත්තේය. තම තමන්ගේ භාෂාවන් සමඟම ඉංග්‍රීසිය ද පොදු භාෂාවක් කරගත හැකිවීනම් මේ රටේ ජාතීන් අතර දුරස්ථභාවය ද අඩුවෙයි. පංති විෂමතාව ද අඩුවී “කඩුවට” ඇති “හයිෆයිකම” නැතිවෙයි. ඉතින් බෘෘස් ද ජූනියර් ගේ ඉංග්‍රීසි උගැන්වීමේ ඇති සමාජමය වටිනාකම හා මෙහෙවර ඒ අනුව මැනගත යුතුය.
ඉංග්‍රීසි ගැන කියන විට තවත් කතාවක් මතකට නැඟෙයි.
අපේ පළාතේ විසූ තරුණ භික්ෂුවක් විදෙස් රටක පන්සලක වැඩ වාසයට නික්ම ගියේය. කලකට පසු ආපසු සියරට වැඩි උන්වහන්නේ මනරම් බිම් පෙදෙසක විශාල පන්සලක් ඉදිකළහ. එහි බිතුසිතුවම් යට “සුදු ඇතා දන් දුන් වගයි” වැනි වැකි සියල්ලම ලියැවුණේ ඉංග්‍රීසියෙනි. මේ දුටු බොහෝ දෙනා ඒ පිළිබඳව ප්‍රශ්න කළෝය. එවිට උන්වහන්සේ දුන්නේ මෙබඳු පිළිතුරකි.
“මහත්තයා මම පිටරට ගිය මුල් කාලේ ජීවත් වුණේ ගොළුවෙක් වගේ. මිනිස්සු මගෙන් ධර්මය දැනගන්න ආවා. ඒත් ඉංග්‍රීසි දන්නේ නැති නිසා මට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ මම අනික් වැඩ සේරම නවත්තලා ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මට ඒකට අවුරුදු ගාණක් ගතවුණා. ඒත් මම ජයගත්තා.”
වර්තමානයේ එම භික්ෂූන්වහන්සේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට නිතර සහභාගී වෙමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් ශ්‍රී ලංකාවට ගෞරවයක්, කීර්තියක් ගෙනදෙති. බුදු දහමත්, ඉංග්‍රීසියත් නිසා උන්වහන්සේ දැන් නැණවත්ය. වැදගත්ය, තෙදවත්ය, ධනවත්ය! (දෙවැනි භාෂාවකින් මුදල් ද ඉපැයිය හැකිය.)
සිංහලෙන් සිය මිතුරන්ට “මචං” යන දෙමළ වදනින් ඇමතීම ආරමුභ වූයේ කවර කලක සිටදැයි කීමට මම නොදන්නා නමුත් ඉංග්‍රීසියට “කඩුව” යැයි කියන්නට ගත්තේ විශ්වවිද්‍යාල හරහා යැයි සිතමි. කඩුව යනු කැපෙන සුළු ආයුධයකි. ඉංග්‍රීසි නොදන්නෝ “කඩුවෙන්” කැපෙති. “කඩුව” දමන තැන්වලින් පළායති. “කඩුව” දැනගෙන කඩුව වැනීමත් කඩුව නොදැන කඩුව වැනීමත් යනු දෙකකි. කඩුව නොදැන වැනීමට යාමෙන් සිදුවන්නේ “රජා මැරීම”ය! එහෙත් පොට්ට කඩුවෙන් වුණත් වැඩක් ගතහැකි තැන් ද ඇත. ඒ කොහොම වෙතත් “කඩුව” පොලිෂ් කර ගැනීමට කාට කාටත් වැදගත්ය.
එක එක රටවල ජනයා එක එක විදිහට කඩු බස උසුරුවති. අෙමරිකන් ඉංගිලිෂ්, බ්‍රිටිෂ් ඉංග්ලිෂ්, ඕස්ට්‍රේලියන් ඉංගිලිෂ්, ඉන්දියන් ඉංගිලිෂ් ආදී වශයෙන් ප්‍රභේද ඇත්තේ එ නිසාය. තරුණ වියේදීම කෝකියෙකු වශයෙන් සේවය කිරීම සඳහා අමෙරිකානු නැවකට බැඳුණු අරනෝලිස් අප්පු දැන් වියපත්ය. ඔහු කතා කරන්නේ ඇමරිකන් ඉංග්ලිෂ්ය. මෑතකදී ඔහුට ඩොනල්ඩ් ට්‍රම්ප් හා පිළිසඳරක යෙදෙන්නට අහඹු අවස්ථාවක් සැලසුණි. මුස්ලිම් ජනතාව ගැන මහත් උනන්දුවක් දක්වන ට්‍රම්ප් මෑතකදී ලංකාවේ තැනක දෙතැනක ඇති වූ සිද්ධීන් ගැන විමසමින් මෙබඳු යෝජනාවක් ද කළේය.
“අපේ රටේ වගේ තමුසෙලගෙ රටෙත් හැම කෙනෙක්ටම තුවක්කුවක් තියාගන්න අවසර දෙනව නම් හොඳයි. එතකොට තමන්ගෙ ආරක්ෂාව තමන්ටම සලසා ගතහැකි. හමුදාව එනකල් බලං ඉන්න ඕනෙ නැහැ.” අරනෝලිස් කට පියාගෙන සිටියේය. ට්‍රම්ප් ලංකාව පිළිබඳ තම දැනුම පෙන්වමින් යළිත් කතා කළේය.
“දැන් බලනව අරනෝලිස් අර බස් ඩ්‍රයිවර් ළඟත් පිස්තෝලයක් තිබුණානම් මිනිහට ගුටිකන්ඩ සිද්ද වෙන්නේ නෑනේ”
“අපොයි සර් ලංකාවේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලටයි ඒවායේ කොන්දොස්තරලටයි තුවක්කු දුන්නොත් නං ලංකාවෙ ජනගහනයෙන් බාගයක්ම ඉවර වෙයි. තුවක්කු නැතුවත් ඒ අයගෙ කටේ තියෙන්නේ පතරොම්.!”
ඒ මොහොතේ නම් අරනෝලිස්ගේ “ඇමෙරිකන් කඩුව” ඇමෙරිකාවේ ජනාධිපතිට ද නොතේරුණේය.
► කපිල කුමාර කාලිංග