මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක දහහතර වැන්නයි. මෙවර ද අපේ කථානායකයා වන්නේ බ්‍රැන්ඩි ගම්පොල මහතා ය. ඔහු ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරැන්ගේ සංගමයේ සභාපතිවරයා ය. සංචාරක මාර්ගෝපදේශනයේ වසර 27ක අත්දැකීම් සපිරි ඔහු ඉතාලි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් කටයුතු කරන්නෙකි.
පොළොඟුන් සමඟ රාත්‍රියක්!
ඇල්ල ප්‍රදේශයේ සංචාරය කරද්දී වරක් භයානක අත්දැකීමකට මුහුණදීමට බ්‍රැන්ඩිට සිදුවිය. ඒ ඇල්ල adventure camp බිමේදී ය.
“මම පළවෙනි පාරට තමා එහෙට ගියේ. ඒකෙ කාමර තියෙන්නෙ එළිමහනේ. ඒ කියන්නේ වටෙන් මුකුත් ආවරණයක් නෑ. රෑ වෙද්දි අපේ ඇඳවල්වලට වැල් දිගේ පොළොංගු බහිනවා දකිද්දි මාව නිකම් හීතල වෙලා ගියා. අන්තිමට නින්ද පැත්තකින් තියලා හෝටලේ ඇතුළේ කාමර අරගන්න අපිට සිද්ධ වුණා”
පසුව දිගින් දිගටම පොළොඟුන්ගේ කරදර ගැන චෝදනා එල්ලවීම නිසා වීදුරු යොදමින් පොළොඟුන්ගේ පැමිණීම අවහිර කරන්නට හෝටල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි.
“පොළොන්ගුන්ගෙ වරදක් නෑ ඉතින්. අපිනෙ උන් ජීවත් වෙන කැළේට යන්නෙ. ඒත් පොළඟෙක් කෑවොත් විඳවන්න වෙන්නෙත් අපිටමනෙ” බ්‍රැන්ඩි කියන්නේ ය.
භාවනාවට ළැදි සුද්දෝ
ලංකාවට එන ඇතැම් සංචාරකයෝ භාවනාවට ද දැඩි කැමැත්තක් දක්වති. එවැනි සංචාරකයන්ට භාවනා ක්‍රම කියාදීම ද බ්‍රැන්ඩිලාගේ රාජකාරියේම කොටසකි.
“අපි ගොඩක් වෙලාවට භාවනා වැඩසටහන් කරන්නේ නැගෙනහිර මුහුදු වෙරළට ගියාම තමා. මොකද ඉර උදාවත් එක්ක මුහුද දිහාවට හැරිලා භාවනා කරන්න පුළුවන්. ඉතින් ඔය ආනාපානසතිය වගේ සරල භාවනා ක්‍රම මම එයාලට කියලා දෙනවා. එයාලත් බොහොම ලස්සනට එරමිණිය ගොතාගෙන වාඩිවෙලා භාවනා කරනවා”.
බ්‍රැන්ඩි කියන ආකාරයට හිරු උදාවන මොහොතේ මුහුදු වෙරළට වී භාවනා කරන විට වෙනසක්, විශේෂත්වයක් දැනේ. විශ්ව ශක්තිය පිළිබඳ අත්හදා බැලීමකට එවන් සමාධිගත භාවනාවක් කදිමය.
සුනාමියෙන් බේරුණු හැටි
දිනය 2004 දෙසැම්බර් 24 වැනිදා දාය. නත්තල පසුදාට යෙදී තිබිණ. බ්‍රැන්ඩි සිටියේ සංචාරකයන් පිරිසක් සමඟ නුවරඑළියේ ය. මුහුදු වෙරළකට ගොස් පසුදිනට යෙදෙන නත්තල සැමරීමට ඔවුන්ට වුවමනා වී තිබුණි. එහෙත් යාලේ සිට කළුතර දක්වා කිසිදු හෝටලයකින් පසුදිනට කාමරයක් සොයාගැනීමට බ්‍රැන්ඩිලාට නොහැකි විය. උතුරේ ත්‍රස්තවාදීන් සිටි නිසා උතුරු නැගෙනහිර වෙරළ ගැන සිතන්නටවත් නොහැක.
අවසානයේදී කාමරයක් හමුවූයේ කළුතර ටැන්ජරින් හෝටලයෙන් පමණි. 25 වැනිදා කළුතරට ගොස් සංචාරකයන් පිරිස එහි නැවැත්වූ බ්‍රැන්ඩි කළේ, කළුතර සිට නාවල පිහිටි තම නිවසට පැමිණ එහි නතරවීම ය.
“පහුවෙනිදා තමයි සුනාමිය සිද්ධ වුණේ. පස්සෙ මම එහෙට යන්න හැදුවත්, යන්න විදිහක් නෑ. හැබැයි මගේ ගෙස්ට්ලා ටික සේරම බේරිලා හිටියා. මොකද එයාලා හිටියේ හෝටලේ උඩ තට්ටුවේ. ඒ හින්දා ආරක්ෂා වෙලා තිබ්බා. එදා යාලෙන් කාමරයක් ලැබිලා එහේ නතර වුණා නම් අද කතාකරන්න මම මෙතැන නෑ”
දඩමස්
දඩමස් යැයි කියූ විට බොහෝදෙනාගේ සිතට එන්නේ මුව මස්, ගෝන මස් හෝ වල් ඌරු මස් ආදියයි. එහෙත් දඹුල්ල අවට ප්‍රදේශවල කිඹුලන් මරා කෑම ගැන ද බ්‍රැන්ඩි අපට තොරතුරු කීවේය.
“ඕක වෙන්නේ මාළු දැල්වලට කිඹුලෝ පැටළුණාමයි. මාළුවා වගේම කිඹුලා දන්නෙත් නෑ දැලක් දාලා තියෙනවා කියලා. ඉතින් මාළු පස්සෙ එන කිඹුලත් දැලේ පැටලෙනවා. කිඹුලා පැටළුණා කියන්නේ අර දැලටත් ලොකු හානියක් වෙනවා. ඉතින් කේන්තියටත් එක්ක මිනිස්සු කිඹුලව මරලා කනවා”.
“දියකාවෝ දැලේ පැටළුණත් එච්චරයි. එදාට ඉතින් මාළුකාරයාගෙ ගෙදර චිකන් වෙන්නේ දියකාවා තමා” ඔහු කීවේ සිනාසෙමිනි.
අවතාර පිරුණු රුයක්!
බ්‍රැන්ඩි කොහොමත් විනෝදයට බර මිනිසෙකි. ඒ බව කතාබහේ යෙදී සිටි කාලය තුළදී ද හොඳින් වැටහුණි. සංචාරකයන්ට පොඩි පොඩි කවටකම් කිරීමට ද මේ විනෝදකාමී බව ඔහුව මෙහෙයවන පාට ය.
“අපි සමහරදාට ගෙස්ට්ලා රෑ කෑම කන අතරේදී එකපාරටම ලයිට් ඕෆ් කරනවා. එහෙම කරලා සුදුපාට ලෝගු ඇඳ ගත්ත මිනිස්සු, මිනී ඇට සැකිළි වගේ ඒවා රෙස්ටුරන්ට් එකට අරන් එනවා. එවෙලෙට ගෑනු ළමයි එහෙම යටිගිරියෙන් කෑ ගහනවා...”
“තවත් වෙලාවට අපි එයාලාට කලින් රෑ කෑම කාලා ඉවර වෙලා එයාලගේ කාමරේට යනවා. එහෙම ගිහින් එයාලාගේ ඇඳුම් කොට්ටවලට අන්දලා ඔළුව වෙනුවට බැලුම් පුම්බලා ඇඳ ඇතිරිල්ලෙන් වහලා දානවා. රෑ කෑම කාලා වයින් එහෙම බීලා කාමරේට එන සුද්දෝ තමන්ගෙ ඇඳේ වෙන මිනිහෙක් ඉන්නවා දැකලා මර හඬ දීගෙන කාමරෙන් එළියට දුවනවා”
බ්‍රැන්ඩි ඒ වැඩේ කරන්නේ සංචාරක නඩයේම කාගේ හෝ සහායක් ලබාගනිමිනි. බොහෝ වෙලාවට ඔහුගේ උදව්වට එන්නේ නඩයේ නායකයා ය.
මුහුදට පැන්න කොල්ලා
වරක් බ්‍රැන්ඩිට බහරේනයේ සිට පැමිණි පාසල් සිසුන් පිරිසක් සමඟ සංචාරයේ යෙදෙන්නට සිදුවිය. වයස අවුරුදු දොළහ පහළොව වයසේ සිටි මේ සිසුන් ලංකාවට පැමිණ තිබුණේ අධ්‍යාපන චාරිකාවක් වශයෙන් තම ගුරුවරුන් ද සමඟ ය. තමාට ජීවිතේට මුණගැසුණු කරදරකාරීම සංචාරක නඩය වූයේ ඒ පිරිස බව ඔහු කියයි.
“ඒ කට්ටිය කන්ට්‍රෝල් කරගන්න මම පුදුම මහන්සියක් ගත්තා. ඒ ළමයි කියන කිසිම දෙයක් අහන ජාතියෙ කට්ටියක් නෙමේ”.
ඔවුන් පළමු දින නවාතැන් ගත්තේ බෙන්තොට බීච් හෝටලයේ ය. මහ රෑ දොළහට පමණ දැනගන්නට ලැබුණේ ළමුන් පිරිසෙන් එක් අයකු මුහුදට පැන ඇති බව ය.
“අන්තිමට හොයාලා බලද්දි මේ ළමයා හෝටල් කාමරෙන් එළියට ඇවිත් සිකුරිටි කාමරේ හැංගිලා ඉඳලා. පස්සේ සිකුරිටි මනුස්සයා මේ කොල්ලව හොයාගන්න කල් මුළු හෝටලේම ඇහැරිලා කොල්ලව හෙව්වා. එදා නිදාගන්න යද්දි පාන්දර හතරටත් කිට්ටුයි”
සුද්දන්ගේ මයිල් ගැලවූ හැටි
ලංකාවේ අයියලා සුද්දාව සුද්ද කරන්නට යොදාගන්නා අපූරු ක්‍රම ගැන අපට ඕනෑ තරම් අසන්නට ලැබේ. මේ ආකාරයට කොළඹ නුවර පාරේ මෙන්ම දඹුල්ල පාරේද හමුවන ඇතැම් කුළුබඩු වතු එසේත් නැත්නම් ස්පයිස් ගාඩ්න්වල සිද්ධ වෙන අපූරු වැඩක් ගැන ද බ්‍රැන්ඩි අපට තොරතුරු කීවේය.
“අපේ රටේ ඉන්නවා අළු කෑදැත්තා කියලා අපිටම ආවේණික වෙච්ච කුරුල්ලෙක්. එයා ඉන්නෙ වියළි කලාපෙ හින්දා සැරින් සැරේ තමන්ගේ පිහාටු බිම වට්ටලා පිහාටු අලුත් කරගන්නවා. එයා ඒක කරන්නේ කැලේ තියෙන එක්තරා ගහකට ගිහින් ඒ ගහෙන් වෑස්සෙන කිරිවල පිහාටු අතුල්ලලයි. දැන් ඔය ගෑනු අයගේ රෝම ඉවත් කරන ක්‍රීම්වලටත් ඕවා පාවිච්චි කරනවා”
මෙතැනදී සිදුවන්නේ කුළුබඩු වත්තකට එන සුදු නෝනාලාට අළු කෑදැත්තාගේ කතාන්තරයත්, ඒ ගහෙන් වෑස්සෙන කිරෙන් රෝම පහසුවෙන් ඉවත් කළ හැකි බවත් කියා අමුතු ක්‍රීම් වර්ගයක් විකිණීම ය. එහෙත් ඇත්තටම ඒ අලේපනයේ අඩංගු වන්නේ ස්වභාවික දෙයක් නොව කාන්තාවන්ගේ කකුල් සහ අත්වල රෝම ඉවත් කිරීමට යොදාගන්නා ප්‍රසිද්ධ වෙළෙද නාමයක් සහිත ක්‍රීම් වර්ගයකටම තවත් සුවඳ වර්ග මිශ්‍රකොට තැනූ ක්‍රීම් වර්ගයකි.
“එකපාරක් මා එක්ක ගියපු ඉතාලි ජෝඩුවක කෙල්ල කොල්ලගේ රැවුලට කැමති නෑ. කොල්ලටත් මේක හරිම මානසික වදයක්. කොල්ල කරපු වැඩේ ස්පයිස් ගාඩ්න් එකකින් අර ක්‍රීම් එකක් ගත්තා. අනික ඔය ක්‍රීම් එක විකුණන්නෙත් අවුරුදු දෙකක් යනකල් ගාපු තැනක රෝම වැවෙන්නෙ නෑ කියලනෙ”
පසුදින ඔවුන් නවාතැන් ගෙන සිටියේ මහවැලි රීච් හෝටලයේ ය. අවුරුදු දෙකකට රැවුල නතර කිරීමේ විස්මිත ක්‍රීම් එක ඉතාලි තරුණයා ආලේප කරමින් හුන්නේය. එක්වරම ඔහුගේ කාමරය දෙසින් ඇසුණේ මහ හඬින් කෑමොර දීමකි. බ්‍රැන්ඩි එහි දිව යන විට සුද්දාගේ මුහුණේ එකදු රැවුල් ගසක්වත් නැත. ක්‍රීම් එක හරි ගාණට වැඩ කර තිබුණි. එහෙත් සුද්දාගේ මුහුණ ඉදිමී රතුවී ඔහු වේදනාවෙන් කෑ ගසමින් සිටියේය.
“සුද්දගේ මූණ දෙක වෙලා තිබුණේ. මම කළේ ටක්ගාලා ගිහින් හෝටල් වත්තෙ තිබුණු කෝමාරිකා පැලේකින් කෑල්ලක් කඩන් ඇවිල්ලා ගෙස්ට්ගේ මූණෙ ඇතිල්ලූ එක. විනාඩි පහළොවක් විතර යද්දි ඉදිමුම සෑහෙන්න අඩුවුණා. මම හිතන විදිහට මිනිහට අර ක්‍රීම් එකෙන් ඇලර්ජි එකක් එන්න ඇති.
(තවත් රසවත් කොටසක් සමඟ ලබන සතියේ හමුවෙමු)
► රජිත ජාගොඩ ආරච්චි