2018 මාර්තු 17 වන සෙනසුරාදා

පෙරියකුලම වැව කොහොමද මෙතරම් දරුණු වුණේ ?

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 193

ත්‍රිකුණාමලය පෙරියකුලම වැවේදී ඔරුවක් පෙරළීමෙන් දෙදරු පියකු සහ දරුවන් සිව්දෙනකු ඉකුත් 11දා ජීවිතයෙන් සමුගත් අතර නිලාවේලි කොට්ඨාස අංක දෙකහි ගමක් හඬවා ඉකුත් 12දා ඔවුන් සියලු දෙනා දැයෙන් සමුගත්හ. ඉතා ශෝචනීය සිද්ධියක් වූ මෙම ඛේදනීය අවස්ථාවට ජාති - ආගම් බේද පසෙකලා දුක බෙදාහදා ගැනීමට විශාල පිරිසක් එක්වීමද විශේෂත්වයක් ගත්තේය. තමන්ගේ  සමකාලීන පාසල් මිතුරැ මිතුරියන්ට සමුදීමට පාසල් සිසුන්ද වැළ නොකැඩී මෙම අවස්ථාවට එක්වූයේ ධාරානිපාත වර්ෂාව මධ්‍යයේය. මියගිය දරුවන් සිවුදෙනා අතර මෙම සිද්ධියෙන් දියේ ගිලී මියගිය ධර්මලිංගම් තංගදොරෙයිගේ (42)  දියණිය හා ඔහුගේ බිරිඳ වන තංගදොරෙයි වසන්ති රාණිගේ බාල සහෝදරයන් දෙදෙනාගේ දරුවන්  තිදෙනෙක් වූහ.

මියගිය ධර්මලිංගම් තංගදොරෙයි පෞද්ගලික බස්රථ රියදුරකු වන අතර ඔහුට හිමි බස් රථ දෙකක්ද ඇත. මීට අමතරව කුඹුරු ගොවිතැන් කරයි. ඔහුගේ බිරිඳ වන වසන්ති රාණි මහත්මිය නිලාවේලි ප්‍රාදේශීය රෝහලේ උපස්ථායිකාවක් බව ධර්මලිංගම් තංගදොරෙයිගේ බාල සහෝදරයා වන ධර්මලිංගම් උදයකුමාර් අපට සිද්ධිය විස්තර කරමින් පැවසීය. 

අයියාගේ එක බස් එකක් සිසු සැරිය පාසල් සිසුන් ප්‍රවාහනය කරනවා. අයියාගේ අනෙක් බස් එක මම ත්‍රිකුණාමලය - පුල්මුඩේ මගීන් ප්‍රවාහනය කරනවා. සිද්ධිය වූ දවසේ ඉරිදා නිවාඩු දිනයක් නිසා අයියා ගොයම් කපලා පළමු අස්වැන්නෙන් දෙවියන් පිදීමට පෙරියකුලම් වැවේ ගල් තලාව මතට ගියා. දෙවියන් උදෙසා සකස්කළ දානය පිළිගැන්වීමට නෙළුම් කොළ කැඩීමට එතන තිබු ඔරුවක් අරන් යන්න හදනකොට මියගිය දරුවොත් ඒකට නැගලා තියනවා. මේ අනතුරින් බේරුණේ අයියාගේ බාල දුව වන තංගදොරෙයි පවුසානි විතරයි. එතන හිටිය අයෙක් දුව බේරාගෙන තිබුණා යැයි කීය.

මෙසේ මියගිය ධර්මලිංගම් තංගදොරෙයි (42) ඔහුගේ වැඩිමහල් දියණිය වන තංගදොරෙයි  සංගවි (09) ධර්මලිංගම් තංගදොරෙයිගේ බිරිඳ වන තංගදොරෙයි  වසන්ති රාණිගේ බාල සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන රත්න භවාන් සුරේෂ්ගේ දරු දෙදෙනා වන සුරේෂ් සුදේශන් (07) සුරේෂ් කේසිරාජ් (09) හා අනෙක් සහෝදරයා වන රත්න භවාන් සුගන්දන්ගේ වැඩිමහල් දියණිය වන සුගන්දන් ප්‍රනවි (07) නැමැති අයයි. සංගවි දැරිය කුඹුරු පිටිය මෙතෝදිස්ත  විද්‍යාලයේ හතර වසරේ  ඉගෙනුම ලැබූ අතර සුරේෂ් සුදේශන් (07) හා සුරේෂ් කේසිරාජ් (09) දෙදෙනා ත්‍රිකුණාමලය ශාන්ත ජෝසප් විද්‍යාලයේ දෙක හා හතර වසර වල ඉගෙනුම ලැබූහ. ප්‍රනවි දැරිය නිලාවේලි රෝමානු කතෝලික විද්‍යාලයේ දෙක වසරේ ඉගෙනුම ලැබුවාය. සුදේශන් හා කේසිරාජ් යන දරුවන් දෙදෙනාගේ පියා වන රත්න භවාන් සුරේෂ්ට ස්ථිර රැකියාවක් නොමැත. පුතුන් දෙදෙනා මියගිය සොවින් තැවෙන සුරේෂ්ට තවත් එක් දියණියක් සිටී. සුරේෂ්  හඬමින් පැවසුවේ තමන් ආර්ථික දුෂ්කරතා මැද හැදූ වැඩූ දරුවන් දෙදෙනා දෙවියන් උදෙසා පූජා පැවැත්වීමට ගොස් දෙවියන් විසින් රැගෙන ගිය බවය. ඊට වඩා යමක් කීමට ඔහුට ශක්තියක් නැත. දුක දරාගෙන හඬනවා හැර ඔහුට කීමට තවත් දෙයක් ඉතුරු නොවීය. 

මේ අතර ඉතාම සංවේදි කථාවක්ද වේ. එනම් අනතුරෙන් මියගිය ප්‍රනවි දැරියගේ පියා වන රත්න භවාන් සුගන්දන් හා ඔහුගේ බිරිඳ උපතින්ම ගොළු වූවන් වීමය. ඔවුන්ට මියගිය ප්‍රනවි දැරිය හා තවත් මාස හතක දරුවෙක්ද සිටි. උපතින්ම ගොලු වුවත් සුගන්දන් නිලාවේලි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මුර කරුවෙක් ලෙස සේවය කරයි. සුගන්දන්ගේ ආයතන ප්‍රධානියා වන එම ස්ථානයට පැමිණි සහකාර ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් එස්. පුනිදකුමාර මහතා පැසුවේ වසර 10ක් පමණ තාවකාලික මුරකරුවකු වූ ඔහු පසුව ස්ථිර සේවකයෙක් වූ බවයි. උපතින් ගොළු වුවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ගෙවතු වගා ඉතා අලංකාරවත්ව ඔහු අතින් සිදුකළ බවත් ඔහුගේ ශ්‍රවනාබාධය නිසා පැපැදියෙන් කොහෝ හෝ යනවිට මියගිය දැරිය පාපැදියේ  නංවාගෙන යන බවත්ය. “වාහනයක් හෝන් කරනවා නම් දුව තමයි තාත්තාට තට්ටු කරලා ඒ බව කියන්නේ” යැයි ඔහු පැවසීය.

ඔරුව පෙරළී දියේ ගිලෙන සිද්ධිය දුටු වැවේ ස්නානය කරමින් සිටි ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර පදිංචි නිරෝෂන් අබේවික්‍රම මහතා විසින් එක් දැරියක් බේරාගෙන  තිබුණි. 

මම අම්මත් එක්ක නාන්න වැවට ගියා. වැවේ නාමින් ඉන්න කොට ගෑනු කෙනෙක්  කෑගහනවා ඇහුණා. බලන කොට ඔරුවේ ගිය පිරිසක් ඔරුව පෙරළිලා දියේ ගිලිලා. කුඩා ගැහැනු ළමයි දෙන්නෙක් පෙරළුණු ඔරුවේ එල්ලිලා හිටියා. මම එතනට ගිහින් එක් ළමයෙක් බේරාගෙන ගොඩට ගෙනාවා. අනෙක් ළමයා බේරාගන්න යනකොට ඔරුව අතෑරිලා දියේ ගිලුණා ඔහු කීය.

මෙසේ බේරාගෙන තිබුණේ ධර්මලිංගම් තංගදොරේයිගේ බාලම දියණිය වූ තංගදොරෙයි පවුසානි (06) දැරියයි. ස්වාමියා හා දියණිය අහිමි වූ තංගදොරෙයි වසන්ති රාණිට ඉතිරිවූයේ මෙම දැරිය පමණි.

අවසන් කටයුතු සඳහා නිලාවේලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා විසින් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සම්පාදනය කරදි තිබුණි. මියගිය තංගදොරෙයිගේ හා ඔහුගේ දියණියගේ දේහයන් ඔහුගේ නිවසේ තැන්පත් කර තිබූ අතර ඉතිරි තිදෙනාගේ මෘතදේහයන් රත්න භවාන්  සුරේෂ්ගේ නිවසේ තැන්පත් කර තිබුණි. ධාරාණිපාත වර්ෂාව නොතකා මෙම නිවෙස් දෙකට විශාල ජනකායක් එක්රැස්වූ අතර මේ හේතුව නිසා එළිමහනේ තාවකාලික ආවරණ ඉදි කළද එයද ප්‍රමාණවත් නොවීය.

අවසන් කටයුතු විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඥාතින්ගේ කරමතින් නිලාවේලි වේලුර් හින්දු සුසානභුමියේදී එකම වලක මිහිදන් කෙරිණි. මිහිදන් කරන අවස්ථාවේ  සියලුම ඥාතින් ප්‍රදේශවාසීන් එක හඬින් නැගූ විලාපයේ දෝංකාරය හිස් වාතලයට මුසුවී ගියේ මළහිරු බැසයන සැන්දෑවේය.

► සටහන හා ඡායාරූප - ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව 
(පෙරියකුලම් හා නිලාවේලි සංචාරයකින් පසු)