2018 මාර්තු 17 වන සෙනසුරාදා

ආර්ථික පාත්තරේට කඩා වැටුණු මහනුවර ‍හෙණගෙඩිය

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

රටකට සිදුවන විපත් කොටස් දෙකකට බෙදීමට පුළුවන. ඒවා නම් ස්වභාවික විපත් සහ ජනතා හැසිරීම නිසා සිදුවන විපත්ය. ස්වභාවික විපත් පිළිබඳව කල් ඇතුව දැනගැනීමට බොහෝ දුරට අපහසුය. කාලගුණ ආදී අනාවැකි පැවසුවද ඒවා සියල්ල ඒ ආකාරයෙන්ම සත්‍ය ලෙස සිදුවන්නේ නැත. ඒ නිසා ස්වභාවිකව සිදුවන විපත්වලින් සිදුවන හානි සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට අපහසුය. එසේ වුවද ජනතා ක්‍රියාකාරකම් නිසා සිදුවන හානි කල් ඇතිව හඳුනාගෙන වළක්වා ගැනීම අපහසු නොවේ. ඒවා සිදුවීමට හේතුවන සාධකවල හැසිරීම අවබෝධ කර ගතහොත් මුළුමනින්ම වුවද වළක්වා ගැනීමට පුළුවන.

පසුගිය නුදුරු අතීතය සලකා බලන විට අපේ රටට පිටපිටම ස්වභාවික විපත් රැසකට මුහුණදීමට සිදුවූ බව අමතක කළ නොහැක. එම විපත්වලින් සිදුවූ ආර්ථික හා සමාජමය හානිය අතිවිශාලය. එහෙත් ස්වභාවික විපත්වලින් දිගටම සිදුවූ හානි පූරණය කිරීමට පවා අපහසුව තිබියදී පසුගියදා ඇතිවූ ජනවාර්ගික ගැටුම අපේ ආර්ථිකය තවදුරටත් පහළට ඇද දමන්නට හේතුවිය. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ හේතුවෙන් ආර්ථිකයට සිදුවූ පසුබෑම අද හෙටම නොපෙනුණත් නුදුරු අනාගතයේ දී එම අහිතකර තත්ත්වයේ ප්‍රතිඵල විද්‍යාමාන වනු ඇති බවයි.

මෙයින් ආර්ථිකයට සිදුවූ අහිතකර ප්‍රතිඵල කෙටිකාලීන වශයෙන් මෙන්ම දිගුකාලීන ලෙසද රටට බලපාන බව කිව යුතුය. මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා අඩපණ වූ ඇතැම් අංශ යථා තත්ත්වයට පත්කිරීමට බලධරයන්ට තවමත් හැකිව නැත. එසේ ක්‍රියාත්මක වුවද මුලින් තිබූ ධාරිතාවට ළඟාවීම සඳහා සෑහෙන කාලයක් බලාසිටීමට සිදුවනු ඇත. ජනතාවගේ එදිනෙදා කටයුතු දුර්වල වූ අතර එනිසාම නිෂ්පාදනය පහළ වැටුණි. කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් වසාදැමීමට සිදුවිය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා වෙළෙඳාම් කටයුතු දුර්වල විය. නිෂ්පාදන හා සැපයුම් මාර්ග අඩපණ වූ අතර වෙළෙඳ සබඳතා ද බොහෝ සේ ඇණහිටියේය. එසේම මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ පාසල් දින කිහිපයක් වසාදැමීමට සිදුවූ අතර රාජ්‍ය ආයතන මුළුමනින්ම අකර්මණ්‍ය විය. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීම නිසා ජනතාවගේ දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම නැවතුණු අතර කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය ද ඇණහිට තිබුණි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නගිමින් පැවතුණි. මේ ලියන මොහොත වන විට ඇඳිරිනීතිය ඉවත් කර තිබුණද මහනුවර දිස්ත්‍රික්කයේ කටයුතු තවම මුළුමනින්ම යථා තත්ත්වයට පත් වී නොමැත.

පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළකරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එයින් කියැවුණේ පවතින තත්ත්වය රටේ ආර්ථිකයට විශාල දුෂ්කරතාවක් ඇති කිරීමට හේතුවනු ඇති බවය. ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවගේ බහුතරය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වන අතර ඔවුන් වර්තමානයේ පවතින තත්ත්වය නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති බව නිවේදනයේ සඳහන්ය. එසේම ශ්‍රී ලංකාව පිළිබඳ ලොව සෙසු රටවල ඇති යහපත් හැඟීම් පළුදු වීම, විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිළිබඳ විශ්වාසය දුර්වල වීම නිසා රටට මුහුණපෑමට සිදුවන ආර්ථික දුෂ්කරතා අතිමහත් බවද කියැවේ.

මහනුවර ආශ්‍රිතව ඇඳිරිනීතිය පැනවීම හා හදිසි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම නිසා මෙන්ම පුද්ගලයන් බහුල වශයෙන් අත්අඩංගුවට ගැනීම පොලිස් සහ හමුදා භටයන් මගින් සිවිල් පාලනය ගෙනයාම ආදී හේතු නිසා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වූ අතර තරමක් දුරට ප්‍රගතිය කරා පියනඟමින් පැවැති සංචාරක ව්‍යාපාරයට ද කනකොකා හඬන තත්ත්වයක් උද්ගත විය. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, නෝර්වේ යන රටවල් මහනුවර නගරයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස එම රටවල පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. තත්ත්වය යහපත් නොවූ නිසා මහනුවර නගරයේ සංචාරය නොකරන ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඉල්ලීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සිදුව තිබිණ. එසේම සිද්ධිවල අලුත්ම තත්ත්වය දිනපතා වාර්තා කිරීම පිණිස නිල වෙබ්අඩවියක් ද හදිසි පණිවුඩ සේවයක් ද ආරම්භ කළේය.

මේ පිළිබඳ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක “මෙම තත්ත්වය සංචාරක කර්මාන්තයට යම් හානියක් සිදුවීමට හේතුවුවද දැනටමත් තත්ත්වය පාලනය කරමින් සංචාරක කටයුතු ඉදිරියට කරගෙන යාමට අප කටයුතු කරනවා ඒ වගේම අපි හොඳට තත්ත්වය නිරීක්ෂණය කරනවා” යනුවෙන් පැවසීය.

කෙසේ වුවද 8 දා පමණ වන විට මෙරට සංචාරක හා හෝටල් කර්මාන්තවලට යම් බලපෑමක් ඇතිවූ අතර හෝටල් කාමර වෙන්කරගෙන තිබූ සංචාරකයන් ඒවා අවලංගු කිරීමටද පෙළඹුණු බවක් දක්නට ලැබිණ. තත්ත්වය දුරදිග යාම වැළැක්වීම සඳහා නිවේදනයක් නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්තට සිදුවිය. එහි මෙසේද සඳහන් විය.

“ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකයන්ට සංචාරය  කරන්නට ලෝකයේ ඇති වඩාත් ආරක්ෂිත ගමනාන්තයක්. නීතිය හා සාමය හොඳින් ක්‍රියාත්මක වී මේ තත්ත්වය පිටුදකින්න කටයුතු කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ අභ්‍යන්තර තත්ත්වය මුල්කරගෙන කිසිදු සංචාරයක් අවලංගු කරාවි යැයි අපි බලාපොරොත්තු වන්නේ නෑ.”

මෙම කනගාටුදායක සිද්ධිය නිසා අප දියත් කර තිබූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලටද බාධා ඇතිවිය. ජර්මනිය ඇතුළු යුරෝපයේ මුල්පෙළේ වෙළෙඳපොළවල් තුළ ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබූ අවස්ථාවක මෙම තත්ත්වය ඇතිවීම නිසා සංචාරක ව්‍යාපාරය ප්‍රසාරණය කිරීමේ අපගේ සැලසුම්වලට සිදුවූයේ බලවත් හානියකි.

විශේෂයෙන් වර්ෂයේ පෙබරවාරි සහ මාර්තු යන මාසවල සැම වසරකම වැඩිපුර සංචාරකයන් පැමිණෙන නිසා මේ කාලයේ මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වීම විශාල ගැටලුවක් විය. 2017 පෙබරවාරිවල සංචාරක පැමිණීම 197,517 ක් වූ අතර මාර්තුවල පැමිණි සංඛ්‍යාව 188,076 කි. මේ වර්ෂයේ මෙම සංඛ්‍යාලේඛන ඉක්මවීමට සැලසුම් කර තිබූ නමුත් ඒ සියල්ල අසාර්ථක වනු ඇත. පසුගිය වසරේ පැමිණි සමස්ත සංචාරක සංඛ්‍යාව ලක්ෂ 21 ඉක්මවා ගොස් තිබුණු අතර මේ වසරේ ජනවාරි මාසයේ පැමිණීම 2017 වසරට සාපේක්ෂව සියයට 12.6කින් ඉහළ ගොස් තිබුණි. එහෙත් මාර්තු, අප්‍රේල්වල එම තත්ත්ව පහළ යනු ඇතැයි සංචාරක මඟපෙන්වන්නෝ පවසති.

මෙම අර්බුදකාරී වාතාවරණය අපේ කොටස් වෙළෙඳපොළටද අහිතකර ලෙස බලපෑ බවක් දක්නට ලැබිණ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උද්ගත වූ අයහපත් දේශපාලන තත්ත්වය නිසා අපේ කොටස් වෙළෙඳපොළ දුර්වල වෙමින් පැවැති අතර බලවත් පරිශ්‍රමයකින් එම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටියදී පාත්වූ මෙම “හෙණගෙඩිය” නිසා යළිත් මුලටත් වඩා පහළට ඇද වැටුණි. විදේශ සමාගම් තම කොටස් ඉවත් කර ගැනීම සහ ආයෝජනය දුර්වල කිරීම නිසා එයට පෙර සාමාන්‍යයෙන් දෛනිකව පැවැති රුපියල් මිලියන 950 ක් පමණ වූ ආයෝජන මට්ටම රුපියල් මිලියන 540.1 දක්වා අඩුව ගොස් තිබේ. මෙය නිවැරදි කිරීමට තවත් සෑහෙන කාලයක් ගතවනු ඇති බව කොටස් වෙළෙඳපොළ තැරැව්කාර විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම ආණ්ඩුව හදිසියේම සමාජ වෙබ්අඩවි අවහිර කිරීම නිසා ආර්ථිකයට මෙන්ම සමාජයේ නිදහස් පැවැත්මට ද අවහිර විය. ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මිලියන 5 ක් පමණ වේ. මේ අතරින් වැඩි කොටස තරුණයන් හා ව්‍යාපාරිකයන්ය. ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා සමාජ මාධ්‍ය හා වෙබ්අඩවි යොදාගැනීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව දියුණු රටවල විශේෂයෙන් සිදුවන්නකි. මෙම තත්ත්වයට හානිවීම සමහර ජාල සේවා සපයන ආයතනවලට ලාභාංශවලට අහිතකර වේ. සංචාරක ව්‍යාපාරයට අදාළ හෝටල් සහ සේවාවල බොහෝ විස්තර පළකරනුයේ වෙබ්අඩවිවලය. මෙලෙස තහංචි පැනවීම වෙළෙඳපොළට අහිතකර ලෙස බලපාන බව කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන පවසා තිබුණි.

විශේෂයෙන්ම සමාජ වෙබ්අඩවි අවහිර කිරීම අවිධිමත් සන්නිවේදනයට හෙවත් කටකතා පැතිරීමට හේතු වේ. එහිදී සමාජ ජාලාවලට වඩා වැරදි බොරු ආරංචි පැතිර යාමට ඇති ඉඩකඩ වැඩි වේ. “සත්‍ය සිද්ධි ආවරණය කළා” යනු තිරය පිටුපස යමක් සිදුවන බව උපකල්පනය කිරීමට අවස්ථාව සැලසීම බව සමාජ විද්‍යාඥයන්ගේ මතය වේ. ඒ නිසා තොරතුරු සෙවීමට දක්වන උනන්දුව වැඩි වේ. එවිට ව්‍යාජ තොරතුරු ද සත්‍ය ඒවා ලෙස දකින්නට සිදුවෙයි.

කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ “අල්ජසීරා” නැමැති වෙබ්අඩවිය මෙම සිද්ධි දාමය වාර්තා කර තිබුණේ “Sri Lanka on the brink” “amid fresh antimuslim Violence” ලෙසටය. කැනඩාවේ වෙබ්අඩවියක් මෙය 1983 හටගත් කළුජූලියට සමකර තිබුණු අතර එම වැරදි වාර්තාවල “Sri Lanka struggles to halt days of Buddhist riots” වැනි සිරස්තල යොදා තිබුණි. ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාවට හිරිහැර කරන රටක් වශයෙන් ලෝක ප්‍රජාව ඉදිරියේ හඳුන්වා දීම නිසා මැදපෙරදිග රටවල් සමඟ අපේ හොඳහිත පළුදු වන අතර එම රටවල් සමඟ අප ගෙනයන ව්‍යාපාරාත්මක බැඳීම්වලට අහිතකර වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ සැක පහළ කරති.

ෆේස්බුක් තහනම් කිරීම, වට්ස්ඇප්, වයිබර් වැනි අන්තර්ජාල පණිවුඩ හුවමාරු ජාල අක්‍රීය කිරීම නිසා ඇතැම් විදෙස් රටවල් අපේ තත්ත්වය බිහිසුණු බවට තම ජනතාවට නිවේදනය කිරීම නිසා සිදුවූ හානිය තවමත් සමනය වී නොමැත.
ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කරන ලෙස විදේශ රාජ්‍යයන් මේ වන විට අපගෙන් ඉල්ලීමට පටන්ගෙන ඇත. මේ නිසා විදේශිකයන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පීඩාවට පත්ව ඇති බව විදෙස් තානාපති කාර්යාල අවධාරණය කරයි. අමෙරිකා තානාපති අතුල් කෙෂාප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය අවහිර කිරීම සාධාරණ නොවන බවය. මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හවෙසන් පවසන්නේ මේ වන විට තහනම ඉවත් කිරීමට කාලය පැමිණ ඇති බවය. එය දිගටම තබාගැනීම රටට ජාත්‍යන්තරව අපකීර්තිය ලැබීමට හේතුවන බව හේ පෙන්වා දෙයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූයේ එක්සත් ජාතීන්ගේ ජිනීවා රැස්වීම පැවැත්වෙන දිනවල වීම නිසා අපට සිදුවූ හානිකර ප්‍රතිඵල විශාල විය. ශ්‍රී ලාංකික සුළු පිරිසක් මුස්ලිම් ජාතිකයන්ට පහරදීම, ඔවුන්ගේ ව්‍යාපාර ආදී දේපළවලට හානි සිදුකිරීම නිසා අප පිළිබඳ මානව හිමිකම් සැසිවලට පැමිණිලි කිරීමට සිටින අයට උඩගෙඩි දීමක් විය. අපට ජාත්‍යන්තර බලපෑම් තදවීමට මෙය හේතු වූ අතර අපේ රටින් ගිය සමහර අන්තවාදීන් ජිනීවා සමුළුවේදී කළ ප්‍රකාශ නිසා මෙම අහිතකර තත්ත්වය තවත් තීව්‍ර විය. මේ කාලයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ද මෙරටට පැමිණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමක් සිදුවූ බවද දක්නට ලැබිණ. මේ සියල්ලෙන්ම අපේ ආර්ථිකයට හා සමාජමය ප්‍රශ්නවලට සිදුවන්නේ අගතිගාමී තත්ත්වයක් බවක් හොඳහැටි පෙනීයයි.

ඊළඟ ප්‍රශ්නය වන්නේ මෙයින් මියගිය හා තුවාල වූ අයට වන්දි ගෙවීම, හානි වූ දේපළවලට අලාභය ගෙවීමට සිදුවීමය. මෙම ගෙවීම් ඉක්මන් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් කරනු ඇත. ඒ නිසා මෙයට පෙර සිදුවූ ස්වභාවික විපත්වලදී මෙන් මෙම පුනරුත්ථාපන කටයුතු ප්‍රමාද කළ නොහැක. අගමැතිවරයා එම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවසුවේ වර්තමාන වෙළෙඳපොළ අගය අනුව හානි වූ දේවල්වලට ගෙවීම් කරන බවය. මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම දැනටමත් ආර්ථික අමාරැකම් මැද සිටින අපේ රටට විශාල ගැටලුවක් වනවා ඇත. එහෙත් කෙසේ හෝ මෙම තත්ත්වයට මුහුණදීමට සිදුව තිබේ.

ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක පසුගියදා මාධ්‍යයට පැවසූ අදහසකින් මේ ලිපිය සමාප්ත කරමු. ඒ අනතුරු ඇඟවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය වේ.

“බලවත් රාජ්‍යවලට යම් රටක් අවනත නොවන්නේ නම්, එම රට අභ්‍යන්තරිකව දුර්වල කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඒ රටවල ස්වභාවිකව පවතින ජනවාර්ගික විවිධත්වයයි. යුගෝස්ලෝවියාවට සිදුවූ ඉරණම එයට හොඳ උදාහරණයකි. යුගෝස්ලෝවියාව සමූහාණ්ඩු හයකින් යුතු රටක් විය. ඒ රටවල විවිධ ජන කොටස් සිටි අතර ඔවුන් තුළ දැඩි මතභේද උග්‍රවීම නිසා යුගෝස්ලෝවියාව ලෝක සිතියමෙන් අතුරැදන් විය. මේ බලපෑමෙන් අපේ රටට ද ගැලවීමක් නොමැති බව විශ්වාස කරමි.”

►යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00