2018 මාර්තු 24 වන සෙනසුරාදා

රත්නපුරේට තරු හෝටලයක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

රත්නපුරය කියන්නේ මැණික්වලට බොහොම ප්‍රසිද්ධ නගරයක්. ඒ නිසාම සංචාරකයෝත් බහුල වශයෙන් රත්නපුරයට ඇදී එනවා. නමුත් රත්නපුරයට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගැනීමට සුදුසු හෝටල් තියෙන්නේ බොහොම අඩුවෙන්. විශේෂයෙන්ම තරු පන්තියේ රෙසෝට් එකක් හොයාගැනීම ගොඩක් දුෂ්කරයි. 

නමුත් ඉතා මෑතකදී ආරම්භ කරන ලද කේතුමතී රෙසෝට් එක රත්නපුරයට තිබුණු ඒ අඩුව සම්පූර්ණ කර තිබෙනවා. කේතුමතී කියන්නේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අනාගත රාජධානියක්. මෛත්‍රී බුදුන් උත්පත්තිය ලබන ස්ථානය ලෙස එය සැලකෙනවා.

රත්නපුර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයට අයිති මේ හෝටලය ඔවුන් ඉතාමත් උසස් මට්ටමින් පවත්වාගෙන යනවා.

මේ හෝටලය සුඛෝපභෝගී කාමර 14කින් සමන්විතයි. කේතුමතී රෙසෝට්හිදී පරිසර හිතකාමීත්වයට ලැබෙන්නේ විශාල ඉඩක්. හෝටලය පිටුපස ඇති සංරක්ෂිත වනාන්තරයත් නිසා සොබාදහමට ඉතා සමීප බවක් එහි යන ඕනෑම කෙනෙක්ට දැනෙනවා. සියලු කාමර උඩුමහලේ පිහිටා තිබෙන අතරම ඒවායේ බැල්කනි වනාන්තරය දෙසට මුහුණලා පවතිනවා. 

“ශ්‍රී ලංකාව තුළ හෝටලයක් නිර්මාණය කර පවත්වාගෙන යන එකම සමූපාකාර සමිතිය අපි විතරයි. අපි ඉහළ සුඛෝපභෝගීත්වයකින් යුත් කාමර දැරිය හැකි මිල ගණන් යටතේ ලබාදෙනවා.” යනුවෙන් එම සංගමයේ සභාපති එච්.ඒ. රූපසිංහ මහතා අපට පැවසුවා.

අශෝක උයන සහ නදුන් උයන ලෙස නම් කරලා තිබෙන උත්සව ශාලා දෙකකුත් මේ හෝටලයේ දකින්න පුළුවන්. ඒවායේ පිළිවෙළින් අමුත්තන් 250කට හා 350කට අසුන් ගත හැකියි. මීට අමතරව පුද්ගලයන් 45 දෙනකුට පමණ අසුන් ගත හැකි, විශේෂයෙන්ම ව්‍යාපාරික හමු සඳහා යොදාගත හැකි සම්මන්ත්‍රණ ශාලාවකුත් මෙහි තිබෙනවා.

කේතුමතී අවන්හලේ ප්‍රධාන වශයෙන්ම පිළිගැන්වෙන්නේ දේශීය ආහාර වර්ගයි. කිරි කොස් මාළුව සහ පොළොස් ඇඹුල මෙතැනදී රස බැලිය හැකි ජනප්‍රිය ආහාර වර්ග දෙකක්. ඊට අමතරව බටහිර ආහාර රැසකුත් දකින්න පුළුවන්. අවන්හලෙත් එක්වර 60 දෙනකුට ආහාර ගත හැකියි.

රත්නපුර මහ සමන් දේවාලය, දෙල්ගමු රජමහා විහාරය, පොත්ගුල් විහාරය, රත් ගඟ පුංචි දඹදිව, ඇහැළේපොළ වලව්ව, කිරින්දි ඇල්ල, බටදොඹ ලෙන, මැණික් කෞතුකාගාරය, සිංහරාජය, නාච්චිමලේ, වවුල්පනේ ගුහා, දිවා ගුහාව වගේ බොහෝ තැන්වලට කේතුමතියේ සිට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.

♦  සනත් වීරසූරිය