2018 මාර්තු 24 වන සෙනසුරාදා

දවසින් දවස දූෂණය කරන කුමාරි

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 275

“අපි මාසෙකට දෙතුන් පාරක් යාළුවෝ කීපදෙනකුත් එක්ක මෙතනට නාන්න එනවා. මෙතන හරිම නිදහස්. සතියේ දවස්වලට නම් සෙනඟත් අඩුයි. ඒ නිසා විනෝදෙන් නාගන්න පුළුවන්. කාලෙකට ඉස්සර මෙතන මේ තරම්වත් ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නෑ. ගමේ අය විතරයි නාන්න ආවේ. ඒ කාලෙ දැන් වගේ වටපිටාව අපිරිසුදු වෙලා තිබුණෙත් නෑ. හරිම ලස්සනයි.”

අපට එලෙස පැවසුවේ අවිස්සාවේල්ලට නුදුරු පුවක්පිටිය කුමාරිඇල්ල අසල දී හමුවූ තරුණයෙකි. ඔහු අවිස්සාවේල්ලේ චරිත් ප්‍රියදර්ශනයි. ඔහුට අමතරව තවත් 7 – 8 දෙනකුම දියඇල්ලේ සොඳුරු පරිසරය විඳගනිමින් විනෝද වනු අපට පෙනුණි. ඒ අතරින් සමහරු අත මත්පැන් බෝතල් ද තිබෙනු දැකගත හැකි විය.

සතියේ දිනවල එලෙස වුවද සති අන්තවල සිය ගණනක පිරිසක් වාහනවලින් කුමාරිඇල්ලෙන් දිය නෑමට පැමිණෙති. මේ වාහන නතර කිරීමට නියමිත ස්ථානයක් නොමැති නිසා ඒවා නැවැත්වීමද ඒ දිනවලට ප්‍රශ්නයක් බවට පත් වේ.
අප කුමාරිඇල්ලට පැමිණියේ පුවක්පිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටින් දිවෙන තුම්මෝදර මාර්ගයේය. මේ පාරේ කි.මී. 4ක් පමණ ගොස් සිරිසඳ ප්‍රදේශයේ හේවායින්න මාර්ගයේ හැරී යා යුතුය. දියඇල්ලට හැරෙන ස්ථානයේ සබරගමු පළාත් සභාව විසින් සවිකළ නාමපුවරුවක් දැකගත හැකිය. රබර් වතුවලින් පිරි කඳුවැටිවලින් උපත ලබන අඹන්ගම ඔයේ දියදහරින් මේ දියඇල්ල නිර්මාණය වී තිබේ. පසුව මේ දියදහර කැලණි නදිය පෝෂණය කරයි. කොළඹ දිස්ත්‍රික්කයට අයත් දියඇලි හතරකි. ඒ දියඇලි හතරම කැලණි ගංඟාවේ ජලපෝෂක ප්‍රදේශයට අයත්ය. කුමාරිඇල්ල, තුම්මෝදර දඹෝර ඇල්ල, රන්මුදු ඇල්ල හා ඉලුක්ඕවිට ඇල්ල උඩ ඇල්ල ඒ දියඇලි හතරයි.

අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කොස්වත්ත ග්‍රාමනිලධාරී වසමට අයත්ව ඇල්ල පිහිටා ඇත. එය මීටර් 4ක පමණ උසින් යුත් කුඩා දියඇල්ලකි. නමුත් එය පිහිටා ඇති වටපිටාව ද සමඟ ගත්විට ඉතා සුන්දර පරිසරයක් දැකගත හැකිය. වනතුරු මැදින් ගල්පර්වත අතරින් ජල තටාක මවමින් ගලාබස්නා දියදහර පළිඟු මෙන් පිරිසුදුය. එහෙත් ඇල්ල අවට වටපිටාව අපිරිසුදු කරමින් විනාශ කරන්නේ එහි සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන මිනිසුන්ම විසින් වීම කනගාටුවකි.

“මෙතැනට නාන්න එන අය හුඟදෙනෙක් ගල්පර්වත උඩ ඉඳන් අරක්කු, බියර් වගේ දේවල් බොනවා. දැන් මේගොල්ලන්ට බයිට් දෙන්න අවට බයිට් කඩ දෙක තුනකුත් දාලා. බීලා ඊටපස්සේ තමයි නාන්නේ. පසුගිය කාලයේ බීමත්කම නිසා ජීවිත කීපයක්ම විනාශ වුණා. සමහරු කෑම පාර්සල් අරන් ඇවිත් කනවා. ඒ මොනවා කළත් කමක් නෑ. ඉතිරිවන කසළ ආපහු අරන් යනවා නම්. වැඩි දෙනෙක් කරන්නේ අරක්කු බෝතල්, බියර් ටින්, ලන්ච් බොක්ස්, ෂොපිං බෑග් හැමතැනම වීසිකරන එක.” අපට හමුවූ ගම්වැසියෙක් කීවේය.

වසර කිහිපයකට පෙර ඇල්ලට පිවිසෙන ස්ථානය අසල සීතාවක ප්‍රාදේශීය සභාවෙන් නාමපුවරුවක් සවිකර තිබුණත් අධික වැසි කාලයක ගල් පර්වතයක් නායයාම නිසා එය විනාශ වී තිබේ. ප්‍රාදේශීය සභාවෙන් අවුරුද්දකට වරක් මේ අවට ශ්‍රමදාන මාර්ගයෙන් පිරිසුදු කරයි. නමුත් දිනපතාම අපද්‍රව්‍ය දැමීම නිසා පරිසරය අවලස්සන වීම වැළැක්වීමට එය හේතුවක් වී නැත.

ඇල්ලට බහින තැන මහාමාර්ගය අවට නොහික්මුණු මිනිසුන්ගේ හැසිරීමට සාධක ඕනෑ තරම්ය. වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, දවටන, පෙට්ටි ඒ අවට හැමතැනකම විසිරී තිබේ. අප යන විට ඇල්ලට පැමිණි තරුණයන් කිහිපදෙනෙක් කසළවලට ගිනිතබමින් විනාශ කිරීමට උත්සාහ කරනු පෙනුණි.

“මෙතන පරිසරය පිරිසුදුව තබාගන්න කියල බෝඩ් කීපයක්වත් සවිකළොත් විනාශය ටිකක් හරි අඩුවේවි. අපේ අයට ඉතින් හැමදෙයක්ම ඇඟිල්ලෙන් ඇනල මතක් කරන්න එපායැ.” ඒ අතර සිටි පුවක්පිටියේ ජයසිරි මනමේන්ද්‍ර පැවසුවේය.

දියඇල්ල අසල ජල තටාකවලද බියර් ටින්, වීදුරු බෝතල් දැකගත හැකිය. වීදුරු කටු ඇනීමෙන් ස්නානය පිණිස පැමිණෙන අයට තුවාල සිදුවීමටද ඉඩ තිබේ.

කුමාරිඇල්ලේ ජලය වැටෙන්නේ පර්වතවලින් සැදුණු ගැඹුරු ජල තටාකයකටය. එය කුමාරිවළ නමින් හැඳින්වේ. සීතාවක රාජධානියේ රජ කළ පළමුවැනි රාජසිංහ රජුගේ (1581 – 1593) දියණියක වූ කුමාරි මෙහි දිය නෑමට පුරුදු වී සිටි බවත් ඇය දිනක් මේ වළට වැටීමෙන් මරණයට පත්වූ බවත් ජනප්‍රවාද සඳහන් කරයි. එයට කුමාරිඇල්ල නම ලැබී ඇත්තේ ඉන් පසුව බව පැවසේ.

දියඇල්ල නිර්මාණය වන අඹන්ගම ඔය පිට්ටුකන්ද හා දුන්කොළහේන කඳුවලින් ගලා එන ජලධාරාවලින් පෝෂණය වේ. හේවායින්න ප්‍රදේශයෙන් ගලා එන අතුඇළක් ද එයට එකතු වේ. මෙසේ ගලායන ඔය පුවක්පිටිය ප්‍රදේශයේ දී ඉලුක්ඕවිට සිට ගලාබසින තවත් ඇළකින් ද පෝෂණය ලබයි.

බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී මේ අවට තිබුණු නිවර්තන තෙත් වනාන්තර කපාදමා තේ වගාකර තිබේ. ඊට පසු එය සෙල්වකන්ද නම් රබර් වතුයාය බවට පත් විය. අද තැනින් තැන රබර් වගාව ද ගලවාදමා අන්නාසි වැනි බෝග සිටුවනු දක්නට පුළුවන.

රබර් වතු මැදින් ගලායන ඔය දෙපස ඇත්තේ වනවදුලින් ගැවසුණු වටපිටාවකි. බට, උණ, කැන්ද, කොස්, දියනා, පුවක්, අඹ, සිහල දෙල්, ඇල්ස්ටෝනියා, කිතුල්, ගැඩුඹ ආදී ශාක වර්ග වැවී ඔය දෙපසට සෙවණ සලසයි. බුලත්හපයා, දණ්ඩියා, වැලිගොව්වා ඇතුළු මිරිදිය මත්ස්‍ය විශේෂ රාශියක් මෙහි දිවිගෙවති. සබන් සහ ෂැම්පු බහුලව ජලයට මිශ්‍රවීමත් ජලය අපිරිසුදු වීමත් මෙම මසුන්ගේ පැවැත්මට ද තර්ජනයක්ව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට ආභරණයක් වැනි මේ සුන්දර පරිසරය විනාශ නොකර රැකගැනීම අත්‍යවශ්‍යව පවතී. ඉලුක්ඕවිට සීතාවක උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ ද මෙයට නුදුරිනි. ප්‍රාදේශීය සභාවෙන් සංචාරකයන් දැනුම්වත් කිරීමේ නාමපුවරු සවිකිරීමද අවශ්‍යය. එමෙන්ම මෙම සොඳුරු වටපිටාවට පැමිණෙන සංචාරකයන් ද බීමත්ව හැසිරීම වෙනුවට එහි අලංකාරත්වය විඳගැනීම අරමුණු කරගෙන පැමිණීම වඩාත් යහපත්ය.

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : සුමුදු හේවාපතිරණ 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00