මෙරට ත්‍රිරෝද රථ කුලී රිය සේවාව තුළ එක් කාලයකදී වැඩිපුර ගණන් අය කිරීමේ මාෆියාවක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් හිතු හිතු ගණන් අයකිරීම නිසා මගීන් ලක්වූයේ දැඩි අපහසුතාවයන්ටය. නමුත් පසුගිය කාලයේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවීම හා මීටර් ක්‍රමයක් ඇතිවීම නිසාත් මේ තත්ත්වය පසුගිය කාලයේ දී උඩු යටිකුරු කරවීමට සමත් වී තිබිණි.
මෙතෙක් කල් පැවති මෙම මීටර් කුලී ක්‍රමයෙන් ලබන (26) සඳුදා සිට ඉවත් වීමට ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් තීරණය කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ත්‍රිරෝද රථ අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලා තිබූ සහන නොලැබීම එයට හේතුව බවයි.
ත්‍රිරෝද රථවලට මීටර් ක්‍රමයක් හඳුන්වා දෙමින් සමාගම් කිහිපයක් විසින් මෙම ටැක්සි සේවය අරඹන ලද අතර බොහෝ දෙනකු සිතුවේ මෙය ආරම්භයේදීම මියයනු ඇති බවයි. නමුත් එහි ගාස්තු ක්‍රමය නිසා මගීන් ඒ කෙරෙහි දැඩි ලෙස ආකර්ෂණය වූ අතර මීටර් ත්‍රිරෝද රථ හිමියන්ගේ ආදායම ද ඉහළ ගියේ ඔවුනට වැඩියෙන් හයර් ලැබීම නිසාය. මගීන්ගේ ආකර්ෂණය දිනූ මෙම මීටර් කුලී රථ සේවාවෙන් ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් ලබන සඳුදා සිට නැවතත් පුරැදු ක්‍රමයටම සේවය ලබාදීමට තීරණය කර ඇත්තේ දැනට පවතින නඩත්තු ගාස්තු ඉහළ යාමේ තරමට ආදායම නොලැබීම නිසාය.
කෙසේ වෙතත් මීටර් කුලී රථ ත්‍රිරෝද සේවාවෙන් සේවය ලබාගත් බොහෝ දෙනකු ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයට සිය අප්‍රසාදය පළ කර ඇති අතර එම ත්‍රිරෝද රථ හිමියන් පෙන්වා දෙන්නේ තමන්ගේ ඉල්ලීම් ඉටුනොවීමේ තත්ත්වය තුළ මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවය.
මේ සූදානම පිළිබඳව ත්‍රිරෝද රථ හිමියන් සහ ත්‍රිරෝද රථ සංගම් කිහිපයකින් අපි කරුණු විමසුවෙමු.
චමිල ක්‍රිෂාන්ත - බොරැල්ල
මම දැනට අවුරුදු දහයක් විතර ඉඳන් මේ කර්මාන්තයේ යෙදිලා ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි, දැන් මේ කර්මාන්තය කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේවාට දාන අමතර කොටස්වල මිල එහෙම වැඩිවෙලා තියෙනවා. ඒ ගැන බලධාරීන්ගෙන් ත්‍රිරෝද රථ සංගම් විසඳුමක් ඉල්ලා තිබුණත් ඒවාට නිසි විසඳුමක් ලබාදීලා නෑ. මීටර් ක්‍රමයට දුවන කොට ලාභ මෙන්ම පාඩුවෙන අවස්ථාත් තියෙනවා. මීටර් ක්‍රමය නැතිවුණා කියලා ඒ හම්බවෙන හයර්වල අඩුවක් වෙන එකක් නෑ. මීටරේ තිබිලා දුවනවට වඩා මීටරේ නැතුව දුවන එක හොඳයි කියලා තමයි මගේ අදහස. මීටර් ක්‍රමයට දිව්වා කියලා වැඩිපුර හයර් හම්බවෙන්නෙ නෑ. කොහොමත් හයර් තියෙන කෙනාට හයර් තියෙනවා.
ජී.එම්. විජේරත්න - පානදුර
මීටරේ අයින් කරලා ත්‍රිරෝද රථ ධාවනය කරන එකේ කිසි තේරුමක් නෑ. මීටරේ තියෙනවද අහලා තමයි ගොඩක් අය මේ ත්‍රිරෝද රථවලට ගොඩවෙන්නෙ. අනික මීටරේ නැති කාලේ ජනතාව නොයෙක් අවස්ථාවලදී අපිත් එක්ක වාද විවාද කරපු අවස්ථා ඕන තරම් තිබුණා. නමුත් මීටරේ දැම්මට පස්සෙ එහෙම වුණේ නෑ. අමතර කොටස්වල මිල වැඩියි තමයි. නමුත් එහෙම කියලා ත්‍රිරෝද රථයේ මීටරේ ගලවලා දුවන එක ඒකට විසඳුමක් නෙවෙයි. මීටරේ ගලවලා හයර් කරන එකට අපේ කිසි කැමැත්තක් නෑ.
►හසිත් අංජන
සේයාරූ / සමන්ත විල්තෙර