අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය ලහි ලහියේ සැලසුම් කරමින් සිටී. එයින් අනතුරැව ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමෙන් සිටින බව වාර්තා වෙයි. මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රධානම තනතුරු දෙක වන අගමැති හා ජනාධිපති තනතුරු අභියෝගයට ලක්වෙමින් තිබෙන බවයි. මන්ත්‍රීවරුන් තම වැඩපිළිවෙළට නතුකර ගැනීම සඳහා ආණ්ඩුව තුළද ඉන් පිටතද විවිධ පාර්ශ්ව දැඩි වෙහෙසක නිරතව සිටී. මේ වනවිට රටේ ප්‍රධාන තම මාතෘකාව බවට පත් වී ඇත්තේ මෙම බල අරගලයයි.
දිවා රෑ නොබලා සාකච්ඡා පවත්වමින්, වරදාන ප්‍රදානය කරමින් තම ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කරන අමාත්‍ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට රටේ සෙසු ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කිරීමට උනන්දුවක් නැත. තම බලය රැක ගැනීම සඳහා උපරිම ලෙස ධෛර්ය දක්වන බවක් පෙනන්නට තිබේ. පාර්ලිමේන්තුව රැස්වුවද පළාත් සභාව රැස්වුවද වැඩි වශයෙන් කතා කරන්නේ මෙම දේශපාලන ප්‍රශ්න ගැන මිස රට සංවර්ධනය කිරීම සඳහා නොවේ. ආර්ථිකය ගොඩනගා ගෙන ජනතාවට සමෘද්ධිමත් අනාගතයක් උදා කිරීමට උනන්දුවක් දක්වන බලධරයකු නොමැත. මෙම පරිසරය මත රටේ ආර්ථික තත්ත්වය දවසින් දවස පහළට ඇද වැටෙමින් පවතී. පක්ෂ ගැන උනන්දුවක් දක්වන දේශපාලනඥයන් මිස රට ගැන උනන්දුවක් දක්වන පාලකයන් බිහිව නොමැති වීම ජනතාවගේ අවාසනාවය.
මෙම රට ගොඩනැගීමේ අපහසුතාවයක් නොමැත. සම්පත් නිසි ලෙස කළමනාකරණය කර අවශ්‍ය ඉලක්කවලට යොමු කිරීමට හැකිනම් රට සංවර්ධනය කිරීමට අපහසු නැති බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. රටේ ආර්ථික වර්ධන වේගය සුළු වශයෙන් හෝ යම් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව කියයි. එහෙත් ආර්ථික වර්ධනය ප්‍රසාරණය කිරීම් සඳහා ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව පෙනෙන්නට නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ දේශපාලන අස්ථාවරභාවය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා රජයට ආර්ථිකය වර්ධනය කිරීමට අවකාශයක් නොමැති වීමය. දේශපාලන බල අරගලය අංක 1ට යොදාගෙන තිබෙන අතර සෙසු සියලු කරුණු දෙවැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකා ජාතික මූල්‍ය අන්තර්ගත උපාය මාර්ග සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා සිටියේ දේශපාලන ස්ථාවරභාවය නොමැතිව ඉදිරියට ගිය කිසිදු රටක් ෙද්ශපාලන ස්ථාවරභාව ෙනාමැතිව රටකට ඉදිරියට යා ෙනාහැකි බවය. පිළිබඳ තමා නොදන්නේ යැයි ඔහු පවසා තිෙබ්. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දේශපාලන ස්ථාවරභාවය ඉතා වැදගත් යැයි ඔහු ප්‍රකාශ කරයි. රට යම් ප්‍රගතියක් ලබාගෙන ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන අතර තමත් කළයුතු දේ බොහෝ ඇතැයි ඔහු අවධාරණය කර තිබේ. වඩාත් වැදගත් කරැණ නම් ප්‍රගතිය අත්පත් කරගෙන තිබෙන මාර්ගවල ගමන් කිරීම වන අතර මාර්ගයෙන් පිට පැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු කියයි.
මහ බැංකු අධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පෙනී යනුයේ අපේ රට නිරායාසයෙන් යම් ප්‍රගතියක් ලබාගෙන ඇති නමුත් නිසි මාර්ගයකට අවතීර්ණ කරගතහොත් රට සංවර්ධනය කිරීමට අපහසු නොවන බවයි. මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ රට දේශපාලනමය වශයෙන් ස්ථාවර කරගෙන ආර්ථික සංවර්ධනයට උනන්දුවක් දැක්විය යුතු බව මිස අහිතක් නොවේ.
පක්ෂ දෙකක සංයුතියෙන් පවත්වා ගෙන එන මෙම ආණ්ඩුවේ ආර්ථික මෙන්ම සෑම ප්‍රශ්නයක් ගැනම එකඟතාවක් නොමැති බව පෙනී යයි. ජනාධිපති එක් දෙයක් කියනවිට අගමැති පවසන්නේ එයට වෙනස් දෙයකි. අගමැති පිහිට වූ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන ජනාධිපති වෙනත් ආර්ථික කළමනාකරණ සභාවක් පිහිටුවා ගනී. එහෙත් මෙම කමිටු දෙකෙන්ම සිදු වූ යහපතක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ ආර්ථික කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන් තමා අතට ගන්නා බවය. එහෙත් මුදල් අමාත්‍යංශය ඇතුළු ආර්ථිකයට සම්බන්ධ සියලුම අමාත්‍යංශ ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් යටතේය. එසේනම් ආර්ථිකය කළමනාකරණය කිරීමේදී විවිධ පරිපාලන ගැටලු ඇති වීම වළක්වා ගත නොහැකිය.
දෙපාර්ශවයම තම දේශපාලන ස්ථාවරභාවය ගොඩනගා ගැනීමට කුළල් කා නොගෙන රට සංවර්ධනය කිරීමට එක්ව කටයුතු කළ යුතු බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. එසේ නොකරන තාක් කල් රට අගාධයට යාම වැළැක්විය නොහැකිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න
රජයක් පත්කර ගන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසාය යන්නය. රජය රටක ඇති විශාලතම ආයතනය වේ. ඒ මගින් රටේ ජාතික සමාජ ආරක්ෂාව, ආර්ථිකය හා සුබසාධනය දියුණු කිරීම පරමාර්ථය වෙයි. මෙම කාර්යයන් සඳහා විශාල මුදලක් වැය වෙයි. ඒ සියල්ල ජනතාවගේ මුදල්ය. රජය ආදායම සොයන්නේ ජනතාවගෙන් වීම එයට හේතුවයි. එහෙත් මෙම පරමාර්ථය තුළින් සමාජ සහ ආර්ථික සංවර්ධනයක් සිදු නොවේ නම් රජයට ලැබෙන ජනතා මුදල් වැය කිරීමෙන් සිදුවන්නේ නාස්තියක් පමණකි.
යම් ආණ්ඩුවක් සාර්ථක වන්නට නම් ජනතාවගේ සහ රජයේ අරමුණ එකක් විය යුතුයි. එහෙත් අද පවතින රජයේ අරමුණ හා ජනතාවගේ අරමුණ හාත්පසින් එකිනෙකට වෙනස් බව දක්නට ඇත. රජයක ප්‍රධාන අරමුණ වන්නේ ජනතා මෙහෙවර ඉටු කිරීමයි. මෙයට පෙර පැවති රජවලින් අඩු වැඩි වශයෙන් ඒ අරමුණ යම් පමණකට හෝ ඉටු වූ බව කිවයුතුයි. එහෙත් වර්තමාන රජයෙන් එම වගකීම නිසියාකාරව ඉටු වූවාද යන්න විවාදයට බඳුන්විය යුතු කරුණකි.
වර්තමාන රජයේ සංයුතිය දුර්වලය. දියාරුය. මේ සංයුතිය තුළ අද වනවිට විශාල බල අරගලයක් නිර්මාණය වෙමින් පවතී. පක්ෂ පදනම හා ඡන්ද පදනම දුර්වල විය. එ.ජා.ප.ය ක්‍රමයෙන් විශාල ලෙස පසු බෑ බව පසුගිය ඡන්ද ප්‍රතිඵලවලින් සනාථ විය. ජනාධිපති නියෝජනය කළ අත හා බුලත් කොලය යන ලාංඡන සහිත පක්ෂද අතිශයින් දුර්වල වූ බව පෙනෙන්නට තිබුණි. මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය සමඟ සෙසු පක්ෂ මුහුණ දුන් බල අරගලය ඊළඟට ප්‍රධාන විය.
කෙසේ වුවද වර්තමානයේ පවතින බල අරගලය මුලින්ම ආරම්භ වූයේ 2015 මුල යහපාලන රජය පිහිට වූ දින සිටය. ලැබුණු ඡන්ද ප්‍රතිඵල එයට හේතු විය. පොදු පෙරමුණු ආණ්ඩුවට ආසන 96ක් හා එ.ජා.පයට 106 වශෙයන් ලැබුණු අතර පක්ෂ දෙක අතර බලයේ වෙනස ආසන 10ක් පමණ විය. එසේම 6 දෙනකු සම්බන්ධ කරගත හැකි වුවහොත් ඒ පාර්ශවය ජය ලබයි.
එසේම පත් වූ රජය හා ජනාධිපති අතරද අර්බුදයක් ගොඩනැගී තිබේ. රජය එ.ජා.ප අගමැති මෙහෙයවන නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තීන්දු තීරණ ගැනීමේදී ගැටලු නිර්මාණය වී තිබේ. මෙම කණ්ඩායම් දෙකේ ප්‍රබලයන් මේ වනවිට තම තනතුරු රැක ගැනීමේ උත්සාහයක නිරතව සිටී. ඒ මිසක රටේ ප්‍රශ්නවලට විසඳුමක් සෙවීමට ඔවුන්ට කාලයක් නිදහසක් නොමැත. අගමැතිවරයා ඔහුට එරෙහිව ඉදිරිපත් වන බව කියන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට සූදානම් වේ. එ.ජා.ප කණ්ඩායම තම නායකයාට අගමැති තනතුර නැති වේ යැයි බියෙන් පසුවේ. ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීමේ අභියෝගයට ලක්ව සිටී. මේ දෙගොල්ලොම ගිනි කබලක් මත සිටින අතර වෙනත් දෙයක් කිරීමට ඉඩක් නැත.
මේ අතරම පොදු විපක්ෂය රජයට එරෙහිව ගෙනයන වැඩ පිළිවෙළ තව දුරටත් ශක්තිමත් කර ඇත. ජනාධිපති, අගමැති හා සමස්ත රජයම දැඩි පීඩනයකට ලක්කර තිබේ. දේශපාලනමය වශයෙන් අසංහිඳියාවක් ගොඩ නැගී තිබේ. දේශපාලන සැකය නිසා අනාගතය නිශ්චිතව නොපෙනීම විශාල ගැටලුවකි. ඒ අතර මහින්ද රාජපක්ෂවාදීන් තමන්ට නඩු වැටේයැයි බියෙන් ඒවා වළක්වා ගැනීමට උත්සාහ ගන්නා බව පෙනේ.
අද සෑම දේශපාලන පක්ෂයක්ම ඉබාගාතේ යාමක් සිදුවන බව කිව යුතුයි. හෙට කුමක් සිදු වෙනවාද කියා දෙපාර්ශවයම නොදන්නා අතර 20-20 ක්‍රිකට් තරගයක් මෙන් අපරික්ෂාකාරී ලෙස කටයුතු සිදුවෙයි. කවුරු ගන්නා තීරණ ක්‍රියාත්මක කරනවද කියලා බලධාරීන් නොදනී. අද ගන්නා ප්‍රතිපත්තිය හෙට වෙනස් කිරීම නිසා රටේ ආර්ථිකය පහළ වැටී ඇත. කිසිම ආර්ථික හෝ පරිපාලන සැලසුමක් ක්‍රියාත්මක නොවේ. වංචා දූෂණ සෙවීම ගැන නිතර කතා කළත් එසේ සෙවූ දෙයක් ගැන හරිහැටි කිව නොහැකියි. එයට වඩා තවත් විශාල සොරකම් සිදු වේ. මේ නිසා තවත් සොරකම් වංචාවලට නොපැකිල ඉදිරිපත් වන අය සිටී. තීරණ නොගෙන ඇද ඇද සිටීම රටේ ආර්ථික සංවර්ධනයටද සංහිඳියාවටද බාධාවකි. රජයේ අස්ථාවරභාවය නිසා ආයෝජකයන් රටට පැමිණීම අවම වී ඇත. පැමිණි අයද රඳවා තබා ගැනීම දුෂ්කරය.
මේ වනවිට රජය නිරතව ඇත්තේ තම ස්ථාවරභාවය රැක ගැනීමේ උත්සාහයකයි. රාජ්‍ය පාලනය වෙනුවට දේශපාලන කටයුත්තක තමා නිරතව සිටින්නේ. රජය පත් කළේ රාජ්‍ය පාලනය කිරීමට මිස දේශපාලනයේ නිරත වීමට නොවෙයි. රටේ සියල්ල නිදැල්ලේ යන අතර නිසි මුදල් පාලනයක්, ආනයන අපනයන පාලනයක්, ආයෝජන ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් හා නිසි විදේශ ප්‍රතිපත්තියක්ද නොමැත. උද්ධමනය ඉහළ නැගීම රුපියලේ විදේශ අගය පහළ බැසීම වැනි රටේ ආර්ථිකයට සෘජුව බලපාන ගැටලු පිළිබඳ ආණ්ඩුව කිසිවක් කතා නොකරන බවක් පෙනෙන්නට තිබේ. සියල්ල නිදැල්ලේ යන බව පැවසුවේ එනිසාය.
රටේ දළ දේශීය නිෂ්පාදනය ආර්ථිකය මනින සාධකයකි. 2017 දෙසැම්බර් වනවිට ඉතිහාසයේ මුල්වරට එහි අගය සියයට 1.1 දක්වා පහළ බැස තිබේ. ආර්ථික වර්ධන වේගය 5-6ට නංවන බවට කතා කළද 2017 එය සියයට 3 මට්ටම දක්වා පහළ බැස තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ ද්වීමාසික වාර්තාව අනුව ආර්ථික වර්ධන වේගය සියයට 3කි. පසුගිය දෙසැම්බර් මස එම දෙපාර්තමේන්තු මුලින්ම වාර්තා කළේ ආර්ථික වර්ධන වේගය සියයට 1.1 බවයි. එය සත්‍ය සංඛ්‍යාවයි. රජය මේ පිළිබඳ ප්‍රශ්න කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල් දත්ත අවලංගු කර යළිත් සියයට 3 වනසේ අලුත් වර්ධන වේගයක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙයට පෙර වෙනත් ආණ්ඩුවලදීද මෙවැනි තත්ත්ව ඇති වූ අතර මෙලෙස කෘත්‍රිමව නිකුත් කරන ප්‍රතිඵලවලින් රටේ නියම ආර්ථිකය ප්‍රකාශ නොවේ.
විදේශ විනිමය සොයා ගැනීම සඳහා ආයෝජන වර්ධනය කර ගැනීමට උත්සාහ නොකරන රජයේ වගකිව යුත්තන් උත්සාහ කරනුයේ බදු ගසා ආදායම එකතු කිරීමයි. පවතින බදු නිසි පරිදි එකතු කිරීමට උත්සාහයක් නොගන්නා රජය අලුත් බදු හඳුන්වා දීමට යයි. අප්‍රේල් 1 වැනිදා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට ද අලුත් බදු හඳුන්වා දීමටද රජය කටයුතු කර ඇත. මෙම බදු ආරම්භ කළවිට ජනතාව තව දුරටත් අපහසුතාවයට පත් වීම වැළැක්විය ෙනාහැකිය.දැනටමත් උපයන මුදලින් යැපෙන ප්‍රමාණයක් සෘජු සහ වක්‍ර බදු වශයෙන් ජනතාව භාණ්ඩාගාරයට ගෙවමින් සිටී. මල නොතලා රොන් ගන්නා බව අගමැති පැවසුවද මේ වනවිට මල තලන ප්‍රතිපත්තියකට අවතීර්ණ වී ඇත.
රටේ රැකියා උත්පාදනය කළ යුත්තේ නිෂ්පාදනය වැඩි කිරීම මගිනි. එසේ නොමැතිව රාජ්‍ය සේවකයන් වැඩියෙන් බඳවා ගැනීමෙන් ආර්ථිකයට අයහපතක් මිස යහපතක් සිදු නොවේ. ආර්ථිකය මෙතරම් පහළට ඇද වැටී සිටියදී රජය දැන් උත්සාහ කරනුයේ උපාධිධාරීන් ආදීන්ට තව තවත් රැකියා වැටුප් සහ දීමනා වැඩි කිරිමටයි. රැකියා ප්‍රශ්නය විසඳිය යුත්තේ ආර්ථිකයට දරා ගැනීමට හැකි ලෙසටය. දේශපාලන වාසි සලකා රැකියා අවස්ථා සැලසීම රට තව තවත් ප්‍රපාතයට ඇද දැමීමකි. සතකුගේ ඇඟේ අනවශ්‍ය ලෙස මැක්කන් වැසී සිටියොත් අවසාන ප්‍රතිඵලය වන්නේ සතා මිය යාමයි. තව දුරටත් වැටුප් ආදී පුනරාවර්ථන වියදම් සඳහා විශාල ලෙස අතිරේක මුදල් ප්‍රතිපාදන ලබා ගනිමින් අත්තනෝමතික ලෙස මුදල් වැය කරමින් සිටින්නේ කිසිදු සැලසුමකින් තොරවය. අද පවතින වාතාවරණය අනුව සිදුවෙමින් පවතින්නේ රට ප්‍රපාතයට ඇද වැටෙමින් තිබීම වන අතර මෙයට එකම විසඳුම වන්නේ ජනමතය අනුව අලුත් ආණ්ඩුවකට අවස්ථාව ලබා දීමය. එසේ නැතිව අමැතිවරැන් ඒ මේ අත ඇදීමෙන් විසඳුමක් ලබා ගත නොහැකි බව පවසමි.
►යසවර්ධන රුද්රිගෝ