2018 මාර්තු 24 වන සෙනසුරාදා

නයි කයිද රෝස් පාන්?

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

ක්‍රිකට් කියන්නේ බටහිරට මහත්වරුන්ගේ ක්‍රීඩාව බව හැබෑව. ඒත් දකුණු ආසියාවේ ජීවත්වෙන අපිට නම් ක්‍රිකට් කියන්නෙ තනිකරම උණක්, පිස්සුවක් බව පහුගිය නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී හොඳටම ඔප්පු වුණා. 

අපි මෙච්චර කල් සහළෝල උණ ගත්තු ක්‍රිකට් රසිකයෝ දැක්කේ ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයි විතරයි. ඉන්දියාවේ උන් මැච් පැරදුණාම ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගිනි තියනවා. ග්‍රවුන්ඩ් එකට බෝතල්වලින් ගහනවා. පකිස්ථානෙත් එහෙමයි. විශේෂයෙන්ම වේගපන්දු යවන සෙට් එකේ මහ මරු මූස් එකෙක් දෙන්නෙක් ඉන්නවමයි. පොඩ්ඩ බැරි වෙන්න බෑ, සුද්ධ උර්දුවලින් බැණගන්නවා. ලංකාවෙයි බංගලාදේශෙයි, ක්‍රිකට් පිස්සුව තදින් තිබ්බට යන්තම් ජාමේ බේරගෙන හිටියා. ඇත්තටම එහෙම හිටපු එකත් ලොකු දෙයක්. 

හැබැයි ඒ ජාමෙටත් පහුගිය සතියෙ යන එන මං නැතිවුණා. බංග්ලාදේශේ තමන්ගේ පිස්සුව අන්තෙකටම ගෙනිහිල්ලා මෙච්චරකල් තිබ්බ නම සහමුලින්ම නැති කරගත්තා. 

හැමෝම බංගලියොන්ට බැන්නට අපේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වැඩත් අනුමත කරන්න බැහැ. මුෂ්ෆිකර් නයා පෙන්නද්දී අපේ කට්ටිය නයි නටවන්න ගත්තා. හරියට අර මුෂ්ෆිකර් ග්‍රවුන්ඩ් එකට එද්දී ශ්‍රීලංකන් ෆෑන්ස්ලා නයි නටවන්න ගත්තා වගේ. 

ෆෑන්ස්ලා කියන්නේ ක්‍රීඩකයෝවත් ක්‍රීඩකයෝ කියන්නෙ ෆෑන්ස්ලාවත් නෙමේ කියලා ඒ දෙගොල්ලොම හරියට තේරුම් ගන්න ඕන. පිටිය මැද්දට ඇවිල්ලා සෙල්ලම් කරන ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්ට එළියෙ ඉඳන් ක්‍රීඩාව නරඹන කෙනෙක් වගේ වගකීමක් නැතුව හැසිරෙන්න බැහැ. කුසල් මෙන්ඩිස් තව පොඩ්ඩෙන් ලොකු කරදරයක පැටලෙන්නෙත් මොළේට කලින් හැඟීම ඉස්සරහට දාගන්න ගිහිල්ලයි. 

මේක කියවද්දී කාටහරි හිතෙන්න පුළුවන් බංගලියන්ගේ වැරැද්දට අපේ උන්ට බණින්නෙ ඇයි කියලා. ඇත්තටම අපේ උන් බංගලියෝන්ගේ ගොන් ආතල්වලට රිඇක්ට් කරපු විදිහ ටිකක් වැරැදියි. එතැන කිසිම වෘත්තීය බවක් තිබ්බේ නෑ. බංගලියෝ පිස්සු විකාර කරද්දී අපි අපිට හුරුපුරුදු මහත්මා විදිහට හිටියනම් අපේ උසස් බව තවත් උඩ යනවා. 

ක්‍රිකට් කියන්නේ හරි ලස්සන ගේම් එකක්. අවුරුදු ගාණක් පුරාවට අපි ක්‍රිකට් දිහා ආසාවෙන් බලන් ඉන්නේ ඒකෙ තියෙන මේ අලංකාරය හින්දමයි. ක්‍රිකට් බලන අපිට සතුටු හිතෙන්නේ අපේ ක්‍රීඩකයෝ අනිත් ක්‍රීඩකයෝ එක්ක රණ්ඩු කරගනිද්දී නෙමෙයි, කරට අත දාගෙන හිනාවෙලා කතා කරද්දීයි. එතකොටයි ක්‍රිකට් ලස්සන.

අයි.පී.එල්. වගේ ලෝකෙ හැම රටකම ඉන්න ක්‍රීඩකයොන්ට එකට එකතුවෙලා ක්‍රීඩා කරන්න ලැබිලා තියෙන අවස්ථා නිසා ක්‍රීඩකයෝ අතර සම්බන්ධතා හරිම ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නැතත් නියම ප්‍රොෆෙෂනල් ක්‍රීඩකයෙක් හැම වෙලාවෙම අනිත් රටක ඉන්න ක්‍රීඩකයෝ එක්ක සුහදතාව වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒක තමයි ක්‍රීඩාවේ ජීව ගුණය රැඳෙන්න ප්‍රධාන හේතුව. 

හැම ක්‍රීඩාවකදීම වගේ ක්‍රිකට්වලදීත් ඒ ඒ කණ්ඩායම් තම තමන්ගේ රටවල් නියෝජනය කරනවා. හැබැයි එහෙම තරග කරන්නේ එකිනෙකාට සතුරුව නෙමෙයි. සුහදතාවයෙනුයි. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් අපේ ක්‍රිකට් රසිකයන්ට එච්චර දිරවන්නේ නැති රටවල් විදිහට ප්‍රසිද්ධයි. හැබැයි නියම ක්‍රිකට් රසිකයට ඔය ඕන කණ්ඩායමක ඉන්න දක්ෂ පිතිකරුවෙක් ගහන හයකට හතරේ පාරකට අත්පුඩියක් ගහන්න තරම් සංයමයක් තියෙන්න ඕනෙ. ඒ රටක පිතිකරුවෙක් පන්දු යවන්නෙක් වාර්තාවක් තිබ්බම අත්පුඩියක් ගහන්න පුළුවන් වෙන්න ඕනෙ. එතකොටයි ක්‍රිකට් ලස්සන. එහෙම නැතුව ශකීබ් අල් හසන් කියනවා වගේ ක්‍රිකට්වලට මිරිස්, ගම්මිරිස් දාලා නෙමෙයි. 

අපි දන්නවා ලෝක රගර් පිටියේ, පාපන්දු පිටියේ, බොක්සිං පිටියේ ක්‍රීඩකයෝ ගහමරාගන්නවා. ඒ හින්දම තමා ඔය ගොඩක් ක්‍රීඩාවල රෙඩ් කාඩ් කියලා එකක් පටන් අරන් තියෙන්නෙ. විනිසුරුවරයාට හසුරැවගන්න බැරි ක්‍රීඩකයෝ, කිසිම විනය පිළිපැදීමක් නැති ක්‍රීඩකයන්ව ආපහු ක්‍රීඩාගාරයට හරවලා යවන්න විනිසුරුට පුළුවන්. සමහර වෙලාවට රෙඩ් කාඩ්, යෙලෝ කාඩ් පෙන්නුවහම විනිසුරුවරයා එක්ක ගෝරියට එන ක්‍රීඩකයොත් දකින්න ලැබෙනවා. 

බංග්ලාදේශේ විතරක් නෙමේ දකුණු ආසියාවේ ඉන්න ඇතැම් ක්‍රිකට් කණ්ඩායම්වල සමහර චාරයක් නැති හැසිරීම් හින්දා අන්තිමට වෙන්නේ ක්‍රිකට්වලටත් රෙඩ් කාඩ් වද්දගන්න එක විතරයි. එහෙම වෙච්ච දවසට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන වචනෙ නම් කීයටවත් ක්‍රිකට්වලට ගැලපෙන්නෙ නැතිවෙයි. 

►ජා 

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00