මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්වරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක පහළොස් වැන්නයි. මෙවර අපට සිටින්නේ කථානායිකාවකි. අසූව දශකයේ අගභාගයේ සිට නිල නොවන මට්ටමින් සංචාරක මාර්ගෝපදේශන කටයුතු සිදුකරන ඈ තම ගයිඩ් බලපත්‍රය ලබාගත්ෙත් මෑතකදීය. නිහතමානී වෑකඩගෙදර නම් ඈ ඉංග්‍රීසි සහ ජර්මානු භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නීය.
අපේ සමාජය තුළ සංචාරය සහ කාන්තාව අතර තිබෙන්නේ තරමක දුරස් සම්බන්ධයකි. හවස් යාමයේ ගෙදරින් එළියට නොබසින, රාත්‍රියට ගෙදර මිස අන් තැනක නවාතැන් නොගන්නා, මුළුතැන්ගෙයටම කොටුවුණු ජීවිතයක් අපේ රටේ බහුතර ස්ත්‍රියකගේ උරුමය වූහ. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම ෙවනස්ය. රාජ්‍ය පාලනයේ සුක්කානම හැසිරවීම දක්වා දුරකට අද අෑ පැමිණ සිටින්නීය. කාන්තා සංචාරක මාර්ගෝපදේශිකාවන් අමුත්තක් නොවන්නේද ඒ් සමාජ පරිවර්තනය තුළමය.
“කාන්තාවෝ මුළුගැන්විලා හිටියේ ඉස්සර කාලේ. හැබැයි දැන් ඒ තත්ත්වෙ වෙනස්. අද කාන්තාවෝ යුද්දෙටත් යනවනේ. ඉතින් ගයිඩින් කියන එක මට කවදාවත් ප්‍රශ්නයක් වුණේ නෑ.” අප කතාව ආරම්භ කළේ එතැනිනි.
ඇගේ ගම මහනුවර ලේවැල්ල ය. උඩරට සාමාන්‍යයෙන් සම්ප්‍රදායට බර අදහස් ඇති බහුතර ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් බව පොදු පිළිගැනීමයි. එහෙත් ඈ සියලු බාධා මැඩගනිමින් තම ඉලක්කය කරා යොමුවූවාය.
ඒ එක්දහස් නමසිය අසූව දශකයේ අගභාගයයි. මහවැලි ව්‍යාපාරයේ කටයුතු සාර්ථකව ඉදිරියට ඇදෙමින් තිබුණි. මහනුවර ආසන්න ප්‍රදේශය පුරා ලහිලහියේ ජලාශ, විදුලි බලාගාර ඉදිවිය. බ්‍රිතාන්‍ය ජාතිකයෝ මහවැලියේ මූලිකත්වය ගත්ත ද GTZ නම් වූ ජර්මානු තාක්ෂණික සහයෝගීතා ආයතනය ද මේ සිදුවෙමින් පැවැති වේගවත් සංවර්ධනයට තම දායකත්වය ලබා දුන්හ. ඒ වෙනුවෙන් මෙරටට පැමිණි ජර්මන් ජාතිකයෝ 300 දෙනෙක් පමණ මහනුවර අවට තැනින් තැන පදිංචි වී සිටියහ.
“ඔය කාලේ නුවර ටවුන් එකේ තමා GTZ ඔෆිස් එක තිබුණේ. ඉතින් ඒකෙ වැඩ කරන්න ආපු ජර්මන් ජාතිකයකුයි එයාගේ බිරිඳයි එක්ක තමා මම මුලින්ම ටුවර් එකක් ගියේ.”
හා හා පුරා කියා මාර්ගෝපදේශ කාර්යයන් පටන් ගනිද්දී නිහතමානීගේ වයස යන්තම් අවුරුදු විස්සක් පමණ වූවාය. ජ.වි.පෙ. කලබල නිසා විශ්වවිද්‍යාල වසාදමා තිබූ නිසා ගයිඩින්වල යෙදෙන්නට ඕනෑතරම් කාලය ඉතිරි වී තිබුණි. එහෙත් ඇයට ගයිඩ් ලයිසන් තබා ගයිඩින් ගැන අයනු ආයනු තරම් දැනීමක්වත් තිබුණේ නැත.
“ෆෝක්මන් කියන ඒ ජර්මන් ජාතික යුවල මට සම්බන්ධ කරලා දුන්නේ මගේ මාමා. මොකද මේ දෙන්න නතරවෙලා හිටියේ අපේ මාමලාගේ ගෙදර. ඉතින් පොඩි චකිතයක් තිබ්බත් මම අභියෝගය භාරගත්තා. අපි මුලින්ම ගියේ නුවරඑළියටයි. ඊට පස්සෙ අනුරාධපුරය, සීගිරිය, හග්ගල වගේ තැන්වලට ගියා.”
ඔහොම සුද්දෝ එක්ක ඇවිදිද්දි ගෙදරින් ප්‍රශ්න ආවෙ නැද්ද?
“මම නුවරනේ. ඉතින් නෑදෑයො නම් අනංමනං කිව්වා. ඒත් අපේ අම්මයි තාත්තයි පැරැණි වාමාංශික කට්ටිය. ඉතින් ඒ වගේ දේවල් ගණන් ගත්තෙ නෑ. හැබැයි මම ඉගෙන ගන්න ජර්මන් යන්න හදද්දි නම් ඒකට කැමති වුණේ නෑ.”
මාර්ගෝපදේශනය සිතූ තරම් ලේසිකාරියක් වූයේ නැත. සීගිරියට නැඟි පසු ජර්මන් සුද්දා නිහතමානීගෙන් ඇසුවේ අනුරාධපුරය ඇත්තේ කොයි කළේ දිසාවේද කියාය. එවිට උත්තර බඳිනු වෙනුවට ඈ කරන්නේ යටිතොල හපමින් ලජ්ජාවෙන් ඔළුව කැසීමය.
“අන්තිමට මට සිතියම් බලන්න පුරුදු කළෙත් ඒ ජර්මන් කපල් එකම තමා.”
ඒ ජර්මන් යුවල නිහතමානී සමඟ කොයිතරම් ළෙන්ගතු වූවාද යතොත් ජර්මනියේදී ඔවුන් මව්පියන් වු පසු එම තොරතුරුද ලංකාවේ සිටින නිහතමානී සමඟ බෙදාගන්නට, ඉඳහිට පින්තූර එවීමට අමතක නොකළහ. ඈට ජර්මන් භාෂාව ඉගෙන ගෙන තම රටට පැමිණ වැඩිදුර අධ්‍යාපනය හදාරන ලෙස ආරාධනය කළේ ද ඔවුන්ය. ජර්මන් යෑම කෙසේ වෙතත් නිහතමානී එවකට මෙහි තිබූ විල්හෙල්ම් ගයිගර් ආයතනයෙන් ජර්මන් භාෂාව හැදෑරුවාය.
“අපි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අපේ රටේ, ආසියාවේ පවුල් සම්බන්ධතා හරි ශක්තිමත්. හැබැයි බටහිර මිනිස්සු අතර එහෙම ශක්තිමත් පවුල් සම්බන්ධතා නැහැ කියලා. ඒත් ඒක බොහොම වැරදි කතාවක්. මම ජර්මන් අයගෙන් සමහර වෙලාවට අපිට වඩා ශක්තිමත් සම්බන්ධතා දැකලා තියෙනවා. ඒ ගොල්ලෝ තමන්ගේ පවුලේ සාමාජිකයන් එකිනෙකාට ගොඩක් ගෞරව කරනවා.” ඈ කීවේ තම අත්දැකීම් සිහිපත් කරමිනි.
එහෙත් පවුල් අවුල් වන අවස්ථා ගැනද අසන්නට ලැබේ.
“මට ගයිඩින්වලදී මුණගැහුණු තවත් ජර්මන් ජාතික කෙනෙක් තමයි වියෝලා. එකපාරක් වියෝලාගේ ගෙදර පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඇත්තටම කිව්වොත් එයාගේ අම්මා වෙන ආදර සම්බන්ධෙක පැටලුණා. ඉතින් වියෝලගේ තාත්තා මේකෙන් සෑහෙන කම්පාවකට පත්වෙලා හිටියේ. වියෝලා මගෙන් ඇහුවා මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා...”
නිහතමානීගේ සිහියට ආවේ බුදුදහමය. ඈ වියෝලාට බුදුදහම ගැනත් සිත සන්සුන් කරගැනීමට උපකාරී වන බුදුදහමේ සඳහන් භාවනා ක්‍රම ගැනත් කීවාය. කතාබහ අවසන් වූයේ බුදුදහම ඉගෙනීමට තම පියා ලංකාවට එවන බවට අද නිහතමානීට පොරොන්දු වෙමිනි.
කිහිප දිනකට පසු ලංකාවට පැමිණි වියෝලාගේ පියාට බුදුදහම උගත හැකි ස්ථාන කිහිපයකට නිහතමානී ඔහුව යොමුකළේ තවත් තැනැත්තකුගේ ද සහාය ඇතිවය.
පසු දිනෙක නිහතමානී සහ වියෝලාගේ පියා මහනුවර නගරයේ ඇවිදිමින් උන්හ. ඒ වන විටත් ජර්මානුවා, බුදුදහම ගැන යම් තරමක හැදෑරීමක් කර අවසන්ය. ඔවුහු බුදුදහමේ සඳහන් විවිධ කරුණු ගැන සාකච්ඡා කළහ.
දළදා මාළිගාව ඉදිරිපිට භූමියේ මඳකිපුණු අලියෙක් පාද හතරටම දම්වැල් දමා බැඳ සිටියේය. අලියා වේදනාවෙන් මිරිකෙන බව ඒ දෙස බැලූ ඕනෑම අයකුට පැහැදිලිය.
“ඕගොල්ලෝ බෞද්ධයෝ නේද? සත්ත්ව හිංසාව ගැන හැමතිස්සෙම කියෙව්වට අර සතා විඳින දුක කාටවත් පේන්නෙ නැද්ද?”
වියෝලාගේ පියාගෙන් ක්ෂණිකව එල්ල වූ ප්‍රශ්නයට නිහතමානීට කරකියා ගන්නට දෙයක් නැතිවිය.
බටහිර මත්පැන් පානයට ගැහැනු පිරිමි භේදයක් නැත. නිහතමානීට වරක් මුණගැසුණු ජර්මන් කෙල්ලෝ රැළක් නියම ලාංකික ක්‍රමයට රා බීවෝය.
“අපි කන්නෙලියට ගිහින් හිටියේ. කැලෑව බලලා හවස ආවට පස්සෙ එතැන එක තැනක රා විකුණන්න තිබුණා. රාවලට හොඳම බයිට් එක කියලා කියන්නේ කරවල පුච්චලා, බී ලූනු කපලා දාලයි. මේ කෙල්ලෝ ටිකත් කිසි වෙනසක් නැතුව පුච්චපු කරෝලයි, බී ලූනුයි හප හප රා බිව්වා.”
දෙවැනි ලෝක යුද්ධයේ පරාජයත් සමඟ අසූව දශකයේ අගභාගය වනතුරු ජර්මනිය තිබුණේ කොටස් දෙකක්, රටවල් දෙකක් වශයෙනි. ඒ නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය ලෙසිනි. ඒ රටවල් දෙක වෙන්කර තිබුණේ දේශසීමාවේ ඉදිවූ යෝධ තාප්පයකිනි. ජර්මනියේ අගනගරය වන බර්ලිනය දෙකට වෙන් කරමින් ඉදිකර තිබූ මේ තාප්පය හැඳින්වූයේ ද බර්ලින් තාප්පය යන නමිනි. කිසිම බෙදීමක් නොතිබූ තම රටේ බලහත්කාරයෙන් ඇති කර තිබූ බෙදීම ගැන ජර්මානුවන් පසුවූයේ කලකිරීමකිනි.
“බර්ලින් වෝල් එක කඩපු දවසේ නුවර හිටපු ජර්මන් කට්ටිය සේරම එකතු වෙලා පාටි දැම්මා. මටත් එයින් පාටි එකකට එන්න කියලා ආරාධනා කළා. ඉතින් මාත් අම්මයි තාත්තයි එක්ක ඒකට ගියා. එදා කට්ටිය කොච්චර සතුටින් හිටියද කියලා මට තාම මතකයි. ඒ අය හරිම හොඳ මිනිස්සු. හරිම අහිංසක විදිහට ඒ ගැන සතුටු වුණා.”
(තවත් රසවත් අත්දැකීම් සමුච්චයක් ඉදිරි සතියට)
► රජිත ජාගොඩ ආරච්චි