අප අසල්වැසි බමුණුපුර මහතාගේ වැඩිමල් දියණිය විනීත ගතිපැවතුම්වලින් යුතු, ඇහට කනට පෙනෙන ගැහැනු ළමයෙකි. ඇය හිටිහැටියේම අමුතු ලෙඩකින් පෙළෙන බව පසුගිය දිනවල ආරංචි වුණි. එහෙයින් මම බිරිඳත් සමඟ බමුණුපුර නිවසට ගියේ, ඒ පිළිබඳව සොයාබැලීම යුතුකමකැයි හැඟුණු බැවිනි.
වෙනදා අප සමඟ ප්‍රියමනාපව කතාබහේ යෙදෙන දියණිය, එදින පැත්තකට වී බුම්මාගෙන සිටියාය. ඇගේ මුහුණේ ලොකු කනගාටුවක ලකුණු පිළිබිඹු විය. මෙය කිසියම් පෙම් පළහිලව්වක් විය හැකි යැයි මට සිතුණි. එහෙත් මගේ බිරිඳ පැවසුවේ වෙනත් මතයකි.
“මේ ළමයට ඇස්වහ වැදිලා. ගිය අවුරුද්දෙ විභාගෙත් ඒ තුනක්නෙ නේද?”
“අනේ මන්දා. බලාගත් අතේ ඔහේ ඉන්නවා. වෙනදා ෆෝන් එක අතේමනෙ. දැන් ඒ දිහා බලන්නෙවත් නෑ. හැමතිස්සෙම ඉන්නෙ සාංකාවෙන්.” බමුණුපුර මහත්මිය කීවාය.
“මනෝ වෛද්‍යවරයෙකුටවත් පෙන්නුවොත් හොඳ නැද්ද?”
මම ඇසුවෙමි. බමුණුපුර මහතා එය පිළිගත්තේය. මා සමඟ වසර පහක් පමණ එකම පාසලේ උගත් මිතුරකු, විය යුතු පරිද්දෙන්ම දැන් මනෝ වෛද්‍යවරයෙකි. බමුණුත්, දියණියත් සමඟ මම ද ඔහු සිටින තැනට ගියෙමි.
තරුණිය පරීක්ෂා කළ, වෛද්‍ය මිත්‍රයා, සැහැල්ලු ලෙස මෙසේ කීවේය.
“බයවෙන්න දෙයක් නෑ. මේක තව සතියකින් විතර හරි යයි.”
“ඇයි මෙහෙම වුණේ ඩොක්ටර්... ඇඟේ අමාරුවක්ද? හිතේ අමාරුවක්ද?”
බමුණු ඇසීය.
මේක මේ දවස්වල පැතිරුණ තාවකාලික වසංගතයක්. මේ තරුණ වයසේ ළමයි ලක්ෂ ගාණකට මේක බෝවුණා. අපි මේකට කියන්නෙ එෆ්.බී. උණ කියලා.
බමුණුටත්, මටත් එක්වරම කරුණු වැටහී ගියේය. මේ වසංගතය ඇරඹී තිබෙන්නේ, පසුගිය දිනවල එෆ්.බී. තහනමත් සමඟය. දවස තිස්සෙ, ජංගම දුරකතනයේ මුහුණු පොතට, මුහුණ ඔබාගෙන සිටින බොහෝ දෙනාට, එය නැතිවූ කල කෑම බීමත් එපා විය. ජාතිවාදී හනුමන්තලා, රට ගිනි තියන්නට අරඅදිද්දී, ඒ පිළිබඳව පැවති මාධ්‍ය හමුවලට ගිය, ඇතැම් මාධ්‍යවේදීන්ද, දිගින් දිගටම ප්‍රශ්න කළේ එෆ්.බී. තහනම ගැනය. මේ රටේ ජනතාව මෙහෙවිය යුතු පුද්ගලයන්ටත් (එෆ්.බී) එකෙන් තොර ලෝකයක් නැත්නම්, මේ රටේ අනාගතය ගැන කවර කතාද? කෙසේ හෝ වේවා, වෛද්‍යවරයා කියූ ආකාරයටම, එෆ්.බී. තහනම ඉවත් කිරීමෙන් පසු, බමුණුපුර දියණියගේ අසනීපයද වහාම සුව අතට හැරුණි. එෆ්.බී. වට්ස්ඇප්, ඉමෝ, වයිබර්, එස්.එම්.එස් ආදී සමාජ මාධ්‍ය ජාල, ඕනෑම රටක, ආණ්ඩුවට වඩා ප්‍රබල බව පිළිගත යුතුය. ආණ්ඩු කරන අය සමාජ මාධ්‍යයන්ට බයවන්නේ ද ඒ නිසාමය. එහෙත්, කවුරුන් හෝ උන්මන්තකයන් පිරිසක්, එෆ්.බී. යනාදිය දඩමීමා කරගෙන රට විනාශ කිරීමට තැත් කරන්නේ නම්, කාට කාටත් ඉතිරිවන්නේ “සොරි ඩොට් කොම්”ය!
ලංකාව යනු ප්‍රශ්න පත්තරයකි. මොන දේ කිරීමට ගියත් ප්‍රශ්නාර්ථයකි. පාර්ලිමේන්තුවේ සිට ක්‍රිකට් පිටිය දක්වාම මෙය පොදු තත්ත්වයකි.
ඊයේ පෙරේදා, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තරගයක් ජයගැනීමෙන් පසු, නයි නැටුමක් පාන්නට ගොස්, ලොකු අවුලක් කරගත්තේය. අන්තිමේදී, ප්‍රේක්ෂකාගාරය තුළින් ද, නයි මතුවන්නට විය. එය කොතරම් දුරදිග ගියේද කිවහොත්, විස්තර ප්‍රචාරක කුටියේ සිටි ජනකාන්ත ක්‍රිකට් තරුවක් වූ, සුනිල් ගවේෂ්කාර් ද නයිපෙන නැටුමක් දා පෙන්නුවේය.
දිනේෂ් කාර්තික්ට පින් සිද්ධවන්නට, ඉන්දියාව කෙස්ගහෙන් ජයගත් අවසන් මහා තරගයේදීද ප්‍රේක්ෂකාගාරයෙන් හා පිටිය මැදින් නයි පමණක් නොව පොළොං, මාපිල්, පිඹුරු පමණක් නොව ගැරඬිද පෙනේ කරන්නට විය. මෙය සීමාව ඉක්මවා යනු දුටු හෙයින්, කනස්සල්ලට පත් මම, බංග්ලාදේශ ක්‍රීඩා මාධ්‍යවේදී රෑබ්දුල්ලාට කතා කොට, නයි නැටුමේ සුලමුල ගැන විමසීමි. රෑබ්දුල්ලා, මෙසේ පැහැදිලි කළේය.
“ඒක අපේ රටේ සම්ප්‍රදායික නැටුමක්. එහෙම නැතුව කාටවත් සවුත්තුව දාන්න හදනවා නෙවෙයි... කොකා පෙන්නනවත් නෙවෙයි. මැච් එක පැරදිලා හිටපු වෙලාවෙ, ඔයගොල්ලො ඒක වැරදියට බාරගත්තා.”
“වෙරි සොරි රූබ්දුල්ලා. අපේ මිනිස්සු ඔහොම තමයි. හැමතිස්සෙම, අනුන්ගෙ නයි පටලවාගන්නවා!”
මම කනගාටුව පළ කළෙමි. “නයි නටවන්නෙ කොයි කොයි දේසේ... නයි නටවන්නේ බංගලි දේසේ* යැයි අප වටහාගත යුතුය. බංගලි - ශ්‍රී ලංකා ක්‍රිකට් විරසකය දුරුකරගැනීම සඳහා, මම මෙබඳු යෝජනාවක්ද කරමි. බංග්ලාදේශයේ තරග කිරීමට යන විටෙක, අපේ රටේ සිටින නයි නළඟනන්ද රැගෙන යා යුතුය. හතරේ පහරක්, හයේ පහරක් ගැසූ විට, ඔවුන්ටද නයි පටලවාගෙන රැඟුම් පෑ හැකිය. එසේත් නැතිනම්, අපේ ක්‍රීඩකයන්ට උඩරට නැටුමේ එන කස්තිරමක්, දෙකක් උගැන්විය යුතුය!
මේ ලිපිය අවසාන කරන්නේ කෙසේදැයි සිතමින් සිටියදී, දුරකතන ඇමතුමක් ලැබුණි.
“හලෝ... මම සෝමදේව කතා කරන්නෙ.”
ඔහු කටුනායක ගුවන් තොටුපොළේ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන අපගේ මිත්‍රයෙකි. ඔහුට සොරෙන් ලේන පැටියකුටවත් ලංකාවෙන් පිටව යාමට නොහැකිය. ඒ තරම් විපරම් ඇසින් සිටින සෝමේ, කතා කරන්නේ කුමක් හෝ වැදගත් සිද්ධියක් සම්බන්ධයෙන් විය යුතුය.
“මොකද සෝමේ හදිස්සියෙම?”
“විශේෂ කාරණයක් කියන්න තියෙනවා. අපේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෝ කීපදෙනෙක්ම, පවුල් පිටින්ම චීනෙට යන්න පිටත් වුණා. පක්ෂ නායකයො තුන්දෙනකුත් හිටියා. ඒ හැමෝම, චීනේ පුරවැසිභාවය ඉල්ලලා තියෙනවලු.”
“මොකද ඒගොල්ලො චීනෙ පදිංචියට යන්න හිතලා තියෙන්නෙ.”
ඇයි ආරංචි නැද්ද? චීනේ ජනාධිපතිට ජීවිතාන්තය දක්වාම ඒ තනතුරේ ඉන්න පුළුවන් විදිහට නීතියක් සම්මත වුණානෙ.
ඔව්. ඉතින් ඒක අපේ අයට බලපාන්නෙ කොහොමද?
චීනෙට ගිහින් හරි කමක් නෑ, ජීවිතාන්තය දක්වා බලයේ ඉන්න තමයි ඒගොල්ලන්ගෙ උත්සාහය.
එතකොට සෝමේ සිතන්නෙ, අනාගතයේ දවසක අපේ මිනිහෙක්, චීනයේ සදාකාලික ජනාධිපති බවට පත්වෙයි කියලද?
“ඕවා කියන්න බෑ... මාඕ සේතුංගේ දුර නෑකමක් හදල පෙන්නල හරි බලයට එන්න බලයි.”
සෝමේගේ කියුමෙහි සැඟවුණු උපහාසය දැනුණද, ඔහු නොපෙන්වමින් මම දිග සුසුමක් හෙළුවෙමි.
“අනේ එහෙනම් චීනෙත් ලංකාවක් වෙන්නයි යන්නෙ! ආයෙත් ඉතින් ගොඩඒමක් නම් නෑ! චීන්නු පව්!”
කපිල කුමාර කාලිංග