ගෙවීගිය සතිය ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුතම සතියක් බව බොහෝ විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කිරීමට චෝදනා ලැබීමත් සමඟය. දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ ඔවුන් එසේ කළ බව පිළිගත්හ. ඒ ඔවුන්ට එය පිළිගන්නවා හැරෙන්නට වෙන විකල්පයක් නොවූ බැවිනි. ඔවුන් පන්දුව පළුදු කරන අයුරැ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබිණි.
පන්දුව පළුදු කළ දිනය අවසානයේ ක්‍රීඩාව නැවැත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී තමන් වරදක් කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් පිළිගත්තේය. තමන් කිසිවකුගේ නම් සඳහන් නොකරන බවත් පන්දුව පළුදුව කිරීමට සාමූහික තීරණයක් ගත් බවත් හෙතෙම කීවේය. කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ ක්‍රීඩකයාය. ඔහු කණ්ඩායමට නවක ක්‍රීඩකයෙකි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මෙම ක්‍රියාව එරට මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව තිබිණි. මුල්පිටුවල ‘හොරුන්’, ‘වංචා කිරීම’ යන සිරස්තල ඇතිව ස්ටීවන් ස්මිත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පරිපාලනය ද, පුහුණුකාර කණ්ඩායම දැඩි ලෙස විවේචනයට ලක්කර තිබිණි.
ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.
මොකක්ද? මම හීනෙන් නැගිට්ටද? මට කියන්න මේක නරක හීනයක් කියලා යැයි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් ට්විටර් පණිවුඩයක් දමමින් සඳහන් කර තිබිණි.
හැත්තෑව සහ අසූව දශකයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට ක්‍රීඩා කළ රොඩ්නි හොග් මෙය වංචාවක් යැයි ද ස්මිත් නායකත්වයෙන් ඉවත්විය යුතු යැයි ද සඳහන් කර තිබිණි.
‘සුපර්ස්පෝට්’ රූපවාහිනියට ස්මිත් ගේ ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලොව බිහි වූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් මෙසේ පවසා තිබිණි.
මට වැඩක් නැහැ ඔබ කවුරු වුණත්. ඔබට පන්දුව පළුදු කරන්න බැහැ. මම දන්නවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අපි කවදාවත් මෙවැනි දෙයක් කරලා නැහැ. මට කැමරන් බැන්ක්‍රොෆ්ට් ගැන තරමක් කනගාටුයි. මෙය ඔහු විතරක්ම කළ දෙයක් කියලා මම හිතන්නේ නැහැ.
‘සුපර්ස්පෝට්’ රූපවාහිනියේ විස්තර විචාරයට එක්වෙමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු මෙන්ම නායකයකුද වන ඇලන් බෝඩර් මෙම ක්‍රියාව ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් අනාගතයට කිසි ලෙසකින්වත් සුදුසු නැතැයි කීවේය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ ගැන සොයා බැලිය යුතුයි. අධ්‍යක්ෂවරු මීට මැදිහත් විය යුතුයි. මෙය සුළුවෙන් තකන්න බැහැ යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
වසර 2008 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් බ‍්‍රැඩ් හොග් මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබිණි.
මම බැන්ක්‍රොෆ්ට් දන්නේ ඔහුට අවුරුදු 13 ඉඳලා. මම ඔහු සමඟ ක්‍රීඩා කරලා තියෙනවා. මේ ඔහු නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. මා දැඩි කනගාටුවටත් කම්පාවටත් පත්වුණා යනුවෙනි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු පිතිකරැවකු වන ජිමි මාහර් මෙසේ අදහස් දක්වා තිබිණි.
මේ සිද්ධියෙන් ජාතියම ලජ්ජාවට පත්වුණා. රටත් වගේම ක්‍රිකට් ලෝකයත් ලජ්ජාවට පත්වුණා යනුවෙනි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් බී.බී.සී රේඩියෝ 5 වෙත අදහස් දක්වමින් සිදුවීම ඇසුණු සැණින් තමන්ගේ මනසට පැමිණියේ පුදුමය පිරි කනගාටුවක් හා ලජ්ජාවක් බව පවසා තිබිණි.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්, හිටපු ක්‍රීඩකයන්, ජාත්‍යන්තරයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ඕස්ට්‍රේලියානු මාධ්‍ය, ජාත්‍යන්තර මාධ්‍ය පමණක් නොව දේශපාලකයන්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. ඕස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ අදහස් දැක්වීමට එහිදි වැඩි ඉඩක් වෙන් වී තිබිණි.
මෙය විශ්වාස කරන්න බැරි දෙයක්. රටක් ලෙස අපි ලැජ්ජාවට පත්වුණා. මා දැඩි පුදුමයටත් කනගාටුවත් පත්වෙනවා. ඕස්ට්‍රේලියාවේ ජනතාව දැඩි කනගාටුවට පත්වෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්න ඕනේ. අපි උදේ අවදි වුණේ දකුණු අප්‍රිකාවෙන් ලැබුණු කනගාටුදායක පුවතත් සමඟයි. අපි අවදි වුණේ දැඩි කනගාටුදයක ආරංචියක් එක්ක. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වංචා කළ බව විශ්වාස කරන්නත් අමාරුයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ආදර්ශමත් චරිත බව ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තිබෙනවා. සාධාරණ ක්‍රීඩාවට සමාන වචනයක් ක්‍රිකට්. එහෙත් අපේ ක්‍රීඩකයන් වංචා කරලා. කොහොමද අපේ කණ්ඩායම මේ විදියට වංචා කළේ?
මේ අතර දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔට්ටිස් ගිබ්සන් ප්‍රකාශ කර තිබුණේ ඕනෑම දෙයක් කර ජයලැබිය යුතුය යන මානසිකත්වය විසින් ඕස්ට්‍රේලියාව මේ අවමානයට ඇද දමා තිබෙන බවය. තමන් ක්‍රීඩා කරන්නේ කෙසේ හෝ ජය ලැබීමේ අභිලාෂයෙන් බව මීට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මෑතකදී අළුබඳුන ක්‍රීඩා තරගාවලියේදී 4-0කින් පහසුවෙන්ම එංගලන්තය පරදවා ලබාගත් ජයග්‍රහණයත් මීට හේතු වෙන්න ඇති. මේ තරගාවලියේදී ඔවුන් ද.අප්‍රිකාවට වඩා අවස්ථා ගණනාවකදීම සිටියේ පසුපසින්. එහිදී තමන්ට අවශ්‍ය වූ ප්‍රමාණයට පන්දුව (රිවර්ස් ස්විං) අනෙක් පසට දෝලනය වීමක් සිදු නොවීම නිසා ඔවුන් දැඩි ලෙස නොසන්සුන් වෙන්න ඇති. ඔවුන් මේ තරගයේදී පසුපසින් සිටීම නිසා කෙසේ හෝ පන්දුවෙන් වැඩි යමක් කර ගැනීමේ බලාපොරොත්තුව මේ තත්ත්වයට ඔවුන් යොමු වූ බවයි මට සිතෙන්නේ. එය අවාසනාවන්ත සිද්ධියක් යැයිද ඔහු වාර්තාකරැවන් අමතා කළ ප්‍රකාශයෙන් සඳහන් විය.
පසුගිය සෙනසුරාදා (මාර්තු 24) මාධ්‍ය හමුවේ පාපොච්චාරණයක් කරමින් ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් පැවැසුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තුළ සිටින නායකත්ව කණ්ඩායම මගින් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ දිවා ආහාර විවේකයේදී පන්දුව පළුදු කිරීමේ සැලැස්ම ගැන තීන්දුවක් ගත් බවය. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරැ කැමරන් බැන්ක්‍රොෆ්ට් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන ආකාරය කැමරාවල සඳහන් වී තිබිණි. ඕස්ට්‍රේලියානු නායකයාට මේ වරද හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත්වීමට සිදුවිය. ඔහුගේ ඉල්ලා අස්වීම තමන්ට දැනුම් දුන් බව එම කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙනු ලැබීය.
මේ අතර දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් නායක ග්‍රීම් ස්මිත් එම සිද්ධියට ලබාදී ඇති දඬුවම මෙතරම් සුළුවීම සම්බන්ධයෙන් මවිතය පළ කරයි. ඕස්ට්‍රේලියානු නායකයා පදවියෙන් ඉවත් කිරීමට අමතරව ඔහුට පැනවුණේ එක ටෙස්ට් තරග තහනමක් පමණි. කොතරම් දිගු තහනමක් විය යුතු දැයි කියන්න මා ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් මෙවැනි බරපතළ වැරැද්දකදී නිසැකවම මීට වඩා දැඩි දඬුවමක් දියයුතුව තිබූ බව මගේ අදහසයි. මෙහිදී අයි.සී.සී.එක තම වගකීම පැහැර හැර තිබෙනවා. ඔවුන් දඬුවම් පැනවීමේ වගකීම ක්‍රිකට් ඕස්ට්‍රේලියානු මණ්ඩලයට බාරකර තිබෙනවා. ඒක වැරදියි. මෙහිදී ආදර්ශය දිය යුතුව තිබුණේ අයි.සී.සී.එකයි. ඔවුන් ඒ අවස්ථාවෙන් කර ඇරලා... යනුවෙන් ඔහු කියා තිබිණි.
ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් මේ සිද්ධියට සම්බන්ධයක් නැතැයි ඕස්ට්‍රේලියානු නායකයා කළ ප්‍රකාශය හේතුවෙන් ලීමන්ගේ තනතුර දැනට රැකී තිබේ. එහෙත් ක්‍රීඩකයන්ගේ දඩබ්බර හැසිරීම් සහිත මානසිකත්වයට ඉඩදී තිබීම සම්බන්ධයෙන් ඔහු මීට පෙරද චෝදනාවලට ලක් වී සිටින්නෙකි.
මීට වසර 15කට පමණ එපිටදී 2003 වසරේදී ලීමන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකුව සිටි අවධියේදී ශ්‍රී ලංකාවට එරෙහි තරගයකදී හැසිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනාවකට ලක්විය. ඔහු දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමෙන් පසුව ආපසු ක්‍රීඩාගාරයට ගියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තිත්ත කුණුහරැපයෙන් බැණ වදිමිනි. පසුව ක්‍රීඩාගාරයටම ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමාව අයැද සිටි ලීමන් එම සිද්ධිය ගැන කනගාටු වන බවද ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රශ්නය එතැනින් සමතයකට පත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම එකඟ වූ බැවින් ලීමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය රැකුණේය. ඉන්පසුව ලීමන් කියා තිබුණේ ශ්‍රී ලංකාව විශිෂ්ට ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බවය.
කෙසේ වුවද ස්ටීව් ස්මිත්ට නම් මෙවර සිද්ධියත් සමඟ සම්පූර්ණ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමටද ඉඩ තිබෙන බවද සඳහන් වෙයි. පසුව ලැබුණු වාර්තාවක සඳහන් වූයේ ස්මිත් සහ වෝනර් දෙදෙනාට වසරක තරග තහනමක් පනවා ඇති බවය. වසර දෙකක් යනතුරැ නායකත්වයක් දැරීමද තහනම් කර තිබේ. බැන්ක්‍රොෆ්ට් මාස 09ක තහනමකට ලක්වී සිටී.
මාධ්‍ය වාර්තා ඇසුරිනි