විල්සන් නුවරඑළිය ප්‍රදේශයේ තම දියණියත් බෑණාත් සමඟ නිස්කලංකව ජීවත් වන අවුරුදු 80ක මහළු පුද්ගලයෙකි. ඔහුගේ අවශ්‍යතා සරලය. දිනක් ඔහු කඩේදී ලබාගත් සිනමා පුවත්පතක සඳහන් වන්නේ සිංහල සිනමාවට වසර 68 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකදී ඔහු තරුණ වියේදී රඟපෑ චිත්‍රපටයක්ද තිරගත වන බවයි. මේ පුද්ගලයා පැරණි චිත්‍රපට නළුවෙක් බව අපට ඒ අනුව පැහැදිලි වේ. විල්සන්ට එදා සිට අවශ්‍ය එම චිත්‍රපටය නැරඹීමට හා උත්සවයට සහභාගි වීමට යාමටය.
අදින් දශක තුන හතරකට පෙර චිත්‍රපටයක් නැරඹීමට යාම මධුර චාරිකාවක්ම විය. ඒ සඳහාම ඉතුරු කරගත් මුදලින් පවුලේ හැමදෙනාම සමඟ චිත්‍රපටයක් නැරඹීමට යාම වෙනම වතාවතක් විය. රාත්‍රී දර්ශනයක් නම් චිත්‍රපටය අවසන් වූ පසු බස් පහසුකම් නැත්නම් පයින් පැමිණීමද තවත් විනෝදාත්මක අත්දැකීමක් විය. එහෙත් අද සමාජය සම්පූර්ණයෙන් කනපිට හැරී ඇත. මෙම චිත්‍රපටයේ තම වියපත් පියාට කොළඹ යාමට පහසුකම් ලබාදීමට දියණියට හෝ බෑණාට විවේකයක් නැත. නමුත් ඔවුන් තුළ පියාට ඇති ආදරයේ අඩුවක්ද අපට නොපෙනේ. සමාජය චිත්‍රපටයක් රසවිඳීමට ඇති ඉඩකඩ අවුරා ඇති බවකි මින් කියැවෙන්නේ. &එදාට මම යන්නෙ කොහොමද? අල ටික ගලවන්න දාගත්තනේ* බෑණා කියයි. අවසානයේ විල්සන් සීයා (හේමසිරි ලියනගේ) සමඟ කොළඹ යාමට ඉදිරිපත් වන්නේ අවුරැදු 10 ක් පමණ වයසැති කුඩා මුණුපුරාය.
මෙම කොළඹ බලායන චාරිකාව පැරණි චිත්‍රපට නැරඹීමේ මධුර චාරිකා හා මුසුකිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගනී. අධ්‍යක්ෂණය මෙන්ම තිරරචනයද උදයකාන්ත වර්ණසූරියගේ නිසාම ඔහු තමන්ම ඇවැසි ආකාරයට තිරපිටපත හසුරුවා ගනී. 50 – 60 දශකවල චිත්‍රපට නැරඹීමට ගිය අයුරු, ටිකට් පෝලිමේ රණ්ඩු දබර, ප්‍රේක්ෂක ප්‍රතිචාර සජීවී අයුරින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබේ. ඒ අතර කුඩා දරුවා බසයේ යන අතර සිහින දකින්නේ විහාරමහාදේවි උද්‍යානයේ සුන්දරත්වය විඳීමටය. කෙළිසෙල්ලම් කිරීමටය. සීයාත් මුණුපුරාත් දෙආකාරයක සිතිවිලිවලින් යුක්ත වුවත් ඔවුන් දෙදෙනා තුළ එකිනෙකා කෙරෙහි ඇති බැඳීම කදිමට හුවාදැක්වීමට අධ්‍යක්ෂවරයාට හැකියාව ලැබී ඇත. ඒ අතරම සමහර අවස්ථාවලදී උපහාසාත්මක සිද්ධි සිනමානුරූපීව මතුකිරීමටද උදයකාන්ත සමත්කම් දක්වයි.
බස් රථයේදී මුණුපුරාට මුත්‍රාකිරීමට අවශ්‍ය වී ඒ බව කොන්දොස්තරට පවසයි. ඔහු එවිට පරැෂ වචනයෙන් දොස් කියයි. නමුත් බස් රථය නැවැත්වූ විට කොන්දොස්තරද ඇතුළු විශාල පිරිසක් එම අවශ්‍යතාව සපුරා ගනිති.
අතරමඟදී බස් රථය කැඩේ. ප්‍රමාද වී පැමිණි එය පිටකොටුව බස් නැවතුමේ නැවැත්වූ පසු ත්‍රීවිලර් රථයකින් යන විට මහා රථවාහන තදබදයකට හසුවේ. ඒ අතර අපට පැරණි චිත්‍රපට නැරඹීමේ මධුරත්වයද ඉඳහිට මතක් කර දෙන්නේ විල්සන්ගේ දෘෂ්ටිකෝණයෙනි.
විල්සන් වර්තමාන සංකීර්ණ හා පහසුකම් සුලබ සමාජයේ සිට අතීතයට කරන චාරිකාවක් ලෙසින් කොළඹට පැමිණේ. ඔහු පැමිණෙන්නේ අනාරාධිතවය. ඒ අතර උත්සවයේදී කියැවෙන්නේ එම චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් සියලු දෙනාම පාහේ මියගොස් ඇති බවයි. වර්තමාන ලෝකය තුළ පැරැණියන් කෙරෙහි ඇති දැනුම පිළිබඳ අල්පත්වය ඉන් අපට පෙනේ. මහා උත්සව, සැමරැම් අද බහුලය. එහෙත් ඒවායේදී ගරු සම්මානයට පාත්‍රවන්නේ නියම පාත්‍ර වර්ගයමද යන්න උදයකාන්ත ප්‍රශ්න කරයි.
අද සිනමාව මුහුණදී සිටින්නේ ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට නොපැමිණෙන අර්බුදයකටය. උදයකාන්ත මෙයට පෙර තැනූ බහුභාර්යා, කොස්තාපල් පුඤ්ඤසෝම, ගිනිඅවි සහ ගිනිකෙළි ප්‍රේක්ෂකාගාර පිරවීමට සමත් වූ සිනමා කෘති විය.
විල්සන් සහ මුණුපුරා යන විට උත්සවය අවසන්ය. ඔවුහු චිත්‍රපටය පමණක් නරඹා ආපසු එති. මහවැස්සේ තෙමෙති. බස් නැවතුම්පොළේදී අසනීප වන විල්සන්ට පිහිටට එන්නේ ත්‍රීවිල් රථ රියැදුරෙක් හා රියැදුරාගේ හිතවත් ගණිකාවකි. ඇමැතිවරු, සභාපතිවරු ඇතුළු බලධාරීන් සිනමාවේ සංවත්සරය සමරා සුපිරි වාහනවලින් පිටත්ව යන අතර මේ අහිංසක නළුවාට පැරසිටමෝල් පෙත්තක් දීමට ඉදිරිපත් වන්නේ ගණිකාවකි. එය එක් අතකින් අද සිනමාව මුහුණදී ඇති තත්ත්වය මතුකරනා සදය උපහාසයකි.
විල්සන් අසාධ්‍යව සිටින අතරතුර ඔහුගේ සිහින ලෝකය අපට ඉදිරිපත් කෙරේ. එහිදී අප දකින්නේ ඔහු මල්මාලා දමාගෙන සියලු ආරාධිතයන්ගේ ගෞරවාචාර මැද බුහුමන් ලබන ආකාරයයි. නමුත් සැබෑව වන්නේ ඔහුට රෝහලක හුදෙකලාව දෑස් පියාගන්නට සිදුවීමයි. ඒ සමඟම මේ සිද්ධිය දැනගන්නා සිනමාව සම්බන්ධ ඇමැතිවරයාගේ උනන්දුවෙන්, රාජ්‍ය අනුග්‍රහයෙන් අවමඟුල පැවැත්වීමට තීරණය කෙරේ. වර්තමාන සමාජයේ නළුවකුගේ මළගමක් වුව දේශපාලන වාසි ලබාගැනීමට දරන උත්සාහයක් ලෙස එය අපට පෙනේ.
නමුත් මේ නළුවාගේ මරණය, මුණුපුරා රෝහලේ හුදෙකලාව සිටීම ආදී සිද්ධි අප තුළ කම්පනයක් ජනිත නොකරයි. චිත්‍රපටයට යොදාගෙන ඇති පැරණි චිත්‍රපටවල සැබෑ දර්ශන හා රෑපගත කර යොදාගෙන ඇති දර්ශනවල වෙනස නිසා එහි ගලායාමට බාධා පැමිණේ. අලුතින් රෑගත කරන දර්ශන පමණක් යොදාගත්තේ නම් එම බාධාව මඟහැරී යාමට හේතුවන බව පෙනේ. චිත්‍රපට සංවත්සර උත්සවය අපට පෙනෙන්නේ ප්‍රචාරාත්මක ආකාරයකිනි. එහි පැරණි නළු නිළියන් ඔහේ බලාගෙන සිටිනවා පමණි. උදයකාන්තට එය වඩාත් උපහාසාත්මක අර්ථයක්ද මතුවන ලෙස ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණි.
හේමසිරි ලියනගේ තම ප්‍රවීණත්වය විදහා දක්වමින් කදිම රංගනයක් ඉදිරිපත් කරයි. ඔහුට ළමා නළු සුදම්ගෙන් ලැබෙන සහායද කදිමය. මෙහි සුළු චරිතවලට පවා ඒවාට ගැලපෙන නළුවරණයක් කිරීමට උදයකාන්ත සමත් වී තිබේ. නලීන් ප්‍රදීප් උඩවෙල, මාධනී මල්වත්ත මෙන්ම සුළු චරිත රඟපාන සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර වැන්නන්ද තම චරිතවලට සාධාරණයක් ඉෂ්ට කරයි.
අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරාකරණයද නවරත්න ගමගේගේ සංගීතයද මධුර චාරිකා සාර්ථක චාරිකාවක් කිරීමට ඉවහල් වේ. පැරණි සිනමා සංගීතයන් මතක් වන අයුරින් ගොඩනැගූ නවරත්න ගමගේගේ සංගීතය එහිලා කැපීපෙනේ.
මධුර චාරිකාවෙන්ද අප බලාපොරොත්තු වන උදයකාන්ත මතුවන්නේ නැත. ඔහුගේ ඊළඟ සිනමා නිර්මාණය නුදුරේදීම තිරගත වන තෙක් අපි බලාසිටිමු.
කුසුම්සිරි