සුරංගනා කතාවල අසා ඇති පරිදි කැලයට ගිය යහළුවන් දෙදෙනකුට වලසෙක් හමු වූ විට සිදුවූ සිදුවීම හැබහින් සිදුවූවේ නම් කුමක් සිදුවේදැයි සිතාගන්නට හැකිවන ආකාරයේ සිදුවීමක් පසුගියදා වව්නියාව ඕමන්ත ප්‍රදේශයෙන් අසන්නට දකින්නට ලැබිණි. උතුරු පළාතේ මේ දිනවල මීපැණි වාරය එළඹ ඇත්තේ සෑම වසරකම මේ කාලයට උණු උණුවේම වාගේ මීපැණිවල රස බලන කාලය උදා කරමිනි. මේ හේතුව නිසාම බොහෝ පිරිසක් කැලෑ වදින්නේ මීපැණි සෙවීම පිණිසය.
මිනිසාට වඩා මීපැණිවලට තවත් ප්‍රේත බැල්මක් හෙලන සතකු ගැන අප අසා ඇත. ඒ වෙනකකු නොව වලසාය.
වලසා මී කඩන විට එම කඩන මීවද හොරෙන්ම ගන්නා ආකාරය දනිති. ඔවුන් වලසාට පිටුපසින් ගොස් වලසා කඩන මීවද සියල්ලක්ම ඉතා සූක්ෂමව තමන් සතු කරගන්නේ වලසා මී කඩන විට මීමැස්සන් දෂ්ඨ කරන නිසා දෑස් වසාගෙන තම ආදරවන්තියට හෝ දරුවකුට පිටුපසට මීවද ලබාදෙන බව දන්නා බැවිනි.
නමුත් වලසා දෙන මීවද උපාය මාර්ගයෙන් ලබාගන්නට නම් බොහෝ වෙරක් වීරියක් දැරිය යුතුය. යම් හෙයකින් වලසාට ඉව වැටුණේ නම් ඉනික්බිති සිදුවන දෙය සිතාගැනීමට නොහැකි වීම හේතුවෙනි.
මේ කරුණු කාරණාවලට සමාන වූ පුවතක් අහන්නට දකින්නට ලැබුණේ වව්නියාව ඕමන්ත කොම්බුවයිත්තකුලම් රක්ෂිතයට මී කැඩීමට ගිය යහළුවන් තිදෙනකුට මුහුණපෑමට සිදුවූ අමිහිරි අත්දැකීමක් හේතුවෙනි.
සෙල්වම් මහේන්ද්‍රන් (42) පුද්ගලයා මී කැඩීමට රුසියෙකි. ඔහු සෑම වසරකම මී කඩා එමගින් සැලකිය යුතු මුදලක් සොයාගන්නේ එසේ කඩාගන්නා මීපැණි බෝතල් කර විකිණීමෙනි. සුපුරුදු පරිදි සෙල්වම් මහේන්ද්‍රන් කොම්බුවයිත්තකුලම් රක්ෂිතයට තවත් යහළුවන් දෙදෙනකු සමඟ ඇතුළු වී මී සොයමින් කැලෑව පීරන්නට ගත්තේය.
අවසානයේ ඔවුන්ට සිත සතුටු වන විදිහේ ගස් බෙනයක තිබූ මීවදයක් හමු විය. නමුත් මේ ගස් බෙනයේ තිබූ මීවදය තවත් අයකු විසින් කඩාගැනීමට උත්සාහ දරා ඇති බවට ඔවුන් දැකගන්නේ ගස් බෙනයේ මීවදයට පිවිසෙන ස්ථානය පහුරු ගා ඇති නිසාවෙනි.
එලෙස පහුරුගාන්නට ඇත්තේ තවත් මිනිසකු බවට හැඟුණු නමුත් ඔවුන් හීනෙකින්වත් ඒ වලසකු බවට නම් දැන සිටියේ නැත. කෙසේ හෝ පෙර දිනයකදී මීවදය ඇති ස්ථානය පහුරු ගා ගැනීමට උත්සාහ කළ වැලහින්න එදින නැවත පැමිණියේ කෙසේ හෝ මී වදය තම දරුවන්ටද ලබාදීමේ බලාපොරොත්තුවෙනි.
මේ අතර ගස් බෙනයේ ඇති මීවද ගැනීමට උත්සාහ දරන සෙල්වම් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට තවත් පිරිසක් පැමිණෙන හඬ ඇසී තිබිණි. ඔවුන් සිතුවේ තවත් මිනිසුන් පිරිසක් පැමිණෙන බවත් තමන් පැණි කඩනු දැක්ක විගස ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව යනු ඇති බවත්ය. එම අවස්ථාවේදී මීවද ගැනීම සඳහා ගස් බෙනය පාදමින් සිටියේ සෙල්වම් මහේන්ද්‍රන්ය. යහළුවන් දෙදෙනා පැමිණෙන්නේ කවුරුන්ද යන්න විපරම් කරමින් සිටි අතර හදිසියේම පැමිණියේ වැලහින්න සමඟ සිටි පැටවුන් 5 දෙනෙකි.
වැලහින්නද සෙල්වම් මහේන්ද්‍රන්ද මේ හමුවීම බලාපොරොත්තු නොවූයෙන් ඊළඟට කරන්නේ කුමක්ද යන්න දැන සිටින්නට නැත. එම අවස්ථාවේදීම යහළුවන් දෙදෙනාම පණ එපා කියා දිව්වත් සෙල්වම් මහේන්ද්‍රන්ට දිවීමට නොහැකි වූයේ ගසේ ටිකක් දුරක් නැඟ සිටි නිසාවෙනි. ඒ හේතුවෙන් සෙල්වම් ගසට නැඟීමට උත්සාහ ගත්තද ඔහු ප්‍රමාද විය. එකෙණෙහිම කෝපයෙන් ආ වැලහින්න සෙල්වම්ගේ පාදයකින් අල්ලා ගත්තාය. නමුත් සෙල්වම් ගස අතහැරියේ නැත. වැලහින්නගේ අතේ නිය පහරට සෙල්වම්ගේ පාදය පසාරු කරගෙන ගිය විට සෙල්වම් හැකි අයුරින් කෑ ගැසීය. දිවගිය යහළුවන් තම යහළුවා වැලහින්නට හසුව ඇති බව දැනගත්තේ සෙල්වම්ගේ කෑගැහිල්ලෙනි.
යහළුවන් දෙදෙනා නැවත මීවදය තිබූ ගස ළඟට පැමිණෙන විට දැක්කේ ඉතා බිහිසුණු අයුරින් වැලහින්න සෙල්වම්ගේ කකුලක් පහුරු ගා ඇති අයුරුය. සෙල්වම්ගේ වෙර වීරිය නිසාම ගසෙහි එල්ලී සිටියත් වැලහින්නද සෙල්වම්ගේ පාදයෙන් ඉවත්ව සිටියේ නැත. පසුව යහළුවන්ගේ කෑගැසීම හා බිය වැද්දීම නිසා වැලහින්න මඳක් එම ස්ථානයෙන් ඉවත් වුණත් අවට සැරිසරන්නට වූවාය. මේ හේතුව නිසාම යහළුවන්ට එම ස්ථානයෙන් වෙනතකට යාමට නොහැකි නිසාවෙන් බරපතළව තුවාල ලැබූ සෙල්වම්ද කැටුව ගසකට නැඟ සිය ජංගම දුරකතන ඔස්සේ ගම්වාසීන්ගේ සහාය ඉල්ලා තිබේ. පසුව ගම්වාසීන් ඕමන්ත පොලීසියටද දැනුම් දී පොලීසියද කැටුව එම ස්ථානයට පැමිණ තිදෙනා බේරාගත් අතර සෙල්වම් හැකි ඉක්මනින් වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
වලහෙක් දුටු විට අසා ඇති දේට වඩා හැබහින් දුටු විට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව යන්තම් හෝ ඉඟියක් සෙල්වම්ගේ සිදුවීමෙන් අපට පසක් කර ගත හැකිය.
► කතාව හා සේයාරූ I වන්නි රොමේෂ් මධුෂංඛ