සුප්‍රකට ඉන්දියානු ගත්කතුවර ආර්.කේ.නාරායන්, විසිවසරක කාලයක් පුරා “හින්දු” පුවත්පතට ඉංග්‍රීසි බසින් තීරු ලිපියක් ලිවීය. එහිදී ඔහු නොලියූ විෂයයක් නැති තරම්ය. පදික වේදිකාවේ කෙසෙල් වෙළෙන්දාගේ සිට ජනාධිපතිවරයා දක්වාත්, ජනාධිපතිවරයාගේ සිට අභ්‍යවකාශ තරණය හා විශ්වය දක්වාත් කරුණු කාරණා, මති මතාන්තර ඔහු තම තීරු ලිපියට හසුකර ගත්තේය. නාරායන්ගේ මාතෘකාවක් වූයේ “ශබ්ද” යන්නය.
එහිලා ඔහු පවසන අන්දමට අප මේ ගත කරන්නේ මානව ඉතිහාසයේ වැඩිම ශබ්ද සහිත යුගයයි. අවශ්‍ය, අනවශ්‍ය ශබ්ද මිනිසාගේ ස්නායු කුපිත කරවා ඔහු උමතු තත්ත්වයකට පත් කිරීමට ද ඉඩ ඇත. නාරායන් මේ මතය පළ කළේ මීට වසර පනහකට පමණ පෙරය. එසේ හෙයින් එදා ඔහු කියූ උමතු තත්ත්වයට දැන් අප පත්ව සිටින බව වටහා ගත යුතුය.
අපේ රටද වැඩකට ඇති හා වැඩකට නැති ශබ්දවලින් පිරී ගොසිනි. මඟුල් ගෙදර සිට මළ ගෙදරටත්, පන්සල්, පල්ලි, කෝවිල්වලටත්, බස් රථයටත්, මගතොටටත් ශබ්දය නැතිව බැරිය. පාර්ලිමේන්තුව තුළ කෙරෙන ශබ්දඝෝෂා තුළින් නාරායන්ගේ අනාවැකිය සත්‍යයක් බවට පත් වී ඇති අයුරු දැක ගත හැකිය.
මිනිසාට කන් දෙකක් ලැබුණේ ශබ්ද ඇසීමට බව ඇත්තකි. එහෙත් මේ තරම් ශබ්ද කන්දරාවක් ඇසීමට නම් නොවේ. දෙවියන් දැන් මිනිසා මැව්වා නම් ඔහුට කන් අටක්වත් ලබා දෙනවාට සැක නැත.
මීට කලකට ඉහත නම්, අනවශ්‍ය ඝෝෂාවන් ඇති තැන් හැඳින්වුණේ “සයිවර් කඩේ වගේ” යනුවෙනි. ඊට හේතු වූයේ සයිවර් කඩ නොහොත් තෝසේ කඩවල ගුවන් විදුලි හෝ රෙඩිෆියුෂන් යන්ත්‍රයෙන් උදේ සිට රෑ වන තුරුම මහ හඬින් දෙමළ ගීත ප්‍රචාරය කිරීමය. දැන් නම් මුළු ලංකාවම එකම සයිවර් කඩයකි. ප්‍රයිවට් බස් පමණක් නොව එෆ්.එම්. නාලිකා ද “සයිවර් කඩ” බවට පත්ව ඇත.
අනවශ්‍ය ශබ්දය පවතින තැන් හඳුන්වන තවත් කියුමක් ජනවහරේ එයි. “සක්කිලි පඩි ගත්තා වගේ” ය යනු එයයි. මීට දශක කීපයකට ඉහත නගර සභාවලට අයත් කසල ශෝධක දමිළ කම්කරැවෝ සති අන්තයේ (සිකුරාදා) වැටුප් ලද පසු රා කඩයකට හෝ තැබෑරුමකට යාම සිරිතක් විය. ඔවුන් පදම ඉක්මවා ගිය කල, එතැන එකම ගාලගෝට්ටියකි. දැන් නම් ලංකාවේ හැම තැනකම හැම වෙලාවකම සක්කිලි පඩි අර ගෙනය!
පරිසරයේ ශබ්දය වැඩි වූයේ ජනගහණයේ වර්ධනයත් සමඟ යැයි කෙනකුට තර්ක කළ හැකිය. එහෙත්, මගේ මතය නම් ශබ්දය වැඩි වූයේ තරගය සමඟ බවයි. ජීවත් වීම යනු තරගයකි. ඒ සඳහා විවිධ තලවල සිට විවිධාකාරයෙන් ශබ්ද නගති. නිදසුනක් ලෙස පදික වෙළෙන්දකු හෝ ස්වීප් වෙළෙන්දකු දෙස බලන්න. ශබ්දය නගන තරමටය අලෙවිය! නීතීඥවරයකු හෝ ටියුෂන් ගුරුවරයකු දෙස බලන්න. හඬ නැත්නම් ඔවුන් පරාදය.
අමෙරිකානු ජනාධිපතිවරුන් අතරේ සිටි ඉතා ජනප්‍රිය පුද්ගලයකු වූ ජෝන්. එෆ්. කෙනඩි තරුණ අවධියේදී ඔහුගේ පියා මෙලෙස අවවාදයක් දුන්නේය.
“ඔබට අමෙරිකාවේ ජනාධිපති වීමට අවශ්‍ය නම්, සුදුසුකම් තුනක් සපුරාලිය යුතුයි. එක මුදල්, දෙක මුදල්, තුන මුදල්.”
ලංකාව සම්බන්ධයෙන් ගත් කල දේශපාලනයට පිවිසෙන්නකුට සුදුසුකම් තුනක් තිබිය යුතුය. එක මුදල්ය, දෙක විලිලජ්ජා නැතිකමය. තුන හැකර කටය!
මුල් සුදුසුකම වූ මුදල් නැතිවත්, අවසාන සුදුසුකම නිසා පමණක්ම ලොක්කන් වූ සොක්කන් ගැනද ඔබ දනී. අන්තිමේදී ඔව්හු කට නිසාම “මුදල් සුදුසුකම”ද ලබා ගැනීමට සමත් වූහ.
ලංකාවේ සාමාන්‍ය මිනිහා, දේශපාලන රැස්වීම් බලන්නට යාම විනෝදාංශයක් කරගත්තේ, දක්ෂ කථිකයන්ගේ කතා ඇසීමේ ආසාවෙනි. බණ්ඩාරනායක, ෆිලිප් ගුණවර්ධන, එන්. එම්. කොල්වින්, ප්‍රේමදාස ආදී මේ සියලු දෙනා හොඳ කතාකාරයෝය. විජේවීර ද කතාවට හපනෙකි. ජේ.ආර්. හොඳ කථිකයකු නොවුණත්, ඔහුගේ අමුතු සිංහලයද රසවත් විය.
කථිකත්වයත්, වාචාලකමත් යනු දෙකකි. හොඳ කථිකයා, අසන්නාට හරවත් යමක් රසවත් ලෙස කියයි. වාචාලයා මොන මොනවා හෝ ඔහේ දොඩවයි. දැන් වේදිකාවලදී කථිකයන් ලෙසින් පෙනී සිටින බොහෝ දෙනා හුදු වාචාලයෝය. කනගාටුවට කාරණය වන්නේ, අපේ රටේ පුරවැසියන්ගෙන් වැඩි කොටසක් මේ වාචාලයන්ට ද රැවටීමය. හිස් ඝෝෂාවන්ට ද හසුවීමය. හිස් ගසා දැමිය යුතු පුස්සන්ට අත්පොළසන් ලබා දීමය.
ලෝකයේ පවතින ශබ්ද දූෂණය ගැන කළකිරීමට පත්, පරිසර හිතකාමී පුද්ගලයෙක් මහා බ්‍රහ්මයා හමුවීමට ගොස් ඒ ගැන පැමිණිලි කළේය. බ්‍රහ්මයාට යකා නැග්ගේය.
“තමුසෙලා නිශ්ශබ්දව ඉන්න තිබුණු එකම තැනත් නැතිකරගත්තා. දැන් මට දොස් කියන්න එන්න එපා.”
“ඒ කොහෙද?”
“මිනී වළ! ආදාහනාගාර කියලා මඟුලක් අටවගෙන, තමුසෙලට සාමදානයේ සැතපෙන්න තිබුණ එකම තැනත් නැතිකරගත්තා”
මිනිසා එලවාගත් බ්‍රහ්මයා වේගයෙන් දොර වසා ගත්තේ “මේ මනුෂ්‍ය ජාතිය නිසා මටත් කනක් ඇහිලා ඉන්න නැහැ”යි කියමිනි.
►කපිලකුමාර කාලිංග