2018 මාර්තු 31 වන සෙනසුරාදා

ලංකාව ගෝත්‍රික ද?

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

මේ ගෙවෙමින් පවතින්නේ විසි එක් වැනි සියවසේ දෙවැනි දශකයේ අවසානයයි. ඉතින් ලංකාවේ ජීවත්වන ඇති හැකි බොහෝ දෙනෙක් හයිබ්‍රිඩ් වාහන, අන්තර්ජාලය, පරිගණක ආදී එකී මෙකී නොකී නූතන මෙවලම් අතපත ගාන කාලයෙන් නූතන වුව ද මනසින් ගල් යුගයටත් අන්ත ගෝත්‍රික මතවාද කරපින්නා ගත් හණමිටිකාරයින් පිරිසකි. 

ඊට හොඳම සාක්ෂිය තවමත් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ නවක වධ බන්ධන යහමින් සිදුකරමින් මිලේච්ඡත්වය ඉස්මතු කරන ගෝත්‍රික අදහස් නවකයන්ට බෙදමින් සිය නග්නත්වය ඉස්මතු කරන ඊනියා ප්‍රගතිශීලීන් සිටීමය. 

නවක සිසුන් වදයට ලක්කරන අතර පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැට දෙමින් සයිටම් විරෝධී, මාරාන්තික ප්‍රහාර ද එල්ල කරති. කාලයෙන් නූතන වුවද පෞද්ගලික විශ්ව විද්‍යාල අරහංව භයංකර යකෙක් සේ සමාජගත කරයි. එසේ කරන අතරම පෞද්ගලික වෛද්‍ය සේවයේ දිවා රෑ නොබලා යෙදෙති. 

ඒ අතරම තවත් කොටසක් අන්තර්ජාලය හරහා මිලේච්ඡ ගෝත්‍රික අදහස් වපුරමින් සිටිති. ඒ එක් ජන වර්ගයක කොටසක් ලංකාවම යටත් කරමින් සිය බලය ව්‍යාපාර හරහා, පවුල් සංස්ථාව හරහා ව්‍යාප්ත කරමින් සිටින බව පුන පුනා ප්‍රකාශ කරමින් කමෙන්ට් කිරීම ෂෙයාර් කිරීම සිදුකරති. සිය ගෝත්‍රික අදහස් සමාජය පුරා වපුරති. 

තවත් පිරිසක් එක් එක් දේශපාලන පක්ෂවලට කඩේ යමින් බලය අතට ගැනීමට උත්සාහ දරති. ඔවුන් සැමදෙනා නීතිගරැක, යුක්තිගරුක සර්ව සාධාරණ සමාජයක් බිහිකරලීමට බලය ඉල්ලයි. නමුත් ඔවුන් ද මේ නරා වළෙහිම ලැග සිය පාක්ෂිකයන් ගම් මට්ටමින්, බිම් මට්ටමින් සංවිධානය කරමින් ගෝත්‍රික සමාජයක් බිහිකිරීමට කැසකවති. මේ කිසිවකුට හෝ රට ගැන පොදු ජනතාව ගැන තැකීමක් නැත. ජනතාව මේ හැම ගෝත්‍රික අදහස්, මතවාද, ක්‍රියාකාරකම්වලින් තැලී පොඩි වී දුක් විඳ සුසුම් ලමින් දෙවියන්ට භාර හාර වෙමින් කාලය ගතකරති. 

ජනතාවට ද රට ගැන හිතීමට වෙලාවක් නැත. මන්ද ඔවුන්ට ද පැවැත්මක් ඇත්තේ අහවල් පක්ෂයට, අහවල් ආගමට, අහවල් කුලයට, අහවල් විශ්ව විද්‍යාලයට, අහවල් පාසලට, අහවල් සමිතියට දණින් වැටී ගැතිකම් කළොත් පමණි. එසේ නොවී ස්වාධීනව සිතීමට ක්‍රියාකිරීමට හැක්කේ, ලංකාවේ නම් නොවේ. වෙනත් රටකදී පමණි. මෙය හිතළුවක් නොව හැබෑම යථාර්ථයයි. 

► නයන්ත ජගත් පුංචිහේවා

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00