“වෙළෙඳපොළේ පවතින ආහාර ද්‍රව්‍ය අහඹු ලෙස අරගෙන අපි පරීක්ෂා කරනවා. වර්ෂ 2015 දක්වා ආනයනික ආහාර ද්‍රව්‍ය සාම්පල් පරීක්ෂාව අවස්ථා තුනකදී සිදුකළා. ඒ අවස්ථාවලදී ජාන වෙනස් කළ ආහාර අපට හමුවූයේ නැහැ... නමුත් පසුගිය අවුරුදු දෙක තුළ ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමක් කර නැහැ”
මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය එලෙස පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.
මෑත කාලයේ ජෛව තාක්ෂණය වර්ධනය වීමත් සමඟ ජාන විකෘති කළ ආහාර (ජාන විකරණය කළ) ලංකාවට පැමිණීමේ අවදානමක් පවතී. සැබවින්ම මේ ආහාරවලින් කෘෂිකර්ම ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් ඇතිවේද යන්න එහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
“දෙමුහුන් කිරීමත් එක්තරා ආකාරයක ජෛව තාක්ෂණයක්. නමුත් දැන් ඊටත් එහා ගිහින්. ජීවී විශේෂ දෙකක ජාන එකට සම්බන්ධ කර අලුත් ජීව විශේෂ නිපදවනවා. ජාන විකරණය කළ ජීවීන් සම්බන්ධයෙන් අපට බයක් තිබෙනවා. අවදානමක් සිදුවන්නේ නම් එය වළක්වන්නේ කෙසේද? එවැනි දෑ ගැන අපි අවධානයෙන් සිටිය යුතුයි.” පද්මා අබේකෝන් මහත්මිය තවදුරටත් පැවසුවාය.
ජාන විකරණය කළ ජීවීන්ගෙන් (GMOS) වන හානිය වැළැක්වීමේ පියවරක් වශයෙන් ලෝකයම ඉදිරියට එමින් සිටී. ජෛව සුරක්ෂිතතාව ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ වූ කර්ටජිනා සන්ධානයට ශ්‍රී ලංකාව අත්සන් කළේ 2000 මැයි 24 දාය. ජාන විකරණය කළ ජීවීන් පරිහරණයේදී හා හුවමාරුවේදී රටවල්වලට ප්‍රමාණවත් මට්ටමක ආරක්ෂාවක් පැවතිය යුතු බව එම සන්ධානය ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජෛව සුරක්ෂිතතා ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති කළමනාකාර ශානක ගුණවර්ධන මහතා, “එදා ගවයන්ගෙන් සහ ඌරන්ගෙන් තමයි ඉන්සියුලින් නිපදවීමට අවශ්‍ය ප්‍රතිදේහ ලබාගන්නේ. නමුත් එය වර්තමානයට ප්‍රමාණවත් නෑ. 1980 දශකයේ සිට බැක්ටීරියාවක් වර්ධනය කරගෙන ජෛව තාක්ෂණයට අනුවයි, ඉන්සියුලින් නිපදවන්නේ.
සමහරු ජෛව තාක්ෂණයට බයයි. ඒකයි ජෛව සුරක්ෂිතතාව අවශ්‍ය වන්නේ. අපි වර්ෂ 2005 දී ජෛව සුරක්ෂිතතා ජාතික ප්‍රතිපත්තිය සකස් කළෙත් එයට මුහුණදීමටයි.”
ජාන විකරණය කරන ලද ජීවීන් යනු සොබාදහමට එරෙහි වී යාමකි. මෙහිදී ස්වභාවිකව සිදුනොවන ආකාරයේ ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් කර ජීවීන් බිහිකිරීම සිදුවේ. විටමින් ඒ සහිත රන් පැහැති සහල් ඒ සඳහා හොඳ උදාහරණයකි. ඖෂධ වර්ග ගණනාවක්ද ජාන විකිරණය කළ ජීවීන් යොදාගනිමින් නිපදවේ. ඉන්සියුලින් හා ටැක්සොල් ඒ අතරින් ඉදිරියෙන්ම සිටී. මෙම නිෂ්පාදන නිවැරදි ආකාරයට පවිත්‍ර කර නොමැති නම් පාරිභෝගිකයාට හානි සිදුකළ හැකි වෙනත් රසායනික සංයෝග ඇතුළත් වීමට ඉඩ තිබේ. එය මානව සෞඛ්‍යයට හානිකරය.
ජාන විකෘති කළ පළමු ඖෂධ නිෂ්පාදනය වූ ඉන්සියුලින්වලට 1982 දී අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ අනුමැතිය ලැබුණි. එන්නත්, ප්‍රතිදේහ, ප්‍රතිජීවක හා වෙනත් ඖෂධ වර්ග නිපදවීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ GMOS භාවිත කෙරේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ජෛව තාක්ෂණය භාවිත කරන්නේ භෝගවල හා සත්ව විශේෂවල අස්වැන්න ඉහළ නංවා ගැනීමට හා පලිබෝධවලට ඔරොත්තු දීමටය. ඉන්දියාවේ කපු වගාවලට පලිබෝධ හානි පැමිණි විට එම පලිබෝධකයන්ට ඔරොත්තු දෙන කපු විශේෂ නිපදවනු ලැබිණි. කපු, කෙසෙල්, තක්කාලි, අර්තාපල්, කැනෝලා ඔයිල්, චීස්, සෝයා, චොකලට් ආදී නිෂ්පාදන රාශියක් ජෛව තාක්ෂණයේ මහිමයෙන් නිපදවේ. කණාමැදිරියන් තුළ ඇති ආලෝකය නිපදවන ලුසිපරීන් ජාන යොදාගෙන ආලෝකය නිපදවන හාවෙක් බිහිකිරීමට විද්‍යාඥයෝ සමත් වූහ. එලෙසම ජාන වෙනස් කර ආලෝකය විහිදවන ශාකද බිහිකර තිබේ.
“පලිබෝධවලට ඔරොත්තු දෙන ශාක වගේම වල්නාශකවලට ඔරොත්තු දෙන ශාක, ශීත කාලයට ඔරොත්තු දෙන ශාක මේ තාක්ෂණයෙන් නිපදවා තිබෙනවා. මේක විශිෂ්ට තාක්ෂණයක්. නමුත් ඒක අපේ රටට ගැලපෙන ලෙස භාවිත කළ යුතුයි.” පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල පෙරේරා පැවසුවේය.
ජාන විකෘති කළ ආහාරවලට මිනිසා බිය ඇයි? තවමත් මේ ආහාරවලින් සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන අපට පූර්ණ අවබෝධයක් නැත. විශේෂයෙන් මිනිස් සිරුරට අසාත්මිකතා ඇති කරන ප්‍රෝටීන මේවායේ පැවතිය හැකි බවට මත පළවේ. විවෘත ක්ෂේත්‍රයේ වගා කරන ලද ජාන විකරණය කළ ශාක ශාකවල ජාන පරාග හරහා වෙනත් වල් පැළෑටිවලට හුවමාරු වී සුපිරි වල් පැළෑටි බිහිවීමේ අවදානමක් පවතී. මේ නිසා හානියක් වීමට පෙර මානව සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කරගත යුතු වේ.
අද වන විට ශ්‍රී ලංකාවට විදේශ රටවලින් මහා පරිමාණයෙන් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ පැමිණේ. බොහෝ ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්වන්නේද නැත. ඒ නිසා ජාන විකෘති කළ ආහාරද පැමිණීමේ ඉඩකඩ බහුලය. ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසන්නේ නිතිපතා ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැති බවය. එවැනි ක්‍රමවේදයක් සකසා හෝ ජෛව සුරක්ෂිතතා පියවර ගැනීම අත්‍යවශ්‍යව පවතී. නැත්නම් කිසිම ආකාරයකින් වඳකළ නොහැකි වල් පැළෑටි, මිනිස් සිරුරට අහිතකර ඖෂධ අප අතරටත් පැමිණීමට ඉඩ තිබේ.
♦ කුසුම්සිරි