පෙඩ්ලර් ස්ට්‍රීට් කියන්නේ නම කියපු ගමන් කෙනෙක්ගේ මතකයට එන තැනක් නොවෙන්න පුළුවන්. හැබැයි ගාලු කොටුව ගැන දන්න, කොටුවේ හොඳ හැටි කරක් ගහපු කෙනෙක්ට නම් ඒක අමුතු නමක් නෙමේ.
සරලව කිව්වොත් පෙඩ්ලර් ස්ට්‍රීට් එහෙමත් නැත්නම් පෙඩ්ලර් වීථිය තමා ගාලු කොටුවේ තියෙන ලස්සනම වීථිය. ගාලු කොටුව කොහොමත් ලංකාවේ තියෙන ලස්සනම තැනක්. ඓතිහාසික උරුමයක්. හැබැයි එතැනත් තියෙන ලස්සනම තැනක් විදිහට මේ පෙඩ්ලර් වීථිය හඳුන්වන්න පුළුවන්.
පෙඩ්ලර් ස්ට්‍රීට් එකේ තමයි ගාලු කොටුවේ තියෙන ඉස්තරම්ම කඩ කිහිපය තියෙන්නෙත්. අත්යන්ත්‍ර රෙදිපිළි, ස්පාවල ඉඳන් හොඳම අවන්හල් කිහිපයකුත් මේ වීථියේ පිහිටලා තියෙනවා.
පෙඩ්ලර් ස්ට්‍රීට් එකේ හරි ලස්සන මතුවෙන්නේ අන්ධකාර වැටීගෙන එනකොටයි. සමහර අවන්හල් ඇතුළෙ තිබුණු මේස පුටු පාරට ඇවිත් ඒ මේස උඩ ඉටිපන්දම් දැල්වෙන්න පටන්ගන්නේ ඒ වෙලාවටයි. ඉටිපන්දම් එළියෙන් ආහාර ගන්න විදේශිකයන් නිසාත් පෙඩ්ලර් වීථියට එකතුවෙන්නේ අමුතුම අලංකාරයක්.
මේ සුන්දරත්වය තවත් වැඩිවෙන්නේ වීථියේ තැනින් තැන නවත්වා තිබෙන මොරිස් මයිනර් කාර් නිසායි. විශේෂයෙන්ම pedlar’s inn අවන්හල ඉදිරිපිට නවත්වා තිබෙන මොරිස් මයිනරය මේ වීථියටම ආවේණික වූ අංගයක් ගාණයි.
මේ සියල්ල සමඟින් ගාලු කොටුව ඇතුළේ පුංචි ඇම්ස්ටර්ඩෑමයක් මවන්න පෙඩ්ලර් වීථිය සමත්වෙලා තියෙනවා. ඒ නිසා මීළඟ වතාවේ ගාලු කොටුව නරඹන්න ගියෝතින් අඳුර වැටීගෙන එද්දී පෙඩ්ලර් වීථියට ගොඩවෙන්න අමතක කරන්න එපා!
♦ රජිත