2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

හරිම පාර කියා දෙමු

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

මේ ගෙවිලා යන්නෙ විභාග ප්‍රතිඵල ඇවිත් ඊට පසු කළයුතු දේ පිළිබඳව සාකච්ඡා කරන කාලය. වෙනත් වසරවලට වඩා වැඩි දෙනෙක් සතුටු වෙන ප්‍රතිඵලයක් මෙවර ලැබී තිබුණත් තමන්ට ලැබුණු ප්‍රතිඵල පිළිබඳව කණගාටු වෙන පිරිසක්ද ඒ අතරම ඉන්නවා. විභාගයෙන් මොන වගේ ප්‍රතිඵලයක් ලැබුණත් හැමදෙනාටම තියෙන ලොකුම ගැටලුව ඊළඟට අපි මොකද කරන්නෙ, කියන එක?

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අනුව රටේ තරුණ තරුණියන්ගෙ ජීවිතේ ප්‍රධානම කඩඉම සාමාන්‍ය පෙළ විභාගය. ඔවුන්ගෙ මුළු අනාගතයම තීරණය වන්නෙ මේ විභාගයෙන් පසු ගන්න තීරණය මත. මේ විභාගය සමත් වෙන කෙනෙකුට උසස් පෙළ පංතියට ඇතුළුවෙලා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න පුළුවන්. එතනදි තෝරා ගත හැකි විෂය ක්ෂේත්‍ර ගණනාවක්ම තියෙනවා.

විභාගයෙන් අවශ්‍ය සාමාර්ථ ලබාගන්න නොහැකි වුණ අයටත් තීරණයක් ගන්න වෙනවා. ආයෙත් විභාගය කරනවද? නැතිනම් රැකියාවකට යනවද? වෘත්තිය පුහුණුවක් ලබනවද මේ වගේ තීරණ රැසක් ඔවුන් ඉදිරියෙත් තියෙනවා. මොන විදිහෙ තීරණයක් ගත්තත් ඒ තීරණය ඉතාම වගකීමෙන් ගත යුතු එකක්. එතනින් ඉදිරියට තමන්ගෙ මුළු ජීවිතේම රඳාපවතින්නෙ මේ ගන්න තීරණය මත. නමුත් මේ තීරණය ගත යුතු හැම කෙනෙක්ම ඉන්නෙ අත්දැකීම් අඩු, දැනුම අඩු, ජීවිතේ ආරම්භක ළාබාල අවධියක. මේ නිසා මේ අයට නිවැරදිම තීරණය ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමේ යුතුකම මේ සමාජයෙ හැමදෙනාටම තියෙනවා.

නමුත් බොහෝ විට සිදුවෙන්නෙ තම යුතුකම මඟඇරලා දැන හෝ නොදැන ඔවුන් වැරදි මාවත් වෙත යොමු කිරීම. නැතිනම් දරුවන්ගෙ කැමැත්ත, දක්ෂතාව නොසලකා වැඩිහිටියන්, මවුපියන් කැමති මාවතට දරුවන් බලෙන් යොමු කිරීම. ඕනෑම අයෙක් තුළ කුමන හෝ දක්ෂතාවයක්, හැකියාවක් තියෙනවා. ඒ නිසා තමන්ගෙ අනාගතය සාර්ථක කර ගන්න නම් කළ යුත්තෙ තමන්ට තියෙන හැකියාව, දක්ෂතාව හඳුනාගෙන ඒ ඔස්සේ තම අනාගතයට යන පාර සකස් කර ගැනීම. තමන්ට හැකියාවක් දක්ෂතාවයක් නැති පැත්තකට යොමු වීම තුළින් ඉතිරි වෙන්නෙ අසාර්ථක පුද්ගලයෙක් පමණයි.

බොහෝ දෙමව්පියන් උත්සාහ කරන්නෙ සමාජය තුළ ඉහළ වටිනාකමක් හිමිවෙතැයි තමන් විශ්වාස කරන ක්ෂේත්‍රයක් වෙත තමන්ගෙ දරුවා යොමු කිරීම. ඒ අවස්ථාවෙදි ඔවුන් සලකා බලන්නෙ දරුවා තුළ ඒ කෙරෙහි දක්ෂතාවයක් හෝ හැකියාවක් තිබේ දැයි බැලීමට වඩා තම අභිමතාර්ථයන් දරැවා තුළින් ඉටුකර ගැනීම. මේ නිසා සිදුවන්නෙ සුන්දර සාර්ථක අනාගතයක් හිමි වටිනා තරුණයෙක් රටට අහිමිව ගිහින් අසාර්ථක පුද්ගලයකු බිහිවීම.

එසේ නැතිනම් සිදුවෙන්නෙ කාගෙන් හෝ ලැබෙන වැරදි උපදෙසක් අනුගමනය කිරීම නිසා වැරදි මාවතක් තොරා ගැනීම. “විද්‍යා විෂයන් තෝරගන්න එපා ඒවා අමාරුයි”, “ෆේල් වුණත් කමක් නෑ සයන්ස් කරලා නම්”,  “කලා කරලා කාටද හරියන්නෙ?”, “කැම්පස් ගිහින් වැඩක් නෑ මම නම් බිස්නස් එකක් පටන් ගත්තා. මම දැන් මාසෙට ලක්ෂයක් විතර හොයනවා”,ඒ ලෙවෙල්වලට කාලෙ කන එකේ ටෙක් කෝස් එකක් කරා නම් හරි.” මේ වගේ විවිධ වැරදි අදහස් සමාජ ගත කරන අය මේ දිනවල ඕනතරම් දකින්න පුළුවන්. මේ අය මේ අදහස් සමාජ ගත කරන්නෙ තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් අනුව. මේ එක් එක් අයගෙ පෞද්ගලික අත්දැකීම් අදාළ ඔවුන්ට පමණයි. මේවා අනුගමනය කිරීමෙන් සිදුවෙන්නෙ ජීවිතයම අසාර්ථක වීම.

මේ නිසා අවශ්‍ය වෙන්නෙ බොහෝ දුර ගමනක් යාම ආරම්භ කරන තරුණ පිරිසට හරිම තැනින් පටන් ගැනීමට කියා දීම. ඒ සඳහා අවශ්‍ය තොරතුරු දැනුම සොයා දී නිවැරදි උපදේශයක් ලබා ගත හැකි අය වෙත යොමු කිරීම. ඒ මගින් ඔවුන්ට හරියන පාර ඔවුන්ටම තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම.

එසේ නොමැතිව “අරක කරන්න, මේක කරන්න” යනුවෙන් ඔවුන් ඒ වෙත යොමුකරන එක නෙ‍ෙමයි. කෙනෙක් එහෙම කරනවා නම් ඒක මුළු සමාජයටම කරන බරපතල හානියක්. ඒ නිසා සියල්ලන්ගේම යුතුකම වන්නෙ අනාගතයට හොඳ අඩිතාලමක් දමා ගැනීමට සූදානම් වන තරුණ පිරිසට හරිම පාර සොයාගන්න මඟ පෙන්වන එක. එවිට ඒ අය තමන්ට ගැලපෙන පාර හොයා ගෙන ඒ දිගේ යාවි. එය දේශයේ හෙට දවසකට යහපත් ඇරඹුමක් වේවි.

► අසිරු කරුණාරත්න

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00