මගේ මිත්‍ර පාසල් ගුරුවරයෙක් උසස් පෙළ සිසුන් පිරිසක් සහභාගි කරවා ගනිමින් සමීක්ෂණයක් කළේය. ඔහු සිසුන් වෙත යොමුකළ ප්‍රශ්නය වූයේ, සමාජයේ සාර්ථක හා උසස් පුද්ගලයකු වීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවාද යන්නයි. ඒ සඳහා විවිධ හා පොදු පිළිතුරු රැසක් ලැබුණි. එක් ශිෂ්‍යයකු තම අදහස් දක්වා තිබුණේ මෙසේය.
1. මුදල් තිබීම (ධනවත් භාවය)
2. අගනා, නවීන, මෝටර් රථයක් තිබීම.
3. රුමත් බිරිඳක් හෝ පෙම්වතියක් සිටීම.
4. ඉංග්‍රීසි කතා කළ හැකි වීම.
5. කඩවසම් පෙනුම.
6. නවීන විලාසිතාවන් පිළිපැදීම.
තවත් ශිෂ්‍යයකුගේ අදහස මෙසේය.
1. දේශපාලනඥයකු වීම.
2. ව්‍යාපාර කළමනාකරණ දැනුම.
3. නවීන වාහන තිබීම.
4. නිතර රූපවාහිනියේ පෙනී සිටීම.
5.“එෆ්.බී.” (FB) භාවිතය හා තමන් පිළිබඳ ප්‍රචාරය කිරීම.
මෙයට වෙනස් අදහස් දැරූ ශිෂ්‍යයකු මෙසේ ලියා තිබුණි.
1. ගායන හා නර්තන හැකියාවන් තිබීම.
2. රියැලටි තරගවලට සහභාගී වීම.
3. මාධ්‍ය මගින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම.
4. දෙතුන් වරක් විවාහ වීම හා ඒ සෑම වාරයකම ඉතා ඉහළින් මංගල්‍ය උත්සව ගැනීම.
5. එෆ්.බී. තුළ නිතර නිතර පෙනී සිටීම. “ලයික්” දැමීම හා දමා ගැනීම.
පොදු අදහස් අතර, කැපී පෙනුණු දෙයක් වූයේ එෆ්.බී. නොහොත් මුහුණු පොත, සමාජයේ කැපී පෙනෙන, ජනප්‍රිය පුද්ගලයකු වීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් ලෙස බොහෝ දෙනා සළකන බවය.
මේ පිළිබඳව මම, අපේ පරම්පරාවේ කෙනකුගෙන් ඇසුවෙමි. ඔහු මෙසේ කීය.
“අපෝ.... මම නම් එෆ්.බී. එකේ නෑ.... ඕක කාලෙ නාස්ති කරන වැඩක්.”
“ඒ කියන්නෙ, ඔයා එෆ්.බී. බලන්නෙම නැද්ද?”
“බොහොම කලාතුරකින්... හැබැයි, මගේ වයිෆ් හැමදාම එෆ්.බී. ගිහින්, වැදගත් දේවල් තිබුණොත් මට කියනවා...”
“ඒකෙන් අදහස් වෙන්නෙ, එෆ්.බී. එකේ වැදගත් දේවලුත් තියෙනවා කියන එකද?”
“නෑ... ඒත් ඒ දේවල් දැනගෙන හිටියම, සමාජ ජීවිතේට ප්‍රයෝජනවත්.”
ඔහුගේ පිළිතුරත්,“එෆ්.බී. ලෝලී” ශිෂ්‍යයන්ගේ පිළිතුරුත් අතර කිසියම් සමානත්වයක් ඇතැයි මට හැඟුණි. සමාජ ජීවිතයක් සඳහා සමාජ මාධ්‍ය ජාලය අත්‍යවශ්‍යය.
එහෙත්, අපේ රටේ ප්‍රධාන පුරවැසියා නම් දරන්නේ වෙනත් මතයකි. මුහුණු පොත සම්පූර්ණයෙන්ම වසා දමන්නැයි, මව්පියන් තමාගෙන් ඉල්ලීම් කර ඇති බවද ඔහු පවසයි. දිගන ඇතිවූ අවාසනාවන්ත සිද්ධියේදී, මුහුණු පොත වසා දැමීමටද රජය ඉක්මන් විය. කටකතා හා ජාතිවාද අවුස්සන පුවත් ප්‍රචාරයට එෆ්.බී. යොදා ගැනීමට නම් අපද විරුද්ධය. ඒ සඳහා කිසියම් කළමනාකරණයක් අවශ්‍ය නමුදු, සමාජ ජීවිතයක් සඳහා නැතුවම බැරි යැයි කියන එෆ්.බී. හා අනෙක් සංනිවේදන අංග තහනම් කිරීමෙන්, සිදුවන්නේ රජය අපකීර්තියට පත්වීමකැයි කෙනකුට තර්ක කළ හැකිය.
හැම දෙයකම දෙපැත්තක් ඇත්තා සේ, මුහුණු පොතෙහිද හොඳ මෙන්ම නරකද ඇත. ඇතැම් අධ්‍යාපනඥයන් පෙන්වා දෙන අන්දමට, පොත්පත් නොබලන සමාජයක, ශිෂ්‍යයන් මුහුණු පොත හෝ බැලීම හොඳය. එක් ගුරැවරියක්, තම සිසුවියකගෙන් මෙසේ ඇසුවාය.
“ඔයා ලොකු වෙලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?”
“ෆේස් බුක් බලන්න...”
“නෑ ළමයා... ලොකුවෙලා මොනවද කරන්න බලාපොරොත්තු වන රස්සාව?”
“ගූගල් ඔෆිස් එකේ...”
“මව්පියන්ට ඔයා මොනවද කරන්න බලපොරොත්තු වෙන්නෙ?”
“මම ඒ දෙන්නටත් ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දෙනවා.”
“ඇයි ළමයෝ.... ඒකද ඒ දෙන්න ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ?”
“මේ දවස්වලනම් ඒ දෙන්න ඉල්ලන්නෙ මගෙ පාස්වර්ඩ් එක.”
එක් සමාජ විචාරකයකු අන්තර්ජාලයට පවසා තිබූ අන්දමට, මුහුණු පොත යනු, පිළිකාව මෙන්ම සුවකළ නොහැකි රෝගයකි. තවත් අයකුට අනුව, එය තම නිවස තුළම ඉදිකරගත් සිරගෙයකි. සිරකරැවකු මෙන්ම, ඔබ ඉන් පිටතට යන්නේ ශාරීරික අවශ්‍යතා ව්‍යායාම හා ආහාරපාන සඳහා පමණි.
මීට දශකයකට දෙකකට පමණ පෙර, “ග්ලෝබල් විලේජ්” නොහොත් “විශ්ව ග්‍රාමය” නමැති සංකල්පය ගැන කතා කරද්දී අප වැනි දූපත්වාසීන් ඒ ගැන බැරැරූම් ලෙස තැකුවේ නැත. මුලින්ම රූපවාහිනියත්. ඉන්පසුව අන්තර්ජාලයත් පැමිණීමෙන් පසු, අපට එය දැනෙන්නට විය. විශ්ව ග්‍රාමයේ රොඩු බොඩු, කුඩා දූපත් සංස්කෘතීන් වසා, වනසා දමන්නට සමත්ව සිටී. “එෆ්.බී.” යනු එහි එක් හස්තයක් පමණි. පළමු පුරවැසියා පවා ඊට එරෙහිව ගියහොත් සිදුවනු ඇත්තේ “එෆ්.බී.”ඔහුවද පෙරළා දැමීම පමණි.
මුහුණු පොත හා අන්තර්ජාලයට ඇබ්බැහි වූ යුවළක් ඔවුන්ගේ නම් ගම් වෙනස් කරගත්හ. සැමියා මිස්ට ෆේස් බුක්ය. බිරිඳ ලින්කෙඩින්ය. පුතා වට්ස්ඇප් ය. දුව ට්විටර්ය.
එක් දිනක්, බිරිඳ, සැමියා වෙත පැමිණ, සුරතල් බසින් මෙසේ කීවාය.
“ඒයි, ඔයාට හැපී නිව්ස් එකක් කියන්ඩ තියෙනවා. ඔයා මට තවත් බබෙක් “ඩවුන්ලෝඩ්” කරලා!”
►කපිල කුමාර කාලිංග