2018 අප්‍රේල් 13 වන සිකුරාදා

බඩතඩියාගේ පාඩම

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 89

හැම අවුරුද්දෙම වාගේ මේ අවුරුද්දෙත් අලුත් අවුරුද්ද ඇවිත්. පොඩි කාලෙදි අලුත් අවුරුද්ද කියන්නේ ඇඟිලි ගැන ගැන ඉන්න කාලයක් වුණාට, ටිකෙන් ටික ලොකු වෙන්න ගනිද්දි අලුත් අවුරුද්ද කියන්නේ තවත් හිතට බරක් විතරයි. ගමේ ගොඩේ කොහොම වුණත් නගරෙට වෙලා ඉන්න ගොඩක් අයට අවුරුද්ද කියන්නේ සෑහෙන්න බරක්. මොකද වෙන මාස වගේ දෙතුන් ගුණයක වියදම් මේ කාලෙට සෙට් වෙනවා. 

අපේ සංස්කෘතියේ කොටසක් විදිහට අලුත් අවුරුද්දට ලොකු තැනක් ලැබෙන බව ඇත්තයි. ජ්‍යෙතිෂ්‍යයට අනුව යන නැකැත් ඉෂ්ට කිරීමේ ඉඳන් මේ සියල්ල සංස්කෘතික කාරණා ටිකක්. නව සඳ බැලිල්ල, පරණ අවුරුද්දට ස්නානය වගේ ඒවා කොහොම වුණත් ළිප ගිනි මෙලවිල්ල, වැඩ ඇල්ලීම, අනුභවය, ගනුදෙනුව වගේ වැදගත් චාරිත්‍ර හැමෝම පුළුපුළුවන් විදිහට එකම වෙලාවට ඉෂ්ට කරනවා. සුබ අසුබ නැකැත් කෙසේ වෙතත් මුළු රටේම මිනිස්සු එකම වෙලාවකට එක වැඩක් කරනවා කියන එකේ නම් පොඩි ගත යුත්තක්, ආර්ට් එකක් තියෙනවා. 

හැබැයි අලුත් අවුරුද්ද සමරන්න කියලා රතිඤ්ඤා, චීන පටස් දාන එක නම් මහ ගොන්ම ගොන් චූන් එකක්. ගොඩක් ගෙවල්වල තාත්තලා, පිරිමි ළමයි නැකැත එනකල් බලන් ඉන්නෙ රතිඤ්ඤා පත්තු කරන්නයි. අන්තිමේදී වැඩ අල්ලන වෙලාවෙ කරලා තියෙන්නෙත් රතිඤ්ඤෙට ගිනි තියන එක. 

මම අන්තිමට රතිඤ්ඤයක් පත්තු කරද්දි වයස අවුරුදු පහළොවක් විතර ඇති. අපි යාළුවෝ සෙට් එක අවුරුද්දට ගෙනත් ඉතුරැ වෙච්ච රතිඤ්ඤා ටික පත්තු කර කර හිටියේ කම්මැළිකම නැතිකරගන්න කියලා හිතාගෙනයි. රතිඤ්ඤා එකින් එක පත්තු කර කර අපි පාරට දදා හිටියා. ඔහොම රතිඤ්ඤා දෙක තුනක් පිපිරෙන්න ඇති. ඉස්සරහා ගෙදර ගේට්ටුව ඇරගෙන එළියට ආවේ ‘බඩතඩියා’ කියලා අපි අතර ප්‍රසිද්ධ වෙච්ච අංකල්. ඒ අංකල්ට ඉස්ඉස්සෙල්ලම මාට්ටුව වුණේ මාව. එතකොටත් රතිඤ්ඤයක් ඈතට දාලා මම හිටියේ කන් දෙකම අතින් වහගෙන. 

සද්දෙ දරාගන්න අමාරැයි නේද? මගේ දිහා බලාගෙන බඩතඩියා කියන අංකල් ඇහුවා. 

අංකල් එන පොට හොඳ නෑ කියලා තේරුණත් කරන්න දෙයක් නෑ. ඉතින් මම කළේ පොඩි අහිංසක හිනාවක් දාන එකයි. 

ඔයාලටත් ඔය සද්දෙ දරන්න අමාරු නම් අර ගේ ඇතුළෙ ඉන්න පොඩි එකාට ඔය සද්දෙ කොහොම දැනෙනවා ඇද්ද? 

එයා එයාගේ ගේ දිහාට අත දික්කළා. 

තමුසෙලා දැන් පොඩි එවුන් නෙමේනෙ. අනුන්ට කරදරයක් වෙන විදිහට ජීවත් වෙන්නෙපා ඕයි එයා ඒ ටික කියලා ඉවර කරන්නත් කළින් මම එතැනින් මාරු වුණා. 

සිද්ධිය එච්චරයි. හැබැයි ඒක එතැනින් ඉවර වුණත් ඒකෙ බලපෑම තාමත් තියෙනවා. මොකද අපි ජීවිතේ ඉගෙන ගන්නේ අත්දැකීම්වලින්. 

රතිඤ්ඤයක් කියන්නෙ අලුත් අවුරුද්ද සමරන්න අත්‍යවශ්‍ය දෙයක් නොවෙනවා විතරක් නෙමේ, අලුත් අවුරුද්ද කැත කරන්න හේතු වෙන දෙයක්. අවුරුද්ද දාට පස්සෙ දවසේ පාරක් පාරක් ගාණේ තියෙන රතිඤ්ඤා කොටස් හින්දා අලුත් අවුරුද්දෙ අපේ මුළු පරිසරේම කසළ ගොඩක් වෙනවා. 

අනික් අතට මේ රතිඤ්ඤා හින්දා අපි අවට ඉන්න සත්තුන්ට සිද්ධ වෙන අකරතැබ්බ ගැනත් හිතන්න පුළුවන්නම් ලොකු දෙයක්. රතිඤ්ඤා දාලා අපිත් කන් වහගෙන දුවනවා නම් අපිට වඩා සංවේදී කන් තියෙන බල්ලෝ, පූසෝ, ලේන්නු වගේ සත්තු කොහොම ඉන්නවා ඇත්ද? 

අලුත් අවුරුද්ද කියන්නේ මොනවා නැතත් හරි ලස්සනට සැමරෙන දෙයක්. ඉතින් ඒකට අපේ ගොන් ගති ගාවගන්නෙ නැතිව ඉන්නවා නම් අවුරුද්ද තවත් ලස්සන කරගන්න අපිට පුළුවන්. 

- ජා