අසල්වැසි ප්‍රේරා මහතා පැමිණ ඔහු සමඟ කඩපොළට යාමට එන්නැයි මට කතා කළවිට මම පුදුමයට පත්වීමි. ඔහු මීට පෙර කිසි දිනෙක එසේ කතාකොට නැත. ඉන් මවිතයට පත් මගේ බිරිඳ ද මා දෙස රවා බලමින් මෙසේ කීවාය.
දෙන්නත් එක්ක සෙට් වෙන්න නේද යන්න හදන්නේ?
පිස්සුද? ප්‍රේරා එහෙම වියදං කරලා බොන මිනිහෙක්යැ?
ඒක තමයි කියන්නේ. මිනිහා ඕඩර් කරයි. මෙයා බිල ගෙවයි. යනව එහෙම නෙවෙයි ටවුමට. මේ අවුරැදු දවස්වල තව කොච්චර විදයම් තියෙනවද?
ප්‍රේරා ගේට්ටුව අසල බලා සිටී. මම දොරකඩ සිටම ඔහු ඇමතුවෙමි.
ඇයි මිස්ට ප්‍රේරා... මාත් එන්නම ඕනෑද?
වටපිට බැලූ ප්‍රේරා මා වෙත ආවේය. රහසින් මෙන් මෙසේ කීවේය.
මම පොල් ගෙඩි දහයක් ගන්න යන්නේ. වයිෆ් කිව්වා තනියට ඔයාවත් එක්කරගෙන යන්න කියලා.
ප්‍රේරාගේ ආරාධනයෙහි යටිපෙළ මට වැටහුණේ එවිටය.
මේ කාලේ පොල් ගෙඩි කීපයක් රැගෙන තනි පංගලමේ ගමන් කිරීම සෙල්ලමක් නොවේ.
අපගේ කන්තෝරුවේ සිටින සුනිල්ට පසුගිය දවසක, කුරුණෑගල සිටින ඔහුගේ ඥාතිවරයකුගෙන් පොල් මල්ලක් ලැබුණි. ඔහු ත්‍රීරෝද රථයකින් නිවස බලා යද්දී, අවිගත් මැරයකු ළඟට පැන පොල් මල්ල සොරාගෙන තිබුණි. තත්ත්වය භායානකය. ප්‍රේරා මා කැඳවන්නේ ආරක්ෂාවටය. මා පිළිබඳව මට කිසියම් අභිමානයක් ද දැනුණි. බිරිඳ සැකයෙන් බලා සිටියදී මම ප්‍රේරා සමඟ කඩපොළට පිටත් වීමි.
පොල් ගෙඩි දහයකට ජීවිතයක් බිලිවෙයි වැනි සිරස්තලයක් හෙට ප්‍රවත්පත්වල පොල් ගෙඩි අකුරින්ම පළවීමට ඉඩ ඇති බව සිහිවත්ම ඇඟ කළිපොළා ගිය නමුත්, මම පුරැෂ ධෛර්ය වඩාගෙන සිතට දිරි ගත්තෙමි. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡාවෙන් විසඳාගත හැකි බව මගේ විශ්වාසය හා අත්දැකීමය. (ඒ අනුව, සොරාට පොල් ගෙඩි දහයෙන් අඩක් දීමට අප එකඟ වනු ඇත. එය සම්මුතිවාදයට එකඟ සත්ක්‍රියාවකි.)
කඩපොළට ළං වෙද්දී, එයට එස්.ටී.එෆ් ආරක්ෂාව යොදා ඇති අයුරු දුර තියාම දිස්වුණි.
පොල් ලොරිය ඇවිල්ලා වගේ
ප්‍රේරා කීවේය.
පැය ගණනක් පෝලිමේ සිට පොල් ගෙඩි කීපයක් ලබා ගත් ජනයා කඩපොළින් පිටව යන්නේ හිටි අඩියේ නිර්පාක්ෂික ජනාධිපතිධූරයක් ලැබුණාටත් වඩා සතුටිනි. ප්‍රේරා මහතාව ද පොල් පෝලිමට රිංගවූ මම නගරය දෙසට පිය මැන්නෙමි
හැම තැනකම අවුරුදු කලබලයය. අතින් පයින්, ඉහින් කනින් මලු මලු එල්ලාගත් මිනිසුන්, උරෙන් උර ගැටෙමින් ගමන් කරනු පෙනේ. හැමදාම නත්තල් නැතැයි කිව්වා සේ හැමදාම අවුරැදු ද නැත. එසේ හෙයින් දොළොස් මසකට වරක් එන මේ උත්සවය කෙසේ හෝ සැමරිය යුතුය.
මම හැමදාමත් කියන අන්දමට මිනිසාට උත්සව අවශ්‍යය. ඊට මොකක් හෝ නිමිත්තක් තිබුණාම ඇත. උපන් දිනය පමණක් නොව අවමංගලය ද කා බි විනෝද වන උත්සව බවට පත්වෙයි. දාන මාන පිංකම් ද අවසන් වෙන්නේ බෝතලයක් දෙකක් වටා හිඳ විනෝද වීමෙනි. මෙය නූතන මිනිසාගේ ජීවන රටාව නොහොත් ජන සංස්කෘතියයි. සන්තෝසයක් ලැබිය හැකි තැන් මඟ හරින කුම්මැහියන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වචනවලින් කියනවානම් සන්තෝෂ මරුවෝය ඒ කෙසේ වෙතත් නගරයේ පිරී ඉතිරී සිටින මිනිසුන්ගේ මුහුණුවල නම් සතුටක සේයාවක් දක්නට නැත. ඒ වෙනුවට දක්නට ඇත්තේ ජීවන අරගලයේ වෙහෙස මහන්සියය.
තවත් තැනක දිගු පෝලිමක් දුටු මම, එහි ළං වූයේ මොනවා හෝ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලැබෙට දෙනවා දැයි බැලීමටය. භාණ්ඩය නම් අත්‍යවශ්‍ය වුවත් ලාබයක් නම් නොවීය. එය අරක්කු පොලිමකි! කල දුටු කල වළ ඉහගත යුතු බැවින් මම ද ඊට එක් වුණෙමි.
මා අසලම සිටි මැදිවියේ පුද්ගලයා, මිත්‍රශීලි සිනාවක් පෑවේය. ඉන් පසු කතාවට වැටුණේය.
කොච්චර බැරි අමාරුකම් තිබුණත් අවුරුද්දටත් කරන්න එපායැ නේද?
ඔහු ඉඟි කරන්නේ අවුරුද්දට බෝතලයකුත් අවශ්‍ය බවය.
අවුරුද්දට මත්පැන් බොන්ඩ කියලා නියමයක් නම් නෑ නේද? මම හරස් ප්‍රශ්නයක් දැමුවෙමි.
එහෙම කියන්ඩ එපා මිස්ටර්. අපේ දේශීය පානය අරක්කුනේ. ඒකේ මොනතරම් වටිනාකම් තියෙනවද?
වටිනාකම්?
නැතුව? ඔහු සිනාසී නැවතත් කතා කරන්නට විය.
මෙන්න මේවයි ඒ වටිනාකම්... මිත්‍රත්වය... ගායන, වාදන, නර්ථන කුසලතා... සටන්කාමීත්වය... නිර්ලෝභීත්වය... සබකෝලය නැතිවීම... වාග් චාතූර්ය... මානව ප්‍රේමය... ඡන්ද බලය...
මටද සිනාසෙනවා හැරෙන්නනට ප්‍රතිකර්මයක් නොවීය.
එහෙනම් මේකට ජාතිය ගොඩනැගීමේ බද්දක් ගහන්ඩ යන එක අසාධාරණයි නේද?
ඒක ඇත්ත. එතකොට මේක ඇල්කොහොලික් ජාතියක් වෙනවනේ... දැනටමත් එහෙම වෙලා තියෙන්නේ. ඒකනේ උඩ ඉඳන් පහළටම හැම දේකදීම වැනෙන්නේ.
ආගන්තුක මිත්‍රයා හක හක ගා සිනාසුණේය.
මම ආපසු කඩපොළ වෙත එන අතරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ පිරිස් පිරී සිටින ශාලාවක් දැක එතැන ළංවීමි.
මෙතැනත් මොනවාහරි ලාබෙට දෙනවද?
නෑ.. නෑ මෙතන කොහා පෙන්නනවා.
ශිෂ්‍යාවක් සිනාසුණාය.
කොහාද? කොකාද?
ඇය යළිත් සිනාසී, මට පිළිතුරු දුන්නාය.
නෑ අන්කල් කොහා... දැන් ඉන්න ළමයි කොහා කියන කුරුල්ලව දැකලා නෑනේ. ඒ නිසා එයාව කූඩුවක දාලා අවුරුද්දට පෙන්නනවා.
ඒ මොහොතේම ජාත්‍යන්තර පාසලක ළමුන් රැගත් බස් රථයක් එහි ළඟාවිය.
මම යළිත් ප්‍රේරා සිටින තැනට ගියෙමි.
මිස්ට ප්‍රේරා... බැරිවෙලාවත් එකම අවුරුද්දෙ සිංහල අවුරුදු දෙකක්හෙම වැටුණොත් අපි කපෝතී නේද?
මට එහෙම දෙයක්නේ සිද්ධ වෙලා තියෙන්නේ. මට අවුරුදු. නෝනට නත්තල්!
කාටහරි ලොක්කෙක්ට කියලා සිංහල අවුරුද්දයි, නත්තතලයි එකම දවසකට දාගන්න බලමුද? ඒක කාට කාටත් වාසියිනේ.
පිස්සුද? ඒක කොහොම කරන්නද?
ප්‍රේරා පුදුමයෙන් බලා සිටී.
ඕක මොකද්ද? මැයි පළවෙනිදත් වෙන දවසකට දාපු එකේ!
කපිලකුමාර කාලිංග