මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක දහඅට වැන්නයි. මෙවර ද අප හා එක්වන්නේ කතානායිකාවකි. ඉරෝෂා නානායක්කාර නම් ඈ වසර හතක පමණ සිට සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නීය. බ්‍රිතාන්‍ය, කැනඩා, අමෙරිකානු, ඔස්ට්‍රේලියානු ආදී ඉංග්‍රීසි භාෂාව මව්බස කරගත් සංචාරකයන්ට ඈ රටතොට පෙන්වන්නීය.
මීට පෙර අවස්ථාවකදී අප සඳහන් කළාක් මෙන් ගයිඩ් වෘත්තිය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන්නේ අතළොස්සක් තරම් වූ සංචාරක මාර්ගෝපදේශිකාවන් ප්‍රමාණයකි. ගයිඩ් බලපත්‍රය ලැබූ කාන්තාවන් රැසක් සිටියද ඔවුන් ගයිඩ් වෘත්තියට නොපිවිසීම ඊට හේතුවයි. එහෙත් දූවරු තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ඉරෝෂා දන්න කියන කාලයේ සිටම ගයිඩ් කෙනකු වීමට සිහින මැව් තැනැත්තියකි. ඈ මෙතැනට අහම්බයෙන් ගසා ආ තැනැත්තියක් නොව උත්සාහයෙන් කැපවීමෙන් ගයිඩ් වෘත්තිය තුළ ඉදිරියට ගිය කාන්තාවකි.
“අපේ තාත්තා සංචාරක බස් රියැදුරෙක්. තාත්තා රට වටේම ගිහිල්ලා ඇවිත් ඒ වෙච්ච රසවත් සිද්ධි අපිත් එක්ක කියනවා. ඉතින් ඒ හින්දම තමා මටත් හිතුණේ කවදහරි ගයිඩ් කෙනෙක් වෙන්න ඕනෙ කියලා”
එහෙත් ඇගේ සිතුම් පැතුම්වලට ගෙදරින් කිසිම බුරුලක් තිබුණේ නැත. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඈ අවසානයේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ ද නිවසේ බලකිරීමට ඉංජිනේරු උපාධියක් හැදෑරීමටය. එහෙත් ඇගේ දෛවය ලියැවී තිබුණේ වෙනත් ඉසව්වකටය. කවදත් තම ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට හුරුව සිටි ඈ හෝටල් පාසලෙන් ගයිඩ් පාඨමාලාව හදාරා සංචාරක ක්ෂේත්‍රයට පිවිසුණාය. ඒ වන විට ඉරෝෂාගේ ආසාව ඇල්ම ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයටම පමණක් බව ඇගේ මව්පියන් ද වටහාගෙන තිබුණි.
“මම ගයිඩ් කෝස් එක ඉවර කළේ 2006 අවුරුද්දෙදි. ඒත් 2011 වෙනකල්ම මට ගයිඩින් කරන්න ලැබුණේ නෑ. මම හිටියේ සංචාරක මෙහෙයුම් නියෝජිතයෙක් විදිහටයි. අන්තිමේදී ඒ රස්සාව පැත්තකින් දාලා මම ගයිඩින්වලට ආවා”
සංචාරක ක්ෂේත්‍රය යනු කාන්තාවන්ට එතරම් හොඳ තැනක් නොවේ යන්න ලංකාවේ පොදු මතය බව අමුතුවෙන් කිව යුතු නැත. උදේ හවස රස්සාවක් ලෙස සැලකිය හැකි හෝටල් රස්සාවට එක්වීමට පවා ලංකාවේ තරුණියන් මැළිවෙද්දී ගයිඩ් කෙනකු ලෙස දින ගණනාවක් නාඳුනන විදේශිකයන් කැළක් සමඟ රට පුරා යාමට ඉදිරිපත් වන්නේ දැඩි චිත්ත ශක්තියක් ඇති තරුණියකි. ඉරෝෂා එවැන්නියකැයි සිතුණේ ඒ ගැන විමසූ විට පළ කළ අදහස් නිසාවෙනි.
“ගැහැනු ළමයෙක් ගයිඩින් වගේ ක්ෂේත්‍රයක ඉන්න කොට ගොඩක් අය වපර ඇහින් බලන්න ඉඩ තියෙනවා. මම ඒක දන්නවා. මටත් එහෙම දැනුණු අවස්ථා තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි අපි අපිව අඳුනගෙන ඉඳීම. ඒ වගේම කාන්තාවකට වුණත් හොඳ පෞරැෂයක් තියෙන්න ඕනෙ. සමහරැ හිතන්න පුළුවන් මම හරිම ආඩම්බරකාරියක්, මනුස්සයෙක් එක්ක හිනාවෙන්නෙවත් නෑ කියලා, ඒත් අපේ සමාජයේ හැටියට එහෙම නොකර බැහැ”
ඈ කියන කාරණය බැහැර කළ නොහැක්කකි. කාන්තාවක් සුහදකමට පිරිනමන සිනාවක් පවා තමන්ට ලැබෙන ආරාධනයක් ලෙස පිළිගන්නා පිරිමින් අපේ රටේ බහුලය. එක්කෝ වැඩිපුරම සිටින්නේ එවැනි පිරිමින්ය.
අපි ඉරෝෂාගේ අත්දැකීම් ගැන කතා කරන්නට පටන් ගතිමු.
ඉරෝෂාට වැඩිපුර මුණගැසෙන්නේ තරමක් වයසින් වැඩි සංචාරකයන්ය. එනම් ජීවිතයේ සැඳෑ සමය ගත කරන සුද්දන්ය. එනිසාම වරක් ඉතාම අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්නටද ඉරෝෂාට සිදුවිය. ඒ සංචාරයක් අතරතුර සිදුවූ සංචාරකයකුගේ හදිසි මරණයකි.
“ඔය සිද්ධිය ඇතිවුණේ මීට අවුරුදු තුනකට විතර කලින්. ඒ කට්ටිය ඕස්ට්‍රේලියාවෙන් ආපු ටිකක් වයසක සංචාරක පිරිසක්. එතැන හිටියා අවුරැදු 72ක් වයස කෙනෙක්. එයාගේ නම බෙරී”
සංචාරය අතරතුර කිහිපවිටකදීම බෙරී විවිධ අකරතැබ්බවලට මුහුණ දුන්නේය. වරක් අනුරාධපුරයේදී තරප්පු පේළියෙන් වැටුණු ඔහු නැවත වරක් හබරණදී ඔරැවකට නඟින්නට ගොස් පය ලිස්සා ඇද වැටුණේය. එහෙත් දරුණු අනතුරක් සිදුවූයේ නැත.
රට පුරා දිවෙන round tour එකක් වූ මේ සවාරිය අතරතුරදී ඔවුහු මහනුවර නගරයට පැමිණ ප්‍රසිද්ධ තරු හෝටලයක නතර වූහ.
දින දෙකක් මහනුවර නැවතී සිටි ඔවුහු පසුදින උදේ ආහාරයෙන් පසු කෝච්චියේ නැඟී නුවරඑළියට යාමට නියමිතව තිබුණි. කෝච්චිය නුවරින් පිටත් වන්නේ දවල් 12ට පමණය. එනිසා සියලුදෙනාටම 10.30 වන විට බෑග් සියල්ල අසුරා කාමරවලින් පිටතට එන ලෙස ඉරෝෂා කල්තබා දැනුම් දී තිබුණි.
“මිස් 106 කාමරේ මහත්තයාගෙන් කිසිම සද්දයක් නෑ. මම බෑග්ස් ටික පල්ලෙහාට ගේන්න කියලා ගිහිල්ලා බැලුවත් කිසි සද්දයක් නෑ” ඉරෝෂා වෙත පැමිණි බෙල් බෝයි කෙනෙක් කීය.
“ඔයා ඇතුළට ගිහින් බලන්න. බඩු පැක් කරලා තියෙනවද බලන්නකො”
බෙල් බෝයි නැවත ආවේය.
“බඩු ටික පැක් කරලත් නෑ මිස්. ඇතුළේ කවුරුත් හිටියෙත් නෑ”
“ස්ටීව් ඔයා පොඩ්ඩක් ගිහින් බලන්නකො” ඕස්ට්‍රේලියානු නඩයේ ප්‍රධානියාට ඉරෝෂා කීවාය.
මඳ වේලාවක් ගෙවී ගියේය.
“මිස්, අන්න මිස්ට අර සර් කතා කරනවා”
දැන් හෝටලයෙන් පිටත් විය යුතු වේලාව ද පසුවී ගොසිනි. ඉරෝෂා 106 කාමරයට ගියේ තරමක කෝපයෙනි.
“Why Steve? What’s wrong?”
“He’s gone Irosha” ස්ටීව් කියූ දේ ඉරෝෂාට ඇසුණ ද එය එක්වරම පැහැදිලි වූයේ නැත.
“He’s, what?”
“Yes. He’s dead” ස්ටීව් කියද්දී ඉරෝෂා තුළ ඇති වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි කම්පනයකි.
බෙරී නමැති සංචාරකයා නාන කාමරයේ කොමඩ් එක මත සිටියදීම මියගොස් තිබුණි. ඔහු හදිසි හෘදයාබාධයක් නිසා මියගොස් සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිශ්චය කෙරුණි. අවසානයේදී බෙරීගේ මරණය නිසා සංචාරයට ද විශාල බාධා පැමිණි නමුත් මෘතදේහයේ වැඩකටයුතු සියල්ල ස්ටීව්ගේ ද සහායෙන් සිදුකිරීමෙන් අනතුරුව ඈ නැවතත් තම සංචාරක කණ්ඩායම සමඟ එක්වූවාය.
“ඒක නම් හරිම භයානක අත්දැකීමක්. ඒ ඇතිවෙච්ච බය මට අවුරුද්දක් එකහමාරක් විතර යනකල්ම තිබුණා. දැනටත් ඒ සිද්ධිය වෙච්ච හෝටලේට ගියාම මට නින්ද යන්නෙ නෑ”
මේ සිද්ධියෙන් අනතුරැව තමා කොයිතරම් කම්පනයට ලක්වීද යත් වයස්ගත සංචාරකයන් පැමිණි විට ඔවුන්ගේ සුළු වෙනසක් ගැන පවා තමා වුවමනාවටත් වඩා සැලකිලිමත් බව ද ඉරෝෂා අප සමඟ පැවසුවාය.
“මේ ළඟදි ආවා වයස අවුරුදු 95ක ලේඩි කෙනෙක්. එයත් ඕස්ට්‍රේලියන් එක්කෙනෙක්. ඉතින් ඔන්න දවසක් බස් එකේ හිටපු ඔක්කොම බස් එකෙන් බැහැලා ගියත් මේ ලේඩි බැස්සෙ නෑ. මම ටක් ගාලා ගිහින් කළේ නහය ළඟින් අත තියලා හුස්ම වැටෙනවද බලපු එකයි” ඉරෝෂා ඒ ටික කීවේ සිනාසෙමිනි. එහෙත් සංචාරක මාර්ගෝපදේශකයකු සතු වගකීම කොයිතරම් ද යන්න ඒ තුළ සැඟවී සිටී.
ඉරෝෂාට කියන්නට ඇති සිදුවීම්වලින් බහුතරයක්ම ඈට සිද්ධවුණු අකරතැබ්බයන්ය. පෙර කිව් අකරතැබ්බය තරමක් භයානක වුවද අනෙක් සිදුවීම් නම් මතක් කරමින් හොඳ හැටි සිනාසිය හැකි ඒවාය.
“මට නිතරම පාරවල් වරදිනවා අනේ...” ඉරෝෂා කියන්නේ ලජ්ජාසහගත සිනාවක් ද මවාගනිමිනි.
“එකපාරක් කිතුල්ගල ගිහිල්ලා ආපහු එද්දි මට පාර වැරදුණා. වෙනදට ඒ පැත්තෙ කෙනකුත් සහායට ඉන්නවා. ඒත් එදා මම හිටියෙ තනියම. හැබැයි මම පාර වැරදුණා කියලා ගෙස්ට්ලට පෙන්නන්න ගියේ නෑ. කොහොම කොහොම හරි ඔරුවකිනුත් ගොඩවෙලා අන්තිමට කිතුල්ගල රෙස්ට් එක හොයාගෙන එන්න පුළුවන් වුණා. හොඳම වැඩේ කියන්නේ ගෙස්ට්ලත් කිසි කතාවක් නැතුව මගේ පස්සෙන් ආපු එකයි. දැන්නම් මතක් කරද්දිත් හිනා යනවා”
තවත් වරක් ඈ සංචාරකයන් පිරිසක් සමඟ ත්‍රිකුණාමලයේ සවාරියකට ගොස් සිටියාය. ඔවුන් නැවතී හුන් හෝටලයේ සිට ගැරිසන් කනත්ත තිබුණේ මිනිත්තු කිහිපයක දුරිනි. බස් රථයට ගොඩබට පසු ඈ සංචාරකයන්ට ද පැවසුවේ මිනිත්තු පහකින් ඔවුන් ගැරිසන් කනත්තට ළඟාවන බවය. සංචාරකයන් අසන විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හුන් ඉරෝෂාට කාලය ගතවී යාම ගැන නිනව්වක් තිබුණේ නැත. අන්තිමේදී බලන විට ගැරිසන් කනත්ත පසුකොට ඔවුන් බොහෝ දුරක් පැමිණ තිබුණි. දැන් බස් රථය හරවන්නට ගියෝතින් පාර වැරදුණු බව සංචාරකයන් ද දැනගනු ඇත. එය ඔවුන්ගේ විශ්වාසයට හොඳ නැත.
පාර අයිනේ සවිකර තිබූ under construction යැයි සඳහන් පුවරුවක් ඒ මොහොතේ ඉරෝෂාගේ පිහිටට ආයේය.
“අපි ගැරිසන් කනත්ත පහුකරලා ආවේ මෙහේ තියෙන ලස්සන ගමක් බලන්න. ඒක සිංහල මුස්ලිම් මිනිස්සු හොඳට සාමකාමීව ජීවත්වෙන තැනක්. ඒත් මේ පාර හදන හින්දා අපිට එතැනට යන්න බැරි පාටයි. කරන්න දෙයක් නෑ, අපි හරවගෙන යමු” ඉරෝෂාගේ වචන ගැන විශ්වාස තැබූ සුද්දෝ මහත් සේ කම්පාවට පත්වූහ.
ඈ එකෙණෙහිම බස් රථයට විරුද්ධ දෙසින් ගොනුන් දෙදෙනකු බැඳි කරත්තයක් පදවාගෙන යන මිනිසකු දුටුවාය.
“ඔය ගොන් කරත්තෙ එන්නේ මම අර කියපු ගමේ ඉඳන් තමයි”
අන්තිමේදී ගමට යන්නට බැරිවුණු සුද්දෝ, ගොන් කරත්තයට මඟ අවුරා සිටගෙන පැය කාලක් පමණ තිස්සේ ගොනුන් සමඟ පින්තූර ගත්හ.
රජිත ජාගොඩ ආරච්චි
(තවත් කොටසක් ලබන සතියේ)