අපගේ නිවස ඉදිරිපිට තිබෙන නෙල්ලි ගසෙන් “කොහෝ... කොහෝ...” හඬ මේ අවුරුද්දේ මුල්වරට ඇසුණේ මාර්තු මුල සතියේය. “තාත්තේ අවුරුද්ද ළං වෙලා” යැයි පැවසූ පුතා කොහා දකින්නට ගස මුලට ගියේය. කොහෝ හඬ ඇසෙන විටම අප සිත් අතීතයට දුව යයි. අද නම් අපට අවුරුද්ද කොහාටත් කලින් මතක් කරන්නේ කොම්පැණිවල දැන්වීම්ය. එදා එලෙස දැන්වීම් ආධිපත්‍යයක් දැකගත හැකි වුණේ නැත. මේ නිසා ගමට මෙන්ම නගරයට ද අවුරුද්ද ගැන මතක් කළේ කොහා හෙවත් කෝකිලයාය.
අවුරුදු කොහා
ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල වාසය කරන මේ පක්ෂියා වසර පුරාම දැකගත හැකියි. නමුත් විශේෂත්වය නම් අප්‍රේල් මාසය ළං වනවිට උන් නොකඩවා නාද කිරීමට පටන් ගැනීමයි. එයට හේතුව උගේ බිත්තර දමන සටන ආරම්භ වන්නේ අප්‍රේල්වල නිසාය.
කොවුලාගේ පිරිමි සතා තද නිල් පැහැයට හුරු කළුපාටින් යුක්තය. දෑස් දිදුලන රතු පාටින් යුක්ත නිසා කපුටාගෙන් වෙන්කර හඳුනාගත හැකිය. කොහාගේ ගැහැනු සතාගේ සිරුරේ පියාපත් කළුවට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර සිරුර පුරාම සුදු පැහැති ලප විසිරී තිබේ. කොවුලා තමන්ගේම කියා කැදැල්ලකට උරුකම් නොකියන පරපුටු පක්ෂියෙකි. කෙවිලිය බිත්තර දාන්නේ වෙනත් පක්ෂියකුගේ කැදැල්ලේය. කපුටු කූඩුවල උන් බහුලව බිත්තර දමති. කුඩා අවධියේදී කපුටු පැටවුන් හා කොහා පැටවුන් සමාන නිසා කටුටිය විසින් පැටවුන් ද පෝෂණය කිරීම සිදුවේ. මාදං, හිඹුටු, අඹ වැනි පලතුරු ආහාරයට ගැනීමට ඌ වැඩි රුචියක් දක්වයි.
කොවුලා ගැන සඳහන් අපූරු සංස්කෘත ශ්ලෝකයක අරුත මෙසේය:-
“කපුටා කළුය. කොවුලාත් කළුය. ඉතින් කපුටාගෙන් කොවුලා කෙසේ වෙන්කර හඳුනාගන්නද? ඒත් වසන්ත කාලය පැමිණි විට කපුටා කාක් කියාද කොවුලා කොහෝ කියාද හඬ නගයි.”
හින්දුන්ගේ ගවයා
සිංහල අවුරුද්දට පෙර ජනවාරි මාසයේදීම හින්දුන්ගේ තෛපොංගල් උත්සවය සැමරේ. “තෛ” යනු දමිළ බසින් ජනවාරි මාසයයි. “පොංගල්” යනු සශ්‍රීකත්වයයි. ඒ අනුව සෞභාග්‍යය අර්ථවත් කරමින් මේ උත්සවය පැවැත්වේ.
තෛපොංගල් උළෙලේදී වැදගත් තැනක් හිමිකර ගන්නා සත්ත්වයෙකි ගවයා. දින තුනක් පුරා පවත්වන මේ උත්සවය තෛපොංගල්, කානුම් පොංගල් හා මාට්ටු පොංගල් නම්වලින් හැඳින්වේ.
තුන්වැනි දිනය හෙවත් මාට්ටු පොංගල් වෙන්ව ඇත්තේ ගවයා යනුවෙනි. ගොවිතැනට බඩු ප්‍රවාහනයට උදව්වන ගවයාට එදින විවේක ලැබේ. උගෙන් කිසිම වැඩක් නොගෙන පිරිසිදු කර මල්මාලා පළදවයි. අලුත් ළිපක් බැඳ අලුත් මුට්ටියක කිරිබත් පිස රස කැවිලිද සමඟ ගවයාට පිළිගන්වයි. ගවයාට කලගුණ සමරමින් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීම එහි අරුතයි.
හින්දු ජාතිකයන්ගෙන් 80%ක් පමණ ගවයා දේවත්වයෙන් සලකනු ලැබේ. ඔවුන් ගවයන්ට “ගෝ මාතා” යන ගෞරව හැඳින්වීම ලබාදී ඇත. ගවයා සමෘද්ධියේ සංකේතයක් ලෙස පුරාණයේ පටන්ම සලකා තිබේ. මහලු වියට පත් හා රෝගී ගවයන්ට ගෞරවයෙන් ඇප උපස්ථාන කිරීම ද ඉන්දියාවේ දක්නට ලැබේ.
හින්දු ආගම බිහිවීමට පෙර ඉන්දියාවේ පැවති වෛදික ආගම්වලද ගවයාට මුල් තැනක් ලැබී තිබුණි. පැරුණි ඍද්වේද ස්ත්‍රෝත්‍රවල ගවයන් සම්බන්ධ ස්ත්‍රෝත්‍ර දස දහසකට වඩා පවතී.
සීතලත් සමඟ එන පිනි මුවා
දෙසැම්බරයේ සීතලත් සමඟ නත්තල් අසිරිය ලොව පුරා පැතිර යයි. ඒ සමඟම නත්තල් සීයා කලඑළි බසී. කළු පැහැති බද පටියක් පැළඳ රතු ලෝගුවකින් සැරසී නත්තලට පෙර දින රෑ ලෝකය පුරා දරුවන් සොයා එන නත්තල් සීයා එන්නේ සීතල උත්තර ධ්‍රැවයේ සිටය. තෑගි පුරවාගෙන එන ඔහුගේ රථය අදින්නේ ඉගිල යන පිනි මුවන් නව දෙනෙකු විසිනි. මොවුන්ගෙන් පළමු මුවන් අටදෙනා ඊට එකතු වන්නේ 1823 දී ක්ලමෙන්ට් ක්ලාක් ලියූ “නත්තලට පෙරදින රෑ” නම් පැදිපෙළ හරහාය. රතු පැහැති නාසයකින් යුත් නව වැනි පිනිමුවා හඳුන්වා දෙන්නේ 1939 දී රොබට් එල් මේ නමැති ලේඛකයා විසිනි.
පියාඹන පිනිමුවා සංකල්පයක් පමණි. සැබෑ පිනිමුවන් ආක්ටික් හා උපආක්ටික් ප්‍රදේශවල අධික සීතල මැද ජීවත් වෙති. පිනිමුව විශේෂ ගණනාවක් කැනඩාව, උතුරු අමෙරිකාව, ග්‍රීන්ලන්තය, පින්ලන්තය, නෝර්වේ, රුසියාව, මොංගෝලියාව ආදී රටවල විසිරී සිටිති. සමහර රටවල මස් හා කිරි ලබාගැනීම සඳහා පිනිමුවන් ඇති කරනු ලැබේ.
පිනිමුවන්ගේ දේහය හා ලොම් සහිත සම අධික ශීතලට ඔරොත්තු දෙන පරිදි සැකසී ඇත. ශීත කාලයේ දී ආහාර හිඟයෙන් මිදීමට ඌ වෙනත් පෙදෙස් සොයා සංක්‍රමණය කරති. එලෙස වසරකදී කි.මී. 5000ක් පමණ ගෙවා යනබව හෙළිවී තිබේ.
චීන මකරා
චීනයේ රාශි චක්‍රයේ විවිධ සතුන් සිටින රාශි 12කින් යුක්තය. ඒ අතරින් බලවත්ම රාශිය ලෙස සැලකෙන්නේ මකරාය. වසර 12කට වරක් බැගින් මේ සතුන්ට කැපවුණු අවුරුදු උදාවේ. ඒ අනුව 2012 මකරාගේ වර්ෂය ඒ අතර යළිත් 2024 දී මකර වර්ෂයක් උදාවේ. 2018 වර්ෂය බල්ලාගේ වර්ෂයකි. මකර වර්ෂයේදී සෑම උත්සවයකම මුල් තැන ලැබෙන්නේ මකර සංකේතයටය.
මකරාගේ අවුරුද්දේදී දරුවන් බිහිකිරීමට ද චීන්නු උනන්දු වෙති. මේ නිසා මකර අවුරුදුවල ජනගහන වර්ධනය අධික බවත් පැවසේ. මකර දරුවන්ගේ හොඳ ගතිගුණ ලෙස උසස් බුද්ධිය, හොඳ තේරුම් ගැනීමේ හැකියාව සහිත වීම, ජව සම්පන්න වීම, නායකත්ව ලක්ෂණ දැක්වේ. දුර්වලතා ලෙස සඳහන් වන්නේ අහංකාර බව, රළු ගතිගුණ හා නොඉවසිලිමත් බවයි.
චීනය මකරා සමඟ දීර්ඝකාලීන සබඳතාවයක් ගොඩනගාගත් රාජ්‍යයකි. 16 වැනි සියවසේදී ශෑන් සහ සූ රාජවංශයන්හි මකරා වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බව සඳහන්ය. චීන ඉතිහාසඥ සූ චොං පවසන්නේ මකරා යන්නෙහි අරුත “අකුණ” යන්නට සමාන බවයි.
මේ නිසා චීනයේ සෑම සංස්කෘතික උත්සවයකම පාහේ කුමන හෝ තැනක මකර සංකේතයක් නැති වුණහොත් එය පුදුමයකි.
► කුසුම්සිරි