2018 අප්‍රේල් 13 වන සිකුරාදා

රණවන පින්බිමේ සුවිසල් සක්මන් බුදුරැව

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 1202

කොළඹ මහනුවර මාර්ගයේ පිළිමතලාව නගරය පසුකර කිලෝමීටර් තුනක් පමණ ගිය පසුව මහාමාර්ග කෞතුක වස්තු සංකීර්ණය අසල දුම්රිය හරස් මඟ හමුවේ. එතැනින් වම්පසට දිවෙන පටු මාවතේ තවත් කිලෝමීටරයක් පමණ පසුකළ යුතුය. කඳු පල්ලම් තැනිතලා වංගු පසුකරමින් ළඟාවන ගමනාන්තය වනරොදක් මැද වූ පින්බිමකි.

කොළ පැහැයේ විවිධ ප්‍රභේදවලින් සුසැදි වනගොමුවේ සිසිල මැද මේ චාරිකාව ලොව උසම සක්මන් බුදුපිළිම වහන්සේ වැඩහිඳින පිළිමතලාව රණවන පුරාණ රජමහා විහාරස්ථානය වෙතය. විහාර බිම ඇරඹුමේ ප්‍රධාන පිවිසුම තේජාන්විතය. ඉන්දියාවේ සාංචි ස්ථූපය අසල ඇති උතුරු දොරටුවේ අනුරුව ඒ සඳහා අපූරුවට නිර්මාණය කොට තිබේ. බෞද්ධ කලා ශිල්ප අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් සාංචි තොරණ අංගසම්පූර්ණව නිමවා ඇති සහ ලංකාවේ දැකගැනීමට හැකි එකම ස්ථානය මෙය පමණය. මෙහි බෝසත් චරිතයේ විශේෂ සිදුවීම්, බෞද්ධ ඉතිහාසය, සත්බුදුවරුන්, විවිධ කැටයම් හා මෝස්තර ජාතක කතාවලින් අලංකාරය. සාංචි තොරණ පසුකළ සැණින් දකුණුපස ඉවුරේ නිර්මාණය කළ වනපොත් කරන කුඩා සාමණේර හිමියන්ගේ රුව දැකුම්කළුය. ඒ අසලින් දිවෙන ප්‍රවේශ මාර්ගය වම්පස වලාකුළු බැම්මකින් සරසා තිබේ.

එහි කෙළවරින් වම්පසට කඳු මුදුනට දිවෙන පියගැටපෙළ සහිත මාර්ගය තරණය දුෂ්කරය. එහෙත් සැදැහැවතුනට එහි වගක් නැත. පියගැටපෙළ දෙපස රෝපණය කළ අටවිසි බෝධීන් වහන්සේලා මනාව වැඩෙමින් පවතී. ඒ සෑම බෝධියක් අබියසම ශෛලමය ස්වරූපයෙන් සමාධි පිළිම වහන්සේලා තැන්පත් කර ඇත්තේ විහාර බිමේ අසිරිය වඩවන ලෙසය. කන්ද තරණය කිරීම ආරම්භයේදීම වම්පස තණබිමේ අපූරුවට නිර්මාණය කර ඇත්තේ “සොත්ථිය බමුණා බුදුරජාණන් වහන්සේට කුසතණ පූජා කිරීම” නම් අවස්ථාවයි. ඊට තරමක් දකුණුපසට වන්නට “අංගුලිමාල දමනය” මූර්තියට නගා තිබේ. මෙකී ස්ථානය පසුකළ විට කඳුකර බිමේ තරමක් ගෙවා අවසන්ය. එහිදී හමුවන්නේ තරමක තැනිතලා මාර්ගයකි. එහි මඳ දුරක් ගිය තැන “අභිනිෂ්ක්‍රමණය” විදහාපාන මූර්තියක් නිර්මාණය කොට තිබේ. එහි අශ්වයෙක් පිට නැඟි සිදුහත් කුමරු මෙන්ම චන්න ඇමැති අසලින් සිටින අයුරු දක්වා තිබේ.

අනතුරුව ගමන් මඟේ තරමක් අසීරු ස්ථානයකි. නමුත් එම ස්ථානය අපූරුය. සොබාදහමෙන් නිර්මාණය වූ විශාල පර්වත දෙකක් අතර පටු ඉඩක් හරහා පඩිපෙළ සහිත මාර්ගය කඳු මුදුනට දිවෙයි. එම ප්‍රදේශය පසුකළ පසුව වම්පසින් දකින්නට ලැබෙන අපූරු නිර්මාණයකි. එහි දැක්වෙන්නේ වෙස්සන්තර ජාතකය සිහිගන්වන වෙස්සන්තර රජු ජූජක බමුණාට ජාලිය, ක්‍රිෂ්ණජිනා දන්දීමේ අවස්ථාවය. ඉන් මඳක් ඉදිරියට යත්ම ගල්වැටියක් අද්දර ගුහාවක් ස්වරූපයට නිමවා එහි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මංචකය නිමවා තිබේ. එතැනින් ඉහළට යත්ම“පාරිල්‍යෙය වනයේදී ඇතා හා වඳුරාගේ උපස්ථාන ලද බුදුරදුන්” අපූරුවට නිර්මාණය කර තිබෙනු දැකිය හැකිය.

මේ ඇරඹෙන්නේ රණවන පුරාණ රජමහා විහාරය ලෝකය ඉදිරියේ නම් සටහන් තබන්නට සමත් වූ ලොව උසම සක්මන් පිළිමය ස්ථාපිත අභිනව පින්කෙතේ ඇරඹුමය. කන්ද මුදුනේ කෙළවර බෑවුම කොන්ක්‍රීට් කණු හා බැමි මගින් අතුරා විශාල පරිශ්‍රයක් ලෙස නිර්මාණය කර ඒ මත උස් වූ වේදිකාවක් තනවා නෙළුම් මලක් මත සක්මන් බුදුපිළිම වහන්සේ සිටුවා තිබේ. දුටු පමණින් සිත් පහන් වන බුදුරුව උසින් අඩි 80 කි. නෙළුම් මල සහ පාදම සමඟ සමස්ත උස අඩි 100 කි. සක්මන් බුදුපිළිමය පසුපසින් ඇවිද එන අසූමහා රහතන් වහන්සේලාගේ දර්ශනය අපූරුය. මේ සක්මන් පිළිම වහන්සේ පසුපසින් සුමන සමන් දේව ප්‍රතිමාවක්ද නිර්මාණය කර ඇති අතර එම ස්ථානයට ප්‍රදේශයේ අවට කඳුකර පරිසරය මනාව දර්ශනය වේ.

මෙතෙක් වේලා කඳු සහිත මාර්ගය ගෙවා සක්මන් පිළිම වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව අසූමහා රහතන් වහන්සේලා පිළිම පසුකරමින් තැනිතලා බිමේ ඇවිද යා හැකිය. එහි තැනෙක සත්‍ය ගවේෂණය සඳහා දුෂ්කරක්‍රියා කරන බෝසතාණන්. පරිනිර්වාණ මංචකය, දෙව්දත් තෙරුන් ගල් පෙරළීම, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස, හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ වැඩම කරවීම, දහම්සොඬ ජාතකය, දෙවන පෑතිස් රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීම ඇතුළු බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා රැසක් නිර්මාණය කර තිබෙනු දකින්නට පිළිවන. කඳු මුදුනේ සිට පහළට එන අතරමඟ දකින මේ දර්ශන අතර සියලු විහාරංගවලින් පරිපූර්ණ ඓතිහාසික රණවන පුරාණ රජමහා විහාරය මනස්කාන්තය.

මේ පින්බිම වන්දනයට පැමි‍ණෙන සැදැහැවතුන් සැමදෙනා සොඳුරු වනගත පරිසරය එලෙසින්ම සුරැකිව තැබිය යුතුය.

™කතාව/සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00