2018 අප්‍රේල් 13 වන සිකුරාදා

දේවාලයේ දඩමස් විකිණු කඩවර දේවාලයේ කපුවා

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:01 340

කතරගම පුදබිමට යන එන සියලුදෙනා ඒ බිමට යන්නේ එන්නේ ඉතා භක්තියකින් හා ගෞරවයකින් යුතුවය. ඒ කිරිවෙහෙර සෑරදුන් හා කතරගම දෙවිහාමුදුරුවන් නිසාය. එහෙත් රටවැසියා තුළ කතරගම දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය කෙලෙසන පිරිස්ද නැතුවා නොවේ. එවැනි පුවතක් පසුගිය දින අපට කතරගම පුදබිමෙන්ම අසන්නට ලැබුණි. එය ලියන්නටද ලැබීම කණගාටුවට කරුණක් බවද නොකියාම බැරිය.

මහානුභාව සම්පන්න කතරගම දෙවිහාමුදුරැවන් වැඩ සිටින මහ දේවාලයටත් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේටත් වම්පසට වන්නට මැණික් ගඟට බැසීමට ඇති ජීවමාලි තොටුපොළට පෙර පිහිටා ඇත්තේ මහානුභාව සම්පන්න කඩවර දෙවිහාමුදුරුවන්ගේ දේව මාලිගයයි. මැණික් ගඟේ ජීවමාලි තොටුපොළ යනු කතරගම ඇසළ මංගල්‍යය අවසන දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරන තොටුපොළයි. කඩවර දෙවි හාමුදුරුවන් නම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආරක්ෂාවට සිටින අයෙකු ලෙසයි ජනප්‍රවාදවල සැළකෙන්නේ. අපේ රටේද සියලුදෙනා කඩවර දෙවියන් කියූ සැණින් සියල්ලෝ භය භිරන්ත වී යන්නේ කඩවර දෙවියන් වැරදිකරුවන්ට දඬුවම් කරන දෙවියකු වන නිසාය. පැරුන්නන් කඩවර දෙවියන් පිළිබඳව සඳහන් කරන්නේ හොඳට හොඳ වගේම නරකට වඩාත් නරක දෙවි කෙනෙකු ලෙසය. ඒ නිසා කඩවර දෙවියන්ට ජනතාව තුළ ඇති භය එදා මෙන් අදටද ශේෂව පවතී. අනිත් දෙවියන්ට තබන පුද පූජාවලට වඩා කඩවර දෙවියන්ට තියන පුද පූජා ක්‍රම බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ පුද පූජා සඳහා පළතුරු පූජා වට්ටි ලෙස තැබුවද කඩවර දෙවියන්ට තබන පුද පූජා අතරට පළතුරු, කැවිලි වර්ග හා පුළුටු වර්ගද තබයි. මන්ද බොහෝ පිරිස් කඩවර දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට එන්නේ විවිධ පලිගැනීම් වෙනුවෙන් හෝ හදි හූනියම් ආදිය වෙනුවෙනි. සරලවම කිව්වොත් කඩවර දෙවියන් හොඳට හොඳ වගේම නරකටද පමණටත් වඩා නරක කෙනෙකි. ඒ නිසා අදටත් කඩවර දෙවියන් කෙරෙහි ජනතාව තුළ පවතින්නේ දැඩි බියකි.

කඩවර දෙවියන්ට ජනතාව එතරම් බය වනවිට එහි වැඩකරන පිරිස් කොතරම්නම් බිය විය යුතුද යන්න අප ලිවිය යුතු නැත. මන්ද රටේ ජනයාටත් වටා තිස්තුන් පැයෙහිම දෙවියන් හා වැඩ කරන පිරිස් දෙවියන්ගේ බලය ගැන ඕනෑතරම් දන්නා නිසාය. එහෙත් පසුගිය 03 වැනි දින කතරගම පූජා භුමියේ පිහිටි කඩවර දේවාලයෙන් අපට අසන්නට ලැබුණේ පුදුමය දනවන පුවතකි. සියලුදෙනා දේවාලයකට යන්නේ පුද පූජා තබන්නටය. දෙවියන් පුදන්නටය. පසුගිය 03 වන දින රාත්‍රියේ 10.40ට පමණ ලුණුගම්වෙහෙර, තණමල්විල හා කිතුල්කොටේ වනජීවී නිලධාරීන් පිරිසක්ද හදිසියේම කතරගම කඩවර දේවාලයට ගියේය. ඒ පුද පූජාවක් පවත්වන්නට නම් නොවේ. වනජීවී නිලධාරීන් හදිසියේ මෙම දේවාලයට කඩා වැදුණේ ඔවුන්ට ලැබුණු විශ්වසනීය ඔත්තුවක් නිසාය. වනජීවී නිලධාරීන්ට ලද ඔත්තුවෙන් කියවුණේ කඩවර දේවාලය අසල පිහිටා ඇති එම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ නවාතැන්පොළ තුළ දඩයම් කරන ලද මුවකුගේ මස් ඇති බවයි. මෙම ඔත්තුව ලැබුණු වනජීවි නිලධාරීන්ද විස්මයට පත්විය. කෙසේ වෙතත් මෙම විශ්වසනීය තොරතුර පිළිබඳව දෙවරක් නොසිතූ වනජීවි නිලධාරීන් පිරිස 03 වැනි දින රාත්‍රි 10.40ට පමණ කතරගම දේවාල සංකීරණයට අයත් කඩවර දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ නවාතැන් පොළ වැටලීය. ඒ වනවිට වේලාව රාත්‍රි 10.45 පමණ වී තිබුණි. එම දේවායේ ප්‍රධාන කපු මහතා ඒ ව විටත් සිය නවාතැන්පොළෙහි සිටි අතර වනජීවී නිලධාරීන් එහි යනවිට නවතැන්පො‍ළෙහි දොරගුළු ලා තිබුණි. වනජීවී නිලධාරීන් දේවාලයේ කපු මහතාට දොරට තට්ටු කර කතා කළත් කපු මහතා දෙවියන්ගේ ඇති හාස්කම් කියවනවා මිසක් දොර නම් විවෘත නොකළේය. වනජීවී නිලධාරීන්ට ලැබුණු විශ්වසනිය වූ තොරතුර නිසාවෙන්ම වනජීවි නිලධාරී කණ්ඩායම කඩවර දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ නවාතැන්පොළෙහි දොරගුළු කඩා ඒ තුළට ඇතුළු විය.

දොරගුළු කඩා නවාතැන්පළට ඇතුළු වූ වනජීවි නිලධාරීන්ටද ඇස් අදහාගත නොහැකි විය. උදේ පටන් දෙවියන් වෙනුවෙන් පුද පූජා තබන රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වඳින පුදන දෙවිහාමුදුරුවන් කෙනෙකුගේ දේවාලයක ප්‍රධාන කපු මහතෙකු රාත්‍රි කාලයේ සිටින අයුරු දැකීමෙන්ය. වනජීවී නිලධාරීන් කපු මහතාගේ නවාතැන්පොළ පරීක්ෂා කිරීමේදී ශීතකරණයක් තුළ තිබී දඩයම් කරන ලද මුව මස් කිලෝ 20ක් පමණ හා දඩයම් කරන ලද මුවාගේ හිස කොටසද සොයා ගැනීමට හැකි විය. එහිදී වැටලීමට ගිය වනජීවි නිලධාරීන් කපු මහතාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කපුවා පැවසුවේ මේවා පූජාවක් සඳහා රැගෙන ආ මුව මස් බවය. දිගින් දිගටම කපු මහතා පැවසුවේ පුතේ මේවා දේව පූජාවට ගෙන ආ ඒවා බවයි. වසර ගණනක් තිස්සේ රාජකාරි කරන වනජීවී නිලධාරීන් මෙවැනි සුරංගනා කතා ඕනෑතරම් අසා තිබේ. ඒ නිසා මස් තොගය, ශීතකරණය සමඟ අත්අඩංගුවට පත් කඩවර දේවාලයේ ප්‍රධාන කපු මහතා වන තිස්සමහාරාම, ජූල්පල්ලම පදිංචි හේවාගේ රක්ෂිත නැමැත්තා වනජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් සැකකාර කපු මහතා ඇතුළු නඩු භාණ්ඩ 04 වැනි දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මෙනෙවිය හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදී ශීතකරණයක් තුළ දඩ මස් තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත්  සැකකාර කපු මහතාට රුපියල් 20000/= දඩ මුදලක් මහේස්ත්‍රාත්වරිය නියම කළාය. වනජිවි නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාව වනවිටත් ප්‍රධාන කපු මහතා බීමත්ව සිටි බව වනජිවී නිලධාරීහු පැවසූහ.

එමෙන්ම මේ සිදුවීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල මහතාගෙන් විමසීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

කෙසේ වෙතත් අප වැඩිදුරටක් සිදුකළ සොයාබැලීමකදි අනාවරණය වූයේ මෙම සිද්ධියට අදාළ කඩවර දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කටයුතු කර ඇති බවයි. එමෙන්ම නැවත කිසිදු අයුරකින් කඩවර දේවාලයේ මස් මාංශ හා පිලී ද්‍රව්‍ය පූජා සඳහා නොතැබීමටත්, පළතුරු වර්ග පමණක් පූජා සඳහා යොදා ගන්නා ලෙසත් කඩවර දේවාලයට නව නීතියක් පැවීමටත් බස්නායක නිලමේවරයා පියවර ගෙන තිබේ.

වනජීවී නිලධාරීන්ට කලක් තිස්සේ මෙම දේවාලය පිළිබඳව විවිධ ඔත්තු ලැබී තිබුණු බවත්, කලක් තිස්සේ දෙවියන්ගේ නම විකුණමින් මෙම කපු මහතා දේවාලය තුරැම්පුවකට තබා ගනිමින් මෙම දඩමස් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවද වනජීවී නිලධාරිහු පැවසීය. 

පුදුමයට කරුණ නම් දෙවියන් හා වැඩ කරන පිරිස්ද කෙමෙන් කෙමෙන් අපරාධ හා අපචාරවලට යොමුව තිබීමයි. රට වටා පළවෙන පුවත් අතරේ කපුවන් කළ කී දෑ පිළිබඳව නම් ඕනෑතරම් වාර්තා ඉදිරිපත් කළ හැකිය. මීට මසකට පමණ පෙරද ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කපු මහතෙක් දේවාලයක් තුළම මරා දමා තිබුණි .පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ දේවාලයේ පිහිට පතා පැමිණි කාන්තාවක දූෂණය කිරීමට තැත් කිරීම හේතුවෙන් දේවාලයේ තිබූ ත්‍රිශූලයෙන්ම ඇන කපුවා මරා දමා තිබූ බවය. දේවාලවල පිහිට පතා යන බොහෝ පිරිස් මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් අවස්ථා එමටය.

මෙම සිදුවීමේදීද වැටලීම සිදු කළ වනජීවී නිලධාරීන්ට කපු මහතා නිදහස් කරන ලෙසට විවිධ පිරිස් වෙතින් දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් අපි ලුණුගම්වෙහෙර උද්‍යාන බාර කරු චින්තක අබේරත්න මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසූවේ මේ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවත් වනජීවී මූලස්ථානයෙන් විස්තර ලබාගන්නා ලෙසත්ය.

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ නිලධාරීන් පිරිසක් හා තණමල්විල, කිතුල්කොටේ වන වනජීවී කාර්යාලවල නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. 

► සූරියවැව නුවන් ජයසේකර