2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

මන්දපෝෂණයෙනුත් අපි දිනුම්!

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

පශ්චාත් අවුරුදු කොට පාටියක් සඳහා අප නිවසට රැස් වූ ප්‍රේරා මහතා ප්‍රධාන අසල්වැසි මිත්‍රයින් කීපදෙනෙකුගේ කතාබහට මුල් වූ කාලීන පුවත් කීපයක් මෙසේය.

• පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීමට කෝටි සීයක් යනවලු.

• ශ්‍රී ලංකාව, මන්දපෝෂණයෙන් දකුණු ආසියාවෙම දෙවෙනි තැනට ඇවිල්ලලු. (රිදි පදක්කමක්!).

• ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් යන්ඩ හදනවලු.

• ඉන්ධන මිල සූත්‍රය අලුත් කරන්න යනවලු.

මෙම මාතෘකා පිළිබඳව ලබන සිංහල අවුරුද්ද තෙක්ම සාකච්ඡා කිරීමට තරම් අදහස් උදහස් යෝජනා විරෝධතා අප කණ්ඩායම තුළ විය.

ප්‍රේරා තදින්ම කියා සිටියේ පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීමට යන කෝටි සීය, මන්දපෝෂණය නැති කිරීමට යෙදවිය යුතු බවය.

අලුත් පාර්ලිමේන්තුව හරි මදි නම්, පරණ පාර්ලිමේන්තුවට යන එකනෙ තියෙන්නේ, ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැතුව. ඔහු පැවසුවේ උස් හඬිනි.

ඒ කතාව හරි. ඔය මිනිස්සු කොහේ හිටියත් කරන්නේ එකම දේනෙ.

දයාදේවද ප්‍රේරාගෙ කතාව අනුමත කළේය.

පාර්ලිමේන්තුවෙයි, පළාත් සභාවලයි ඉන්න සෙට්එක දැක්කම ලංකාවෙ මන්දපෝෂණයට හේතුව හිතාගත්තැකි. අධිපෝෂණය සහ මන්දපෝෂණයෙ වෙනස බලාගත්තැකි.

රතු විල්සන් සහෝදරයා නක්කල් සිනාවක් දැම්මේය.

ඔය ප්‍රශ්නෙ තව පැත්තක් තියෙනවා. අද කාලෙ මිනිස්සුන්ගෙ කෑම සූත්තරේ වැරදියි. පෝෂණයක් නැති කෑම කෑවාම මන්දපෝෂණය වෙන එක පුදුමයක්යැ. ළමයි, ඇට ජාති කන්නෙ නෑ, පළතුරු කන්නෙ නෑ, පලා ජාති කන්නෙ නෑ, අල බතල පෙන්නන්න බෑ... ඔන්න ඕකයි හේතුව. නැතුව රටේ දුප්පත්කමම නෙවෙයි.

ඇක්මන් බාස් (දැන් ඔහු කොන්ත්‍රත්කරැවෙකි) වෙනත් මතයක් සභාවට දැම්මේය.

දැන් හැදෙන ළමයින්ට අලබතල තියා කොස් ඇටයක්වත් කන්ඩ වෙලාවක් නෑ, ඇක්මන් මහත්තයා. පාන්දරම ස්කූල් වෑන් එකට නගිනවා. ඉස්කෝලෙන් පස්සේ ක්ලාස්. රෑට රෑ වෙලා ගෙදර ඇවිත් ඇඳට වැටෙනවා. මන්දපෝෂණය හැදෙන එක අහන්නත් දෙයක් ද? දයාදේව කීවේ තවත් වීදුරුවක් පුරවා ගනිමිනි. ඔහු ඉන් උගුරක් බී යළිත් කතාවට බැස්සේය. ක්‍රිකට් ලෝලියකු වන දයාගේ ප්‍රියතම විෂයය ක්‍රීඩාවයි.

මේ ළඟකදි මම දෙකේ පංතියේ ළමයෙක්ගෙ ස්කූල් බෑග් එක උස්සල බැලුවා. ටොන් එකක් විතර බරයි. හැබැයි ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. අනාගතයේ දී අපේ රටෙන් බර එසවීමේ ලෝක ශූරයන් බිහිවේවි.

ඔය ළමයින්ගේ කොඳු ඇට දෙකට නැවුණාට පස්සේ බර උස්සන්නෙ කොහොමද දයා මහත්තයා. කොන්ද කුදු ජාතියක් නම් බිහිවෙයි.

රතු විල්සන් ප්‍රතිතර්කයකින් දමා ගැසුවේය.

කොන්ද කෙළින් තියා ගන්න තමයි ස්පෝට්ස් කරන්න කියන්නේ.

දයාද ඩෑෂ් පහරක් ගැසුවේය.

මන්දපෝෂිත ජාතියකට මොන ස්පෝර්ට්ස් ද දයා මහත්තයා.

විල්සන් නක්කල් සිනාව පෑවේය.

පශ්චාත් අවුරුදු සාදය අවසාන භාගයට ළඟා වෙද්දී සවස වැඩ ඇරී නිවෙස් බලා යන කත්තෝරුකාරියන් පිරිසක් අප ඇස ගැසුණි.

අන්න බලන්ඩ මන්දපොෂණේ හැටි... ඉස්සර අපේ විමලාවතීලා, ජුලියට්ලා, දෑතින් බදන්ඩ බෑ. මේ ගෑනු ළමයි හුළඟින් වුණත් ගසාගෙන යන්න පුළුවන්.

ඇක්මන් කීවේය.

සිහිනිඟ ගත හැකි මිටින කියලා පුරාණෙ කවියො කිව්වෙ ඒක කාන්තාවගේ රූප ලක්ෂණයක් හැටියට දැකලනෙ.

මම කීවෙමි.

දැන් කාලෙ ගෑනු ළමයි රූපකාය හදාගන්නෙ ටී.වී. එකේ කියන හැටියටනෙ. ඒ ගොල්ලො කැමති නෑ මහත් වෙන්න. කෑම කන්නෙත් ටී.වී. එකේ ඉන්න ඇන්ටිලා, අක්කිලා කියන හැටියට. ඉතින් හැමෝම හඳුන්කූරූ වගේ...

රතු විල්සන් මට එරෙහිව කතා කළේය.

එදින සාද සභාව සතුටින් විසිර ගියේ මන්දපෝෂණයට පිළියම ගෙදර මුළුතැන්ගෙයින්ම ආරම්භ කළ යුතුය යන නිගමනයට බැස ගනිමිනි. එසේම ලෙඩ රෝගයකියන් හෝ දකුණු ආසියාවේ දෙවෙනි තැනට ඒම ජාතික අභිමානයට කාරණයක් කරගත හැකි බවද මත්ව සිටි සමහරුන්ගේ මතය විය.

රාත්‍රී ආහාරයට තවත් වැදගත් අමුත්තෙක් සහභාගී විය. ඔහු අපගේ දුර නෑයකු වන මන්ත්‍රීවරයෙකි. මන්දපෝෂණ තත්ත්වය ගැන ඔහු මෙසේ කීවේය.

තුන්වෙනි ලෝකේ රටක් හැටියට මන්දපෝෂණයත් ටිකක් විතර තියෙන එක හොඳයි. නැත්නම් අපිට ලැබෙන ආධාර අඩුවෙන්ඩ පුළුවන්.

මොන තරම් ආධාර ලැබුණත් අපේ රට එකම තැනනෙ කැරකෙන්නෙ. දේශපාලනඥයො හැටියට මේ රටේ ප්‍රශ්න විසඳන්න ඔයගොල්ලො කිසිම වැඩක් කරන්නෙ නෑනෙ.

මම තරමක් නිර්භීත වූයේ මාධ්‍ය නිදහසින් ද ප්‍රයෝජන ගනිමිනි. (ලේ නෑයෙකු වුවත් පොලිස්කාරයා හා දේශපාලනඥයා විශ්වාස කළ යුතු නැතැයි කියමනක් ඇත.)

මේකනෙ මල්ලි වැඩේ... ඉස්සෙල්ලාම අපේ ප්‍රශ්න විසඳගෙන ඉන්න එපායැ. දෝෂභියෝග, දූෂණ නඩු, පක්ෂ මාරු කිරීම්... කීයක් ප්‍රශ්න ද... ඊට පස්සේ ඡන්දෙ එනවා. ඒකෙන් පස්සෙ බලමු වැඩක් කරන්න. ඥාතී මන්ත්‍රීවරයා අවංකවම කියා සිටියේය.
මෑතකදී මන්ත්‍රීවරු පිරිසක් තමන් පක්ෂයෙන් ඉවත් විය යුතුදැයි දැන ගැනීමට ජනතා සමීක්ෂණයක් පැවැත්වූහ. සීයයට අනූනවයක්ම පිළිතුරු දී තිබුණේ පක්ෂයෙන් නොව රටින්ම ඉවත් විය යුතු බවය! කතාව ඇත්තය. එසේම අලුත්වැඩියා කළ යුත්තේ පාර්ලිමේන්තුව නොව ඇතුළේ සිටින අයගේ ඔළුගෙඩිය. මන්දපෝෂණයට හේතුව දිනෙන් දින ඉදිරියට නෙරන ඔවුන්ගේ බඩ ගෙඩිය!

 කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00