ගොවීන්ට රජයෙන් ලබාදෙන සහනත් අපතේ
එළවළු - පළතුරු නිපැයුමෙන් 40%ක් විනාශ වෙනවා
මෙවර සිංහල අවුරුදු සමයේ වෙන කවර දිනකවත් නොවුණු පරිදි එළවළු මිල කුණු කොල්ලයට පහළ ගියේය. සාමාන්‍යයෙන් උත්සව සමයන්වලදී පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති නමුත් සිංහල අවුරුදු උත්සවයට පෙර පහළ ගොස් තිබුණු එළවළු මිල අවුරුදු නිවාඩුවේදී තව තවත් පහළ ගියා මිස යම්තම්වත් ඉහළ නැංගේ නැත. මෙලෙස එළවළු මිල අඩු වීම නිසා පාරිභෝගිකයාට සහනයක් සැලසුණා යැයි කියා අපට සතුටු විය හැකිද? අනිත් අතට ඒ පහළ ගිය මිලට පාරිභෝගිකයාට ලැබුණි ද? එසේ නොවේ නම් යම් ප්‍රමාණයක් අතරමැදියන් අතට පත්වූවේද යන්න සොයා බැලිය යුතුය. එසේ වූවානම් පාරිභෝගිකයාටත් වඩා ලාභයක් සැලසී ඇත්තේ අතරමැදි ව්‍යාපාරිකයාට නොවේදැයි සිතිය යුතුය.
කෙසේ වුවද සිංහල අලුත් අවුරුදු සමය ආරම්භයේ දිනවල පිටකොටුව එළවළු වෙළෙඳ පොළේ මිල ගණන් වඩා අඩුව පැවතිණ. බෝංචි කිලෝව රුපියල් 60ක් වූ අතර කැරට්, බීට් කිලෝව රුපියල් 30 – 40 දක්වා පහළ බැස්සේය. ගෝවා කිලෝව රුපියල් 30ක් විය. අර්තාපල් හා ලොකු ලූනු කිලෝව රුපියල් 60ක් විය. උඩරට එළවළුවලින් වැඩිම මිලක් වූයේ ලීක්ස් වන අතර එහි කිලෝව රුපියල් 100 – 120 අතර විය. උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු ද මිල පහළ වැටුණු අතර වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, අළුකෙසෙල්, බතල, දඹල, කරවිල, ආදියේ ද කිලෝව රුපියල් 40 – 50 අතර අලෙවි කරනු දැකගත හැකිවිය.
වෙන අවුරුදු කාලවල වඩා එළවළු මිල පහළ යාමෙන් පාරිභෝගිකයාට යහපතක් සිදුවූ බව ඇත්තය. එහෙත් අපට එයින් සතුටු විය හැකිද? මෙම එළවළු අපට ලබාදෙන ගොවියාට මේ නිසා අත්වන ඉරණම කුමක් ද යන්න විමසා බැලිය යුතුය. පසුගිය සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු ලොරි එසේම තබා පිටව ගිය සිද්ධි වාර්තා විය. එසේම එළවළු විකුණා ප්‍රවාහන ගාස්තු ගෙවන බවට ගිවිසගෙන එළවළු ලොරියක් රැගෙන ආ ගොවියකුට ලොරි කුලිය ගෙවිය නොහැකි වීම නිසා ලොරි හිමියාගේ පහරකෑමට ලක්වූ සිද්ධි ද දැනගන්නට ලැබිණ.
මේ කාලයේදී සාමාන්‍ය එළවළු කිලෝවක තොග මිල රුපියල් 2 – 3 වූ අතර ඒ මුදලට එළවළු විකුණා ගොවියාට ලාභ ලබාගැනීම කෙසේ වෙතත් ලොරි කුලිය හෝ ගෙවීමට නොහැකි වේ. ගොවියාට සිදුවන්නේ අතින් මුදල් ගෙවීමටය. මෙම තත්ත්වය නිසා බොහෝ ගොවියන් එළවළු අස්වැන්න ලබානොගෙන කොටුවලම කුණුවෙන්නට හරින බවද වාර්තා විය. එළවළු මිල ඉහළ ගියවිට කොරටුවලට පැමිණ අස්වැන්න රැගෙන යන මුදලාලිලා මිල අඩුවූ විට එන්නේ නැත. මේ තත්ත්වය මත යළිත් එළවළු වගාකරන්නට උත්සාහ කරන ගොවියකු සිටිය හැකිද? බොහෝ අය ගොවිතැන් කරන්නේ බැංකුවලින් හෝ එසේ ණය ගත නොහැකි වූ විට ගිනි පොලියට පෞද්ගලික අයගෙන් ලබාගන්න ණයවලිනි. මෙම ණය තබා ණයවල පොලිය පවා ගෙවන්නට සිදුව ඇත්තේ ගෙදර ගෘහභාණ්ඩ අලෙවි කරලාය.
ගොවියාට සිදුව ඇති මෙම අසාධාරණය පිළිබඳ වගකිවයුත්තන් මුනිවත රකින බව පෙනෙන්නට තිබේ. එළවළු මිල ඉහළ ගියවිට පාරිභෝගිකයාට සිදුවන අසාධාරණය ගැන කතා කරන ජනමාධ්‍ය සහ වෙනත් සංවිධාන නිෂ්පාදන මිල පහළයාමෙන් ගොවියාට සිදුවන හානිය ගැන කතා කරන්නේ ඉතාම අඩුවෙනි. එළවළු කෑමට නම් ගොවියා නිරුපද්‍රිතව සිටිය යුතු බවට වගකිවයුත්තන් කල්පනා නොකරනවා සේය.
ගොවියාට වගාවට සහන සැලසීම අස්වැන්න අලෙවි කිරීමට ක්‍රම සහ විධි ඇති කිරීම, මිල පහළ යාම වළක්වා සාධාරණ මිලක් ලබාදීම හා කෘෂිකර්මාන්තය කළමනාකරණය කිරීම ආදිය පිළිබඳ දක්වන්නේ අඩු සැලකිල්ලකි. එක කන්නයකදී යම් බෝග වර්ගයකට ඉහළ මිලක් ලැබුණොත් ඊළඟ කන්නයේ දී බොහෝ ගොවීන් එම වර්ගයම වගා කිරීම නිසා අධි අස්වැන්නක් ලැබී මිල පහළ යාම සිදුවේ. එවිට වැඩි ආදායමක් අපේක්ෂාවෙන් වගා කළ ගොවීහු අමාරුවේ වැටෙති.
කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාළ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඇමැති, නියෝජ්‍ය ඇමැති ආදිහුද බොහෝ සේ සිටිති. එහෙත් මේ ආයතන සහ පුද්ගලයන්ගෙන් කෘෂිකාර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අපේක්ෂිත මඟ පෙන්වීමක් සහ පහසුකම් ලැබේද යන්න ගැටලුවකි. අපේ කෘෂිකර්මාන්තය නිදැල්ලේ යන්නට අතහැර තිබෙනවා හැර නිසි පරිදි මෙහෙයවන බවක් දැනගත නොහැකිය.
නුවරඑළිය, එළවළු තොග වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් ශාන්ත පවසන්නේ, පසුගිය වසර 3 – 4 ක කාලය තුළ භෝග නිෂ්පාදනයේ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා මෙලෙස මිල ඉතාම පහළ මට්ටමක බැස ඇති බවය. කන්නයෙන් කන්නය උදා වූ මෙම තත්ත්වය අද වනවිට ඉතාම ශෝචනීය බවට පත්ව ඇතැයි ඔහු කියයි.
“නුවර එළියට ආවේණික වූ උඩරට එළවළු කැරට්, බීට්, ලීක්ස්, ගෝවා, අර්තාපල්, ලූනු ආදිය පුත්තලම, යාපනය, කල්පිටිය, දඹුල්ල, මැල්සිරිපුර වැනි ප්‍රදේශවලත් වගා කරනවා. එම භෝගවල තත්ත්වය යහපත් නැහැ. ඉක්මනින් නරක් වෙනවා. රස අඩුයි. එහෙත් සාමාන්‍ය පාරිභෝගිකයාට බැලූ බැල්මට එම වෙනස හඳුනාගන්න බැහැ. මෙම නිෂ්පාදන අඩු මිලට දීම නිසා නුවරඑළියේ නියම එළවළුවලට නිසි අලෙවියක් ලැබෙන්නේ නැහැ.
රජය කළයුත්තේ ඒ ඒ පළාත්වලට ආවේණික භෝග වගාකිරීමට පහසුකම් සැලසීමයි. උදාහරණයක් ලෙස පුත්තලමේ කජු වගාව ගතහැකියි. බණ්ඩාරවෙල, වැලිමඩ වැනි ප්‍රදේශවල කුඹුරුවල එක කන්නයයි වී වගා කරන්නේ. නියං කාලයට ගොවීන් එළවළුවලට මාරු විය යුතුයි. මෙහෙම නියම කරපු පනතක් තිබෙනවා. ඒත් එම නියමය ක්‍රියාත්මක වන්නේ නැහැ. ආණ්ඩුව එය කළමනාකරණය කරන්නේ නැහැ.
ඉන්දියාව වැනි විශාල රටවල පවා වගා කළමනාකරණ ක්‍රමවේදයක් තිබෙනවා. එක කන්නයකට වගා කළයුතු භෝග වර්ග වගා කළයුතු ප්‍රමාණය ආදී වශයෙන්. එහෙත් අපේ රට කුඩා රටක් වුවත් අප එවැනි ක්‍රමවේදයකට යන්නේ නැහැ. හිතුවක්කාර ලෙස වගාකිරීම නිසා තමයි මෙම කනගාටුදායක ඉරණම අත්වෙලා තිබෙන්නේ. වෙනත් රටවල ගොවියාට සහන දෙනවා, බීජ දෙනවා, රසායනවලට සහන දෙනවා. එහෙත් ලංකාවේ මෙය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගොවිතැන පිළිබඳ වගකිව යුත්තන් දක්වන නොසැලකිල්ල නිසා තරුණ පරපුර ගොවිතැනට පැමිණීම ඉතාම අවම මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ගොවියන් නැත්තටම නැති වේවි.
♦ යසවර්ධන රුද්රිගු
දෙමුහුන් බීජ ලොකු හානියක්
නුවරඑළිය Aria Road Holies සංගමයේ සභාපති හේම ප්‍රියන්ත අත්තනායක
ගොවියාට සහ පාරිභෝගිකයාට බලපාන කෘෂිකාර්මික ගැටලු ඇති වී ඇත්තේ නුවරඑළියේ නිෂ්පාදන නිවැරදි ලෙස වෙළෙඳ පොළට නොයෑම නිසයි. මෙයට දේශගුණික ගැටලු, වගා තාක්ෂණයේ ගැටලු, ගොවියා දිරිමත් නොකිරීම සහ ආණ්ඩුව ගන්න දේශපාලන තීන්දු හේතුවී තිබෙනවා. උදාහරණයක් ලෙස පැවැසුවොත් අර්තාපල්වලට මුලදී අයකළ ආනයනික තීරුබද්ද රුපියල් 40 සිට රුපියල් 1කට ක්ෂණිකව අඩු කළා. එහිදී සිදුවූයේ මෙයින් ප්‍රයෝජනය ගත් ආනයනකරුවන් විශාල ලෙස අර්තාපල් ආනයනය කර ශීතාගාරවල ගබඩා කර තබාගෙන ටික ටික වෙළෙඳ පොළට දමන්නට පටන් ගැනීමයි. මෙහිදී දේශීය අර්තාපල්වලට වඩා අඩු මිලට දෙන්නට ඔවුන්ට හැකි වුණා. පසුව බද්ද නැවත ඉහළ දැම්මත් එයින් ප්‍රයෝජන ගන්නේ ගොවීන් නොවෙයි ව්‍යාපාරිකයන්. එසේම ගොවීන්ට පසුගිය ආණ්ඩුවෙන් දුන් සහනාධාර මෙම ආණ්ඩුවෙන් ඉවත් කළා. කම්කරු ප්‍රශ්නය ද මෙයට බලපෑවා. ශ්‍රමිකයන් වැටුප අඩු නිසා මෙයට යොමු වෙන්නේ නැහැ. අද සාමාන්‍ය කම්කරුවකුට කෑම බීම දීලා රුපියල් 1500ක වැටුපක් ගෙවිය යුතුවුවත් එහෙම දෙන්න අමාරුයි. පොහොර මිල, රසායනික මිල ඉහළ ගියා. බීජවල මිල ඉහළයි. රසායනික මිලට බලපාන වට්ටම් (Discount) ප්‍රතිපත්තිය ඉවත් කළ යුතුයි. එවිට එකම මිලකට අලෙවි කළහැකි වෙනවා.
රට පුරා දෙමුහුන් බීජ ව්‍යාප්තවීම නිසා විශාල හානියක් සිදුවෙලා. දෙමුහුන් බීජ නිසා නුවරඑළිය වැනි පළාත්වලට ආවේණික භෝග විනාශ වෙලා. යම් යම් දේශගුණික කලාපවල පමණක් වගා කළහැකි භෝග වෙනත් පළාත්වල වගාකිරීමට හැකිවීම නිසා ගොවීන්ට ගැටලු ඇතිවෙලා.
ආණ්ඩුවට සැලැස්මක් නෑ
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න
එළවළු ගොවියාට අද වනවිට මුහුණ දීමට සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතු කිහිපයක් බලපානවා. මුලින් කිවයුතුව ඇත්තේ රජයට කෘෂිකර්මාන්තය පිළිබඳ වගා සැලසුමක් නොමැතිවීම ප්‍රධාන හේතුවක් බවයි. ඒ ඒ කන්නයේ වගා කළයුතු බෝග වර්ග මොනවාද ඒවා පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ප්‍රමාණවත්ද, අතිරික්තයක් තිබේද, අවශ්‍ය ප්‍රමාණයට සරිලන සේ නිෂ්පාදනය කරන්නේ කෙසේද, නිෂ්පාදනය කරන භූමි ප්‍රමාණය කෙතෙක්ද, ජල පරිභෝජනය ප්‍රමාණවත්ද, අවශ්‍ය වැඩි දියුණු කළ බීජ වර්ග ලැබේද, අවශ්‍ය ශ්‍රමය සැලසේද මේ ආදි වශයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳ නිසි කළමනාකරණයක් නැහැ.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ දෙපාර්තමේන්තු, ආයතන, කාර්යාංශ පළාත් සභාවල දෙපාර්තමේන්තු සහ ආයතන රැසක් තිබෙනවා. ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් ආදි වශයෙන් රාශියක් කෘෂිකර්මයට සම්බන්ධයි. එසේ වුණත් අපේ රටේ කිසිදු භෝග වර්ගයක් පිළිබඳ සංඛ්‍යා ලේඛන, තොරතුරු ඒ අය සතුව නැහැ. කිසිදු වැඩපිළිවෙළක් නැහැ. වෙනත් රටවල නම් රජය ඒ ඒ කාලයට අවශ්‍ය භෝග ගැන නිර්දේශ කරනවා. අවශ්‍ය ප්‍රමාණය සොයාබලා ඒවා වගා කිරීම පිළිබඳ ගොවියා දැනුවත් කරනවා. ඒ නිසා වගාකරන්නේ අවශ්‍ය බෝග වර්ගය, අවශ්‍ය ප්‍රමාණයට පමණයි. එබැවින් අනවශ්‍ය අතිරික්තයක් ඇතිවෙන්නේ නැහැ.
අපේ රටේ එළවළු සහ පළතුරු නිෂ්පාදනවලින් සියයට 40ක් පමණ අපතේ යනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් නැති කමයි. එළවළු කිලෝ 5ක් වත් ගබඩා කර තබාගත හැකි අධිශීතාගාර පහසුකම් අපට නැහැ. එවැන්නක් තිබුණානම් මෙලෙස එළවළු අපතේ යන්නේ නැහැ. ගබඩා කර තබාගෙන හිඟකාලයට ඒවා වෙළෙඳ පොළට ආ යුතුයි. මේ නිසා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම යහපතක් සිදුවෙනවා. අපේ රටේ ගොවියාට නිෂ්පාදන වියදම වැඩියි. එහෙත් වෙන රටවල එහෙම නැහැ.
අපේ රටේ කෘෂිකර්මය පදනම් කරගෙන කිසිදු අතුරු නිෂ්පාදනයක් සිදුවන්නේ නැහැ. අපි කෙසෙල් කනවා විතරයි. උදාහරණයක් ලෙස ගත්හොත් ටැන්සානියාවේ කෙසෙල් වලින් ජූස්වර්ග, සැලඩ් ටින්, බීම වර්ග හදනවා. කෙසෙල් පිට්ටු තැනීම, ලෙල්ලෙන් විවිධ කෑම හැඳීම කරනවා. එවැනි නිෂ්පාදන හදනවා නම් විශාල ආදායමක් ලබාගත හැකියි.
මෑත කාලයේදී ධාන්‍ය වර්ග ආනයනය කිරීමෙන් ඒවායේ මිල අඩුවීම නිසා එම ගොවියන් එළවළුවලට මාරු වුණා. පිටරටින් ගෙන්වීම නිසා එළවළු මිල බැසීමෙන් එලෙස අලුතෙන් එකතු වූ පිරිස් විශාල හිරිහැරයකට පාත්‍ර වෙලා. අල, ලූනු ආදි දේශීය නිෂ්පාදන වෙළෙඳ පොළට එන කාලවල ඒවා ආනයනය කිරීම නිසා ගොවීන් අමාරුවේ වැටෙනවා. රජයේ නිසි කළමනාකරණයක් නැහැ. සියල්ලන්ම නන්නත්තාර වෙලා. ඇතැම් රාජ්‍ය නිලධාරින් විවිධ දේශපාලන පක්ෂවලට නතුවී සිටින නිසා ඔවුන් ගොවීන් හිරිහැරයට ලක්වන ලෙස කටයුතු කරනවා. පවතින ආණ්ඩුව පිළිබඳ ගොවීන් කළකිරවීමට. ඒ නිසා ගොවීන් වෙනුවෙන් රජය යම් පමණකට හෝ ලබාදෙන සහනවල ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කර වී තිබෙනවා.