2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

හෘදරෝග සහ කොලෙස්ටරෝල්වලට ගුණවත් දේ

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

අද වන විට හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මෙම හෘද රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස ආහාර රටාවේ ඇති වෙනස්කම් හැඳින්විය හැක. ආහාරවලට ඇති දැඩි කැමැත්ත නිසාම හෘද රෝග ඇතිවීමට ඇති හැකියාව වැඩි වී තිබේ.

පොල්කිරි (මිටිකිරි) මෙන්ම පොල්තෙල්වලින් පිසූ ආහාර අඩුකරගැනීමෙන් හෘද රෝග ඇතිවීම අවම කරගත හැක. පොල්තෙල් ශාකමය ආහාරයක් වුවද එහි සංතෘප්ත මේදය අධිකව පවතී. මේ නිසා පොල්තෙල් හෘද රෝගවලට එතරම් හිතකර නොවේ.

එමෙන්ම මුදවපු කිරි, යෝගට්, බිත්තර කහමද, ඉස්සො, දැල්ලො, මේදය සහිත පිටි ආදිය හෘදරෝගවලට එතරම් හිතකර නොවේ. එමෙන්ම ඌරුමස්ද හෘද රෝගවලට හිතකර නොවේ. එමෙන්ම කතුරුමුරුංගා, වැල්පෙනෙල, සාලයන් අධික ලෙස ආහාරයට ගැනීමද එතරම් හිතකර නොවේ. එයට හේතුව ඒවායේ අධික කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගත වීමයි.
හෘද රෝග සඳහා ඉතා ගුණදායක ආහාර ලෙස පරිප්පු, කඩල, මුංඇට වැනි පියලි ඇට වර්ග සහ සෝයා නිෂ්පාදන නම් කළ හැක.

මීට අමතරව කොලෙස්ටරෝල් රෝගීන් සඳහා ඉතා ගුණදායක අත්බෙහෙත් ලෙස ගොරකා සහ උළුහාල් හැඳින්විය හැක.

මේ සඳහා අවශ්‍ය දේ

සුදුලූනු ලොකු ගෙඩියක්
උළුහාල්
කුරුඳු පොතු
ගොරකා කැබැලි හතරක්
කරපිංචා ඉති දෙකක්

ගොරකා සහ උළුහාල් වතුරට දමා පොඟවාගන්න. අනිත් සියල්ල එක්කරන්න. බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩර් කරගන්න. නැතිනම් සිහින්ව අඹරාගන්න. තලපයක් සේ සාදාගත් මෙම මිශ්‍රණය උදේ සවස තේ හැන්දක් පමණ ආහාරයට ගන්න. ශීතකරණයේ තැන්පත් කරන්න. මෙය කොලෙස්ටරෝල් සඳහා ඉතා හොඳ ඔසුවකි.